Skip to content

පටුනට යන්න

“නීතිය අපේ උපදේශකයා බවට පත් වී තිබේ”

“නීතිය අපේ උපදේශකයා බවට පත් වී තිබේ”

“නීතිය අපේ උපදේශකයා බවට පත් වී තිබේ”

දරුවන්ට හොඳ මඟ පෙන්වීම් ලබා දීම අත්‍යවශ්‍යයි. මෙවන් මඟ පෙන්වීම් ලැබෙනවාට දරුවන් එතරම් කැමැත්තක් නොදක්වන්න පුළුවන්. නමුත් එහි වටිනාකම දරුවන් තේරුම්ගන්නේ වැඩිහිටියන් වූ පසුවයි. බයිබල් ලේඛකයෙක් වූ පාවුල්, යෙහෝවා දෙවි සහ ඔහුගේ සෙනඟ අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න දරුවන්ව ආරක්ෂා කළ මිනිසෙකුගේ නිදසුනක් යොදාගත්තා.

මුල් සියවසේ ගලාතියේ විසූ ක්‍රිස්තියානීන් තුළ යම් වැරදි සිතුවිල්ලක් තිබූ බව බයිබලයේ පවසනවා. දෙවි ආශීර්වාද කළේ ඊශ්‍රායෙල් ජාතියට මෝසෙස් තුළින් දුන් නීතියට කීකරු වූ අයට පමණක් බව ඔවුන් විශ්වාස කළා. නමුත් පාවුල් දැන සිටියා ඒ සිතුවිල්ල වැරදි බව. හේතුව කිසිම දිනක ඒ නීතියට කීකරු නොවූ අයටත් දෙවි ආශීර්වාද කර තිබීමයි. (ක්‍රියා 15:12) නීතිය අපව ‘ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයෙක්’ හා සමාන බව පාවුල් පැවසුවා. (ගලාති 3:24) නීතිය උපදේශකයෙකුට හෙවත් ගුරුවරයෙකුට සමාන කිරීමෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?

උපදේශකයෙකුගේ රාජකාරිය

අතීතයේදී උපදේශකයෙකුට කරන්න තිබුණු වැඩ කොටස අපි දැන් සලකා බලමු. ග්‍රීක හා රෝම අධිරාජ්‍යයන් පැවති කාලයේ සමහර නිවෙස්වල දරුවන්ව බලාගැනීමට උපදේශකයන් සිටියා. ඔහු බොහෝවිට එම නිවසේ සිටි විශ්වාසවන්ත සේවකයෙක්. මේ උපදේශකයන් දරුවන්ට ආරක්ෂාව සපයමින් සැමවිටම ඔවුන් සමඟ සිටියා. දරුවාගේ පොත් පත් රැගෙන ඔහුව පාසැලට ගෙන යන්නත් ඔහු සමඟම පාසලේ රැඳී සිටින්නත් උපදේශකයාට සිද්ධ වුණා.

මේ උපදේශකයා පාසැල් ගුරුවරයෙක් නෙවෙයි. ඔහු දෙමව්පියන්ට ප්‍රේම කිරීමටත්, වැඩිහිටියන්ට ගරු කිරීමටත්, හොඳින් හැසිරීමටත් කියා දුන්නා. ඇතැම් අවස්ථාවලදී ඔහු දරුවාට දඬුවම් කළා. මේ සෑම අවස්ථාවකදීම උපදේශකයා උත්සාහ කළේ දරුවාගේ දෙමව්පියන් දී තිබෙන උපදෙස්වලට අනුව ක්‍රියා කරන්නයි.

උපදේශකයෙක් නොමැතිව දරුවෙකුව සාර්ථකව හදා වඩා ගන්න බැහැ කියා පුරාණයේ සිටි සමහර ග්‍රීක ජාතිකයන් විශ්වාස කළා. උදාහරණයකට එක් ග්‍රීක දර්ශනවාදියෙක් මෙසේ පැවසුවා. “හරක් පට්ටියක් බලාගැනීමට ගොපල්ලෙක් අවශ්‍යයි. දාසයන්ට ස්වාමියෙක් අවශ්‍යයි. ඒ හා සමානව දරුවන්ට උපදේශකයෙක් අවශ්‍යයි.”—ප්ලේටෝ, ක්‍රිස්තු පූර්ව 428-348.

දරුවන් බොහෝවිට සිතුවේ උපදේශකයන් තමන්ට කිසිම නිදහසක් නොදී තදින් ක්‍රියා කරනවා කියලයි. හැබැයි මේ උපදේශකයන් දරුවන්ව හොඳින් ආරක්ෂා කිරීමට තමන්ගේ ජීවිතය පවා පරදුවට තැබුවා. එක් ග්‍රීක ඉතිහාසඥයෙක් පාසැලට යමින් සිටි උපදේශකයෙකුට හා දරුවෙකුට සිදු වූ දෙයක් ගැන විස්තර කළා. ඔවුන් ගමන් කරමින් සිටියදී දරුවාව මරන්න යම් කණ්ඩායමක් තැත් කළ අවස්ථාවේදී උපදේශකයා දරුවාව වැලඳගෙන ඔහුව ආරක්ෂා කරන්න උත්සාහ කළා. අවසානයේදී දරුවයි උපදේශකයයි දෙදෙනාම මිය ගියා.—දෙවන සියවසේ සිටි ඇපියන්.

දරුවන් පාසැලට ගොස් ඉගෙනගන්නා විටත් මේ උපදේශකයා ඔවුන් අසලින්ම සිටියා. එයට හේතුව වුණේ එදා සිටි ඇතැම් මිනිසුන් ඇතුළු සමහර ගුරුවරුන් පවා දරුවන්ට ලිංගික අතවර කිරීමයි. ඒ කාලයේ සිටි ග්‍රීක ජාතිකයෙක් පැවසුවේ උපදේශකයන් දරුවන්ව ආරක්ෂා කරමින් ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු වූ බවයි. දරුවන්ට හානියක් වෙයි කියා තිබූ බිය නිසා වෙනත් පිරිමි ළමයින්ව ආශ්‍රය කරන්න උපදේශකයා ඉඩ දුන්නේ නැහැ.—හතරවන සියවසේ සිටි ලිබේනියස්.

නීතිය උපදේශකයෙක් වී

පාවුල් නීතිය උපදේශකයෙකුට සමාන කළේ ඇයි?

නීතිය නිසා ඊශ්‍රායෙල් ජාතිය ප්‍රයෝජන රැසක් භුක්ති වින්දා. උදාහරණයකට එමගින් ඔවුන්ට ආරක්ෂාවක් ලැබුණා. ඒ නිසයි පාවුල් පැවසුවේ යුදෙව්වන් “නීතිය යටතේ රැකවල් කරනු ලැබුවා” කියා. (ගලාති 3:23) වෙනත් විදිහකින් පවසනවා නම් එම ආරක්ෂාව අද්දැකීම් ලත් උපදේශකයෙකුගෙන් ලැබෙන ආරක්ෂාව හා සමානයි. නීතිය ඔවුන්ගේ ජීවිතයේ සෑම පැත්තකටම බලපෑවා. නුසුදුසු ආශාවන් යටපත් කරගැනීමටත් හැසිරීම හොඳ තත්වයක තබාගැනීමටත් නීතිය උපකාරවත් වුණා. ඔවුන් අතින් යම් අඩු පාඩුකම් වෙද්දී නීතිය මගින් ඒවා ඔවුන්ට පෙන්වා දුන්නා. දෙවිගේ ප්‍රමිතිවලින් පහත වැටුණු අවස්ථාවලදී ගැලවුම්කරුවෙක් අවශ්‍යයි කියා වටහාගන්නත් නීතිය උපකාර වුණා.

මේ නීතියට කීකරු වීමෙන් අවට ජාතීන්ගේ සිරිත් විරිත් හා ආගමික වත්පිළිවෙත්වලින් ඊශ්‍රායෙල් ජාතිය ආරක්ෂාක් ලැබුවා. පිට ජාතීන්ට අයිති අයව විවාහ කරගැනීම නීතිය මගින් තහනම් කර තිබුණා. ප්‍රතිඵලයක් ලෙස වෙනත් ආගම්වලින් ආරක්ෂා වෙන්නත් යෙහෝවා දෙවිගෙන් ඈත්වීමේ අවදානමෙන් මිදෙන්නත් හැකි වුණා. (ද්විතීය කතාව 7:3,4) එයින් පෙනී යන්නේ නීතිය ඊශ්‍රායෙල් ජාතියට ඉතා ප්‍රයෝජනවත් වූ බවයි. ඒ නිසයි මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට මෙවැනි සිහිගැන්වීමක් කළේ. ‘පියෙක් තම පුතුට දැනමුතුකම් දී යහ මඟට ගන්නාක් මෙන් ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දැනමුතුකම් දෙනවා.’—ද්විතීය කතාව 8:5, නව ලොව පරිවර්තනය, NW.

දරුවෙක් උපදේශකයෙක් යටතේ සිටියේ ඔහු වැඩිහිටියෙක් වෙන තුරු පමණයි. ග්‍රීක ඉතිහාසඥයෙක් පැවසුවේ දරුවෙක් උස් මහත් වෙද්දී තනිවම තීරණ ගන්න නිසා උපදේශකයෙක් සිටියේ නැති බවයි.—සෙනෝෆන් ක්‍රි.පූ. 431-352.

දරුවෙක් සෑමදාම උපදේශකයා යටතේ නොසිටියා හා සමානව ඊශ්‍රායෙල් ජාතියද සැමදා නීතිය යටතේ සිටියේ නැහැ. මෝසෙස් මාර්ගයෙන් දෙන ලද එම නීතිය තාවකාලික එකක් පමණයි. එය අවශ්‍ය වුණේ “පොරොන්දුව ලැබූ වංශය [යේසුස්] පැමිණෙන තෙක් වරද පෙන්වා දීම” සඳහායි. පාවුල් පැහැදිලි කළ ආකාරයට නීතිය යුදෙව්වන්ව ‘ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයෙක්’ හා සමාන වුණා. (ගලාති 3:19, 24, 25) ඒ අනුව තවදුරටත් මෝසෙස්ට දුන් නීතියට කීකරු වෙනවා වෙනුවට ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු විය යුතු වුණා.

දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතියේ කිසිම අඩු පාඩුවක් තිබුණේ නැහැ. එහි අරමුණ වුණේ ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කර දෙවිගේ උසස් ප්‍රමිති සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීමයි. (රෝම 7:7-14) නීතිය අද්දැකීම් ලත් නැණවත් උපදේශකයෙක් හා සමාන වුණා. නමුත් එක අවස්ථාවකදී පාවුල් පැවසුවේ ‘ක්‍රිස්තුස් අපව නීතියේ ශාපයෙන් නිදහස් කළා’ කියායි. ඔහු නීතිය ‘ශාපයක්’ ලෙස හැඳින්වූයේ ඇයි? ඊට හේතුව කිසි අඩු පාඩුවක් නැති එම නීතියට සම්පූර්ණයෙන්ම කීකරු වෙන්න දුර්වල මිනිසුන්ට නොහැකි වීමයි. නමුත් යේසුස්ගේ ජීවිතය පූජා කිරීමෙන් පසු, මෝසෙස් මාර්ගයෙන් දෙන ලද නීතියට තවදුරටත් කීකරු වීමට දෙවිගේ සෙනඟට සිදු වුණේ නැහැ.—ගලාති 3:13; 4:9, 10.

පාවුල් නීතිය උපදේශකයෙකුට සමාන කිරීමට හොඳ හේතු තිබුණා. එක හේතුවක් නම් එය ආරක්ෂාව සහ මඟ පෙන්වීම් සැපයීමයි. තවත් හේතුවක් වුණේ උපදේශකයෙකුගේ කාර්යය තාවකාලික වුණා හා සමානව නීතියත් තාවකාලික වීමයි. ඒ නිසා දෙවිගේ ආශීර්වාදය ලබාගැනීමට තවදුරටත් නීතියට කීකරු වීම අවශ්‍ය වුණේ නැහැ. ඒ වෙනුවට යේසුස් කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගැනීමයි අවශ්‍ය වුණේ.—ගලාති 2:16; 3:11.

[21වන පිටුවේ කොටුව/පින්තූරය]

“වැඩ බලන තැනැත්තන්” හා “නිවස භාරව සිටින තැනැත්තන්”

උපදේශකයා ගැන සඳහන් කළාට අමතරව පාවුල් ‘වැඩ බලන තැනැත්තෙක්’ හා ‘නිවස භාරව සිටින තැනැත්තෙක්’ ගැනත් උදාහරණයක් පාවිච්චි කළා. ගලාති 4:1, 2හි මෙසේ සඳහන් වෙනවා. “උරුමක්කාරයා සියල්ල කෙරෙහි ස්වාමියා වුවත්, ඔහු බිලිඳෙකුව සිටින තාක් කල්, දාසයෙකුට වඩා කිසිසේත් වෙනස් නොවන්නේයයි මම කියමි. ඒ වෙනුවට ඔහු, තම පියා විසින් නියම කළ දවස දක්වා, වැඩ බලන තැනැත්තන්ටද නිවස භාරව සිටින්නන්ටද යටත්ව සිටින්නේය.” උපදේශකයාට තිබුණේ ‘වැඩ බලන තැනැත්තාට’ හා ‘නිවස භාරව සිටින තැනැත්තාට’ වඩා වෙනස් වැඩ කොටසක්. නමුත් එයද වගකීමෙන් කළ යුතු වුණා.

රෝම නීතියට අනුව දෙමව්පියන් අහිමි අනාථ දරුවෙකුගේ නීතික භාරකරු ලෙස ‘වැඩ බලන තැනැත්තෙකුව’ පත් කරනු ලැබුවා. දරුවා වැඩිහිටියෙක් වන තුරුම ඔහුට උරුමයෙන් ලැබෙන මුදල භාරව තිබුණේ වැඩ බලන තැනැත්තාටයි. මෙලෙස වැඩ බලන තැනැත්තාගේ අධිකාරිය යටතේ සිටි දරුවා වැඩිහිටියෙක් වෙන තුරුම ඔහුගේ දාසයෙක් හා සමාන වුණා.

‘නිවස භාරව සිටින තැනැත්තාද’ දරුවාගේ උරුමය බලාගත්තත් ඔහුගේ වැඩ කොටස ඊට වඩා වෙනස්. උදාහරණයකට මුදල් ලබාගැනීමට අවශ්‍ය වූ තරුණයෙකුට කරන්න සිදු වූ දේ සම්බන්ධයෙන් යුදෙව් ඉතිහාසඥ ජොසිෆස් පැවසූ දේ සලකා බලන්න. මුදල් ලබාගැනීම සඳහා තරුණයාට සිදු වුණා පියාගෙන් ලිපියක් ඉල්ලගෙන එය නිවස භාරව සිටි තැනැත්තාට දෙන්න. එසේ කිරීමෙන් පමණයි ඔහුට මුදල් ලබාගැනීමට හැකි වුණේ.

ඒ අනුව දරුවෙකුට සිදු වුණා ‘වැඩ බලන තැනැත්තාටත්,’ ‘නිවස භාරව සිටින්නාටත්,’ උපදේශකයාටත් යම් කාල සීමාවක් තුළ කීකරු වෙන්න.

[19වන පිටුවේ පින්තූරය]

සැරයටියක් ඇතැති උපදේශකයෙක් සිටින පැරණි ග්‍රීක මල් බඳුනක්

[හිමිකම් විස්තර]

National Archaeological Museum, Athens

[19වන පිටුවේ පින්තූරය]

දරුවා සංගීතය හදාරන විට සැරයටියක් ඇතැතිව සිටින උපදේශකයාද ඔහු සමඟ සිටින ආකාරය දැක්වෙන ක්‍රි.පූ. පස්වන සියවසට අයත් රූපයක්

[හිමිකම් විස්තර]

Bildarchiv Preussischer Kulturbesitz/​Art Resource, NY