Skip to content

පටුනට යන්න

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් ජය ලබයි

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් ජය ලබයි

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් ජය ලබයි

ප්‍රංශයේ ස්ටාර්ස්බර්ග්හි මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය 2007 මැයි 3වෙනිදා ජෝර්ජියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් දුන්නා. එම සාක්ෂිකරුවන්ගේ ආගමික නිදහස උල්ලංගනය කරමින් ඔවුන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව අධිකරණය මගින් සොයාගනු ලැබුවා. එමෙන්ම පහර දුන් කල්ලියට විරුද්ධව එවකට ජෝර්ජියාවේ ක්‍රියාත්මක වූ රජය කිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන්ද අධිකරණය චෝදනා කළා. මෙම තීන්දුව දීමට හේතු වුණේ කුමක්ද?

වර්ෂ 1999 ඔක්තෝබර් 17වෙනිදා ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසිවල සාක්ෂිකරුවන්ගේ එක් සභාවක සාමාජිකයන් 120දෙනෙක් පමණ තම නමස්කාරයේ හවුල් වෙමින් සිටියා. නමුත් ඕතඩොක්ස් ආගමෙන් නෙරපනු ලැබූ පූජකයෙකු වූ වාසීලීගේ මෙහෙයවීම යටතේ මැර පිරිසක් එම ස්ථානයට හදිස්සියේම කඩාවැදුණා. පොලු සහ යකඩ කුරුස රැගත් ඔවුන් රැස් වී සිටි සෙනඟට දරුණු ලෙස පහර දුන් අතර සමහරුන් බරපතළ අන්දමින් තුවාල ලැබුවා. එක් කාන්තාවකගේ ඇසක් සුව කළ නොහැකි සේ ආබාධයට ලක් වුණා. අඩුම තරමින් 16දෙනෙකුටවත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න සිදු වුණා. සාක්ෂිකරුවන් කීපදෙනෙක් උපකාරය පතා පොලිසියට ගියත් එහි පොලිස් ස්ථානාධිපති පැවසුවේ මම එතන හිටියා නම් ඊට වඩා දරුණු තත්වයකට ඕගොල්ලන්ට මූණ දෙන්න වෙනවා කියායි. මේ මැර පිරිසේ එක සාමාජිකයෙක් එම පහර දීම වීඩියෝගත කර ජාත්‍යන්තර රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කළා. ඒ නිසා පහර දුන් අයව පැහැදිලිවම හඳුනාගන්න හැකි වුණා. *

සාක්ෂිකරුවන් මැර පිරිසට විරුද්ධව පැමිණිල්ලක් දැම්මත් බලධාරීන් ඒ ගැන කිසි පියවරක් ගත්තේ නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ පොලිස් නිලධාරියාද ඕතඩොක්ස් ආගමේ කෙනෙක් නිසා ඔහු කියා සිටියේ තමාගේ ආගමේ පැත්ත ගන්න සිදු වෙනවා කියායි. මෙලෙස වගකිව යුතු නිලධාරීන් නිසි පියවර නොගත් නිසා ආගමික අන්තවාදීන් තවත් එවැනි පහර දීම් සියගණනක් කිරීමට පසුබට වුණේ නැහැ.

මේ නිසා සාක්ෂිකරුවන් 2001 ජූනි 29වෙනිදා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට පෙත්සමක් යැව්වා. * එම අධිකරණය මගින් සියලු තොරතුරු සොයාගත් පසු ජෝර්ජියාවේ බලධාරීන් මේ කාරණයට මැදිහත් නොවීම ගැන චෝදනා නඟමින් 2007 මැයි 3වෙනිදා අවසන් තීන්දුව දුන්නා. අධිකරණය පැවසුවේ මෙයයි. පහර දීම් සම්බන්ධයෙන් ‘බලධාරීන් තොරතුරු විමසා බලා පියවර ගත යුතුව තිබුණා. නමුත් ඔවුන්ගේ මැදිහත් නොවීමෙන් සිදු වන්නේ රටේ ක්‍රියාත්මක වන නීතිය කෙරෙහි මහජනයා තුළ තිබෙන විශ්වාසය හීන වී යෑමයි.’

තවදුරටත් අධිකරණය මෙසේ පැවසුවා. “ජෝර්ජියාවේ සාක්ෂිකරුවන් මුල් වතාවට මහා පරිමාණයෙන් වධ හිංසාවලට ලක් වුණේ 1999 ඔක්තෝබර් 17වෙනිදායි. බලධාරීන්ගේ නිහැඬියාව නිසා මේ අන්තවාදීන්ට ජෝර්ජියාව පුරාම ප්‍රචණ්ඩකාරි ක්‍රියා කිරීමට මං විවර වුණා.”

අවසානයේදී පහර ලැබූවන්ට ආගමික නිදහස ලැබුණු අතර සිදු වූ අලාභ හානිවලට හා තුවාල ලැබූ සාක්ෂිකරුවන්ට වන්දි ගෙවන්න කියා ජෝර්ජියාවේ රජයට නියෝග කළා. ප්‍රචණ්ඩ ක්‍රියා නැවතී තිබීම ගැනත්, නිදහසේ නමස්කාරයේ හවුල් වීමට ඇති අයිතිය අධිකරණය මගින් තහවුරු කිරීම ගැනත් ජෝර්ජියාවේ සාක්ෂිකරුවන් සතුටු වෙනවා. මේ සියල්ලේදී ඔවුන්ට උපකාර කරමින් ඔවුන්ට මඟ පෙන්වූ තම ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිට ඔවුන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.—ගීතාවලිය 23:4.

[පාදසටහන්වල]

^ 3 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන 2002 ජනවාරි 22 පිබිදෙව්! කලාපයේ 18-24 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැහැ.

^ 5 ඡේ. මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ යුරෝපීය කවුන්සලය මගිනුයි. ඉන් සිදු කරන්නේ මානව හිමිකම් සහ මූලික අයිතීන් ආරක්ෂා කිරීමයි. මානව හිමිකම් සම්බන්ධයෙන් ගත් සම්මුතියට 1999 මැයි 20වෙනිදා ජෝර්ජියාවත් එකඟ වුණා. එමනිසා එහි කොන්දේසිවලට එකඟව ක්‍රියා කිරීමට ඔවුන් බැඳී සිටිනවා.