Skip to content

පටුනට යන්න

මිය ගිය අයට ජීවිතය දිය හැකි දෙවි කෙනෙක්

මිය ගිය අයට ජීවිතය දිය හැකි දෙවි කෙනෙක්

දෙවිට ළං වෙන්න

මිය ගිය අයට ජීවිතය දිය හැකි දෙවි කෙනෙක්

ලූක් 7:11-15

ඔබ ගොඩක් ආදරය කළ කෙනෙක් මිය ගොස් තිබෙනවාද? එසේනම් එය කටුක අද්දැකීමක් වුණ බවට සැකයක් නැහැ. අපව නිර්මාණය කළ දෙවිට ඔබේ දුක තේරෙනවා. එමෙන්ම මරණය නිසා ඇති වන වේදනාව නැති කර දමන්නත් ඔහුට හැකියි. ඔහු ජීවිතයේ උල්පත පමණක් නොව මිය ගිය අයට නැවත ජීවිතය ලබා දිය හැකි දෙවි කෙනෙක් බව තහවුරු කිරීමට නැවත නැඟිටුවීම් පිළිබඳ වාර්තා බයිබලයේ සඳහන් කර තිබෙනවා. මිය ගිය කෙනෙක්ව නැවත නැඟිටුවීමට ඔහු තම පුත් යේසුස්ට බලය දුන් ආකාරය දැන් අපි සලකා බලමු. එම ප්‍රාතිහාර්යය ශුද්ධ බයිබලයේ ලූක් 7:11-15 දක්වා වාර්තා වෙනවා.

මෙය සිදු වුණේ ක්‍රිස්තු වර්ෂ 31 ගලීලයේ නායින් නුවරේදීයි. (ලූක් 7:11) සවස් යාමයේදී පමණ යේසුස් නුවර සීමාවට පැමිණි විට සිදු වූ දේ බයිබලයේ මෙසේ වාර්තා වෙනවා. “ඔහු ඒ නුවරෙහි දොරටුව ළඟට පැමිණි කල, බලන්න! මිය ගොස් සිටි මිනිසෙකුව පිටතට උසුලාගෙන එන ලදි. ඔහු තම මවගේ එකම පුත්‍රයා විය. තවද ඇය වැන්දඹුවක්ව සිටියාය. නුවරින් පැමිණි විශාල සමූහයක්ද ඇය සමඟ ගියෝය.” (ලූක් 7:12) මෙලෙස මිය ගොස් තිබෙන්නේ ඇයට අවශ්‍ය දේ සපයමින් ඇයව බලාගන්න සිටි එකම පුත්‍රයායි. එම වැන්දඹුවට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද?

මහත් වේදනාවකින් දේහය අසලින්ම ගමන් කරන එම වැන්දඹුවව යේසුස් දකිනවා. ‘ඇයගේ වේදනාව දැක අනුකම්පාවෙන් පෙලඹුණු’ යේසුස් “හැඬීම නවත්වන්න” කියා පැවසුවා. (ලූක් 7:13) ඒ වෙද්දී යේසුස්ගේ මවත් වැන්දඹුවක්ව සිටින්න ඇති. තමා ගැන ළඟදීම ඇයත් මේ වගේම වේදනාවක් අද්දකියි කියා සමහරවිට යේසුස්ට සිතෙන්න ඇති.

යේසුස් අවමඟුල් පෙරහැර වෙත ළං වී “දෙණයට අත තැබූ විට” සෙනඟ නැවතුණා. ඉන්පසු “තරුණය, නැඟිටින්නැයි මම ඔබට කියමි!” කියා ඔහු මහත් හඬින් පැවසුවා. ‘එවිට මිය ගොස් සිටි මිනිසා ඉඳගෙන කතා කරන්න පටන්ගත්තා. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නා.’ (ලූක් 7:14, 15) මරණය නිසා තම පුතාව අහිමි වී සිටි මවට නැවතත් ‘ඔහුව භාර දීමෙන්’ යේසුස් ඔවුන්ව යළිත් පවුලක් ලෙස එක් කළා. වැලපෙමින් සිටි මවට ඒ අවස්ථාවේ කොතරම් සතුටක් දැනෙන්න ඇද්ද!

ඔබ ආදරේ කළ කෙනෙක් මිය ගොස් ඇත්නම් ඔහුව හෝ ඇයව යළි දකින්න ලැබීම මොන තරම් සතුටක් වේවිද? දෙවිට ඔබේ දුක දැනෙන බව අමතක කරන්න එපා. අසරණව සිටි ඒ වැන්දඹුව ගැන යේසුස් දැක්වූ අනුකම්පාවෙන් පැහැදිලි වෙන්නේ දෙවිටත් ඒ ආකාරයෙන්ම හැඟෙන බවයි. ඊට හේතුව යේසුස් තම පියා කටයුතු කරන විදිහටම කටයුතු කිරීමයි. (යොහන් 14:9) මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන්න දෙවි දැඩි ආශාවකින් සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 14:14, 15) එමෙන්ම පාරාදීස පොළොවක ජීවත් වෙමින් මිය ගිය අයව දෙවි නැවත නැඟිටුවන ආකාරය දැකගැනීමේ විශ්මය ජනක අපේක්ෂාව ගැනත් එහි සඳහන් වෙනවා. (ලූක් 23:43; යොහන් 5:28, 29) ඔබටත් එම බලාපොරොත්තුව ඇතුව සිටිය හැක්කේ කෙසේද? ඒ සඳහා එය සිදු කරන දෙවි ගැන තවත් සොයා බලන්න කියා අපි ඔබව දිරිගන්වන්න කැමතියි.

[23වන පිටුවේ පින්තූරය]

“මිය ගොස් සිටි මිනිසා ඉඳගෙන කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය”