Skip to content

පටුනට යන්න

“මේ වගේ ආදරයක් මට කවදාවත් ලැබිලා නැහැ”

“මේ වගේ ආදරයක් මට කවදාවත් ලැබිලා නැහැ”

ඩොමිනිකන් ජනරජයෙන් ලිපියක්

“මේ වගේ ආදරයක් මට කවදාවත් ලැබිලා නැහැ”

නියූරිකා මේ සතියේ අපේ සභාවේදී බයිබල් සාකච්ඡාවක් පැවැත්තුවා. මමත් ඒකට හවුල් වුණා. ඇය හැම වචනයක්ම බ්‍රේල් භාෂාවෙන් ලියාගෙන කටපාඩම් කරගෙන තිබුණා. නියූරිකා වේදිකාවේ ඒ සාකච්ඡාව කරද්දී ඇගෙන් බයිබලය ඉගෙනගන්න කෙනා හැටියටයි මම එතන හිටියේ. ශබ්දය ඇසෙන උපකරණයක් නියූරිකා හිසේ පැළඳගෙන හිටපු නිසා මම කියපු දේවල් එයාට ඇහුණා. අපේ සාකච්ඡාව ඉවර වෙනවත් එක්කම සභාවේ හිටපු අය හයියෙන් අත්පුඩි ගැහුවා. ඒ හඬ නියූරිකාටත් ඇහුණ බව මට තේරුණේ එයාගේ මූණේ තිබුණු හිනාව දැක්කාමයි. ඒ වෙලාවේ මටත් ලොකු සතුටක් දැනුණා. දෙවිට සේවය කිරීම මොන තරම් ආශීර්වාදයක්ද!

මීට අවුරුදු දෙකකට කලින් නියූරිකාව මුණගැහුණු මුල්ම දවස මට අද වගේ මතකයි. එයාගේ ගෙදරට යන්න තිබුණේ දූවිලිවලින් නැහැවුණු පාරක් දිගේ. අපි යද්දී එයා ඉඳගෙන හිටියේ ලෑලිවලින් හදපු ගේක ඉස්තෝප්පුවෙයි. තහඩු වහලත් හොඳටම දිරලයි තිබුණේ. එළුවෝ, හාවෝ, බල්ලෝ වගේ සත්තුන්ගේ හඬ අවටින් ඇහෙන ගමන්ම උන් නිසා හැමූ දුගඳත් අපට දැනුණා. මේ වගේ පරිසරයක තමයි එයා කරබාගෙන කලකිරුණු තත්වයක හිටියේ. නියූරිකාට වයස අවුරුදු 34ක් වුණත් දුර්වල ශරීර සෞඛ්‍යය නිසා ඊට වඩා වයස පෙනුමක් ඇයට තිබුණා.

මම හෙමින් ඇගේ උරහිසට තට්ටු කළා. එතකොට එයා ඔළුව උස්සලා අපි දිහා බැලුවේ හරියට අපිව පේනවා වගේ. ඒ වුණත් ඊට අවුරුදු 11කට කලින් එයාගේ පෙනීම නැති වෙලා කන් ඇහීමත් අඩු වෙලා තිබුණා. පරම්පරාවෙන් එන රෝගයක් වැලඳුණු නිසයි ඇයට එහෙම වෙලා තියෙන්නේ. අපිව ඇයට හඳුන්වලා දුන්නේ ඇගේ කනට කිට්ටු වෙලා හයියෙන් කතා කරලයි. දරුණු ලෙස දියවැඩියාවෙන් පෙළුණු නිසා ඇයට නිතරම ලේවල සීනි මට්ටම පරීක්ෂා කරන්න සිද්ධ වුණා.

අන්ධ වෙන්න කලින් නියූරිකා බයිබලය කියවලා තිබුණ නිසා ඇගේ අතට බයිබලයක් දුන්නම ඒ මොකක්ද කියලා ඉක්මනටම හඳුනගත්තා. ඒත් මම කල්පනා කළා මේ වගේ තත්වෙක ඉන්න කෙනෙක්ට බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය උගන්වන්නේ කොහොමද කියලා. එයා ඉංග්‍රීසි හෝඩිය දැනගෙන හිටියා. ඒ නිසා ප්ලාස්ටික්වලින් හදපු ඉංග්‍රීසි අකුරු ගෙනිහින් එයාගේ අතට දුන්නහම එයා ඒවා අල්ලලා ඒ අකුරු මොනවද කියලා හඳුනගත්තා. පස්සේ එයාගේ අත් ස්පර්ශ කරලා එක එක අකුරට අදාළ සංඥා භාෂාවේ අකුරුත් මම එයාට ඉගැන්නුවා. ටිකෙන් ටික ඇය සංඥා භාෂාව ඉගෙනගත්තා. ඒ දවස්වල තමයි මමත් සංඥා භාෂාව ඉගෙනගන්න පටන් අරන් තිබුණේ. ඒ නිසා ඇයට බයිබලය ගැන උගන්වන්න කලින් මට සිද්ධ වුණා පැය ගාණක් සූදානම් වෙන්න. ඒත් අපේ උනන්දුව නිසා ඉක්මනින්ම සංඥා භාෂාව ඉගෙනගන්න පුළුවන් වුණා.

ඇගේ අඳුරු ලොව ආලෝකවත් කරමින් සහන සේවා මධ්‍යස්ථානයක් විසින් ඇයට ශ්‍රවණාධාරකයක් ලබා දුන්නා. අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක් කිසිම දෙයක් නොපෙනෙන නිහඬ ලොවක තනි වෙලා සිටි ඇයට එය ගොඩක් ප්‍රයෝජනවත් වුණා. නමුත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් ලැබුණු දැනුම, බලාපොරොත්තුව සහ ප්‍රේමය නිසා ඇයගේ මනසත් සිතත් පිබිදුණා. වැඩි කල් නොගොස් සැරයටියක ආධාරයෙන් අසල්වැසියන්ගේ ගෙවල්වලට ගිහින් බයිබලයේ තියෙන සත්‍යය කියලා දෙන්න ඇය පටන්ගත්තා.

දැන් නියූරිකා ඇගේ පුංචි අම්මා එක්කයි ඥාති සහෝදරියන් දෙන්නෙක් එක්කයි බයිබල් පාඩමක් පවත්වනවා. ඇය ඒක කරන්නේ හොඳින් සූදානම් වුණු දේවල් මතකයේ තබාගෙනයි. ඒ අය ඡේදයක් කියෙව්වම නියූරිකා බ්‍රේල් පොත ආධාරයෙන් ප්‍රශ්නය අහනවා. නියූරිකාගේ සහයට ඉන්න කෙනා ඒගොල්ලන් දෙන උත්තර ඇගේ කනට කරලා හයියෙන් කියනවා. සමහරක් දේවල් නියූරිකාගේ අත් ස්පර්ශ කරලා සංඥා භාෂාවෙන්ම කියනවා.

නියූරිකාගේ ක්‍රිස්තියානි සභාවේ ඉන්න අය එයාට ගොඩක් උදව් කරලා එයාව දිරිගන්වනවා විතරක් නෙවෙයි රැස්වීම්වලටත් සමුළුවලටත් එක්කගෙන යනවා. එමෙන්ම ඇය එක්ක දේශනා සේවයෙත් හවුල් වෙනවා. මෑතකදී ඇය පැවසුවේ “මේ වගේ ආදරයක් මට කවදාවත් ලැබිලා නැහැ” කියලයි. ඊළඟ දිස්ත්‍රික් සමුළුවේදී බව්තීස්ම වෙන්න නියූරිකා බලාපොරොත්තු වෙනවා.

දැන් නියූරිකා ඉන්නේ ගොඩක් සතුටින්. දවසක් අපි එයාගේ ගෙදර යද්දී හිරු එළිය හොඳින් වැටී තිබුණු ඉස්තෝප්පුවේ එයා ඉඳගෙන හිටියේ සිනාමුසු මූණෙන්. මම නියූරිකාගෙන් ඇහුවා ඇයි ඔයා හිනාවෙන්නේ කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. “මම හිතින් පාරාදීසයට ගිහිල්ලයි හිටියේ.”

[25වන පිටුවේ පින්තූරය]

නියූරිකා අපේ සභාවේ කීපදෙනෙක් එක්ක රාජ්‍ය ශාලාව ඉදිරිපිට

[25වන පිටුවේ පින්තූරය]

බයිබලයේ සඳහන් දේවල් නියූරිකා අනිත් අයට කියලා දෙනවා