Skip to content

පටුනට යන්න

යේසුස්ගේ මරණය ඔබට ගැලවීම ගෙන දෙයි

යේසුස්ගේ මරණය ඔබට ගැලවීම ගෙන දෙයි

වසර 2,000කට පමණ පෙර ක්‍රිස්තු වර්ෂ 33දී අහිංසක මිනිසෙක් අන් අය වෙනුවෙන් තම දිවි පිදුවා. ඔහු නාසරෙත්හි ජීවත් වූ යේසුස්. එම අගනා ක්‍රියාවෙන් මුළු මිනිස් වර්ගයාම ප්‍රයෝජන ලබනවා. එම ශ්‍රේෂ්ඨ ක්‍රියාව ගැන බයිබල් පදයක මෙසේ කැටි කොට දක්වනවා. “දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16, පැරණි අනුවාදය.

සමහරු මේ බයිබල් පදය දැන සිටියත් එහි නියම අර්ථය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන්නේ අතළොස්සකට පමණයි. ‘අපිට යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වෙන්නේ ඇයි කියාත්, ඔහුගේ ජීවිත පූජාවෙන් සියලුම මිනිසුන්ට මරණයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියාත්’ එවැනි අය කල්පනා කරනවා. මෙවැනි ප්‍රශ්නවලට බයිබලයේ පැහැදිලි පිළිතුරු සපයයි.

මරණය රජකම් කරන අයුරු

මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ ජීවත් වෙන ටික කාලයේදී දුක සැප දෙකම ලබා මරණයෙන් පසු හොඳ තැනකට යන්නයි කියා සමහරු විශ්වාස කරනවා. එය සත්‍යයක් නම් මිනිසා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණට මරණයත් ඇතුළත්. නමුත් බයිබලයේ පෙන්වන ආකාරයට මිනිසාට මරණය උරුම වුණේ වෙනත් හේතුවක් නිසයි. එහි සඳහන් වෙන්නේ මෙසේයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12) එම පදයට අනුව මිනිසුන් මිය යන්නේ පාපය නිසයි. එහෙත් මුළු මිනිස් සංහතියටම පාපය උරුම කර දුන් එම ‘මනුෂ්‍යයා’ කවුද?

මනුෂ්‍ය වර්ගයා පැවතෙන්නේ එකම ප්‍රභවයකින් කියා බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන බව එක් විශ්වකෝෂයක පවසා තිබෙනවා. (The World Book Encyclopedia) බයිබලයේ පැහැදිලි කරන ආකාරයට එම ප්‍රභවය වන්නේ ‘මනුෂ්‍යයායි.’ උත්පත්ති 1:27හි [නව ලොව පරිවර්තනය, NW] මෙසේ කියවීමට තිබෙනවා. “දෙවි තම ස්වරූපයෙන් මනුෂ්‍යයාව සෑදුවේය. දෙවිගේම ස්වරූපයෙන් මනුෂ්‍යයාව සෑදුවේය. පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.” මෙම මුල් මිනිස් යුවළ නිර්මාණය කිරීම තුළින් සියලු බලැති දෙවිව තව තවත් මහිමයට පත් වුණා.

යෙහෝවා දෙවි මුල් මිනිසාව නිර්මාණය කිරීමෙන් පසුව සිදු වුණේ කුමක්ද කියාත්, ඔවුන් දෙවිට අකීකරු වුණොත් අද්දකින ප්‍රතිඵලය ගැනත් උත්පත්ති පොතේ වාර්තා වෙනවා. (උත්පත්ති 2:16, 17) දෙවිට වුවමනා වුණේ මිනිසුන් පාරාදීස පොළොවක සදහටම සතුටෙන් ජීවත් වෙනවා දකින්නයි. ඔවුන් මහලු වී දුක් විඳ අවසානයේදී මිය යනවා දකින්න ඔහු කැමති වුණේ නැහැ. එසේනම් සියලු මනුෂ්‍යයන් කෙරෙහි මරණය රජකම් කරන්න පටන්ගත්තේ කෙසේද?

මුල් මිනිස් යුවළ තමන්ට ජීවිතය දුන් යෙහෝවා දෙවිට හිතා මතාම අකීකරු වූ ආකාරය උත්පත්ති 3වන පරිච්ඡේදයේ වාර්තා කර තිබෙනවා. ඔවුන් අකීකරු වූ නිසා දෙවි කලින් පවසා තිබූ ලෙස ඔවුන්ට දඬුවම් කළා. දෙවි මුල් මිනිසාට මෙසේ පැවසුවා. “ඔබ දූවිලිය, ඔබ දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19NW) දෙවි පැවසූ ලෙස අකීකරු වූ ඔවුන් දෙදෙනා අවසානයේදී මිය ගියා.

නමුත් එම විපාකය අත් වුණේ ඔවුන්ට පමණක් නොවෙයි. ඔවුන්ගේ අකීකරු වීම නිසා ඔවුන්ගෙන් පැවතෙන අපටත් සදහටම ජීවත් වීමේ අපේක්ෂාව අහිමි වුණා. “දරු සම්පත් ලබා ගණනින් වැඩි වන්න. පොළොව පුරා පැතිර යමින් එය රැකබලා ගන්න. මුහුදේ මත්ස්‍යයන්වද පක්ෂීන්වද පොළොව මත සිටින සියලු සතුන්වද ඔබ යටතේ තබාගන්න” කියා දෙවි ආදම් සහ ඒවට පැවසූ විට ඔහුගේ අරමුණට නූපන් දරුවන් පවා ඇතුළත් වූ බවයි පෙනී යන්නේ. (උත්පත්ති 1:28NW) ඒ අරමුණ නම් මුළු මිනිස් පවුලම නොමැරී පොළොව මත සතුටින් ජීවත් වෙනවා දැකීමයි. නමුත් මුල් පියා වූ ආදම් එනම් ඒ ‘මනුෂ්‍යයා’ තමන්ගෙන් පැවත එන්නන්ව පාපයේ වහල්භාවයට ඇද දැමීම නිසා ඔවුන්ට මරණය හිමි වුණා. එම මනුෂ්‍යයාගෙන්ම පැවත එන්නෙකු වූ පාවුල් ලිව්වේ “මාංසික වූ මම පාපයට විකුණනු ලැබ සිටිමි” කියායි.—රෝම 7:14.

ඉතා වටිනා සිතුවමකට හානි කරන පුද්ගලයෙක් හා සමානව ආදම්ද පව් කිරීමෙන් දෙවිගේ අනර්ඝ නිර්මාණයක් වූ මුළු මිනිස් වර්ගයාටම හානි කළා. ඒ නිසා අද දක්වා සිදු වෙන ආකාරයට ආදම්ගෙන් පැවතෙන හැම පරම්පරාවක්ම තවත් පරම්පරාවකට ජීවය දී අවසානයේදී මිය යනවා. බයිබලයේද සඳහන් වෙන්නේ ‘එක මිනිසෙකුගේ වරදකින් බොහෝදෙනෙක් මිය ගියා’ කියායි. (රෝම 5:15) අසනීප, මහලු විය, වැරදි කිරීමේ නැඹුරුවාව සහ මරණය අද්දකින්න අපට සිදු වී තිබෙන්නේ ආදම් නිසයි.

පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේ ඔහු ඇතුළු සියලු මිනිසුන් පාපය උරුම කරගෙන සිටින නිසා අද්දකින ඛේදනීය තත්වය ගැන මෙසේ විස්තර කළා. “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මිය යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?” එය වැදගත් ප්‍රශ්නයක්. පාවුල් ඇතුළු අපි සියලුදෙනාවම පාපයෙන් හා මරණයෙන් ගලවාගන්නේ කවුද? ඒ ප්‍රශ්නෙට පාවුල්ම පිළිතුරු දෙන්නේ මෙසේයි. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට ස්තුති වේවා!” (රෝම 7:14-25) ඉන් පෙනී යන්නේ තම පුත්‍රයා වන යේසුස් මාර්ගයෙන් අපිව ගලවාගැනීමට අපේ නිර්මාතෘ වන දෙවි කටයුතු කර ඇති බවයි.

මිනිසුන්ව ගලවාගැනීමේ වැඩ කොටස

මුළු මිනිස් සංහතියම පාපයෙන් මුදවාගැනීම සඳහා තමා කළ යුතු වැඩ කොටස ගැන යේසුස් මෙසේ පැවසුවා. ‘මනුෂ්‍ය පුත්‍රයා [හෙවත් යේසුස්] බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්න ආවේය.’ (මතෙව් 20:28, පැ. අ.) යේසුස්ගේ ජීවිතය මිදීමේ මිලයක් වන්නේ කෙසේද? ඉන් අපි සැමට ලැබෙන ප්‍රයෝජන මොනවද?

බයිබලයේ පැහැදිලි කරන්නේ යේසුස් ‘පව් නොකළ,’ “පව්කාරයන්ගෙන් වෙන්වූ” කෙනෙක් කියායි. ජීවිත කාලය පුරාම ඔහු දෙවිගේ සෑම නීතියකටම කීකරු වුණා. (හෙබ්‍රෙව් 4:15; 7:26) ඒ අනුව බලද්දී යේසුස් මිය ගියේ ඔහු තුළ පාපය තිබූ නිසාවත් ආදම් මෙන් අකීකරු වූ නිසාවත් නොවන බව පැහැදිලියි. (එසකියෙල් 18:4) ඉතිහාසයේ මෙතෙක් කවරෙකුවත් නොකළ ලෙස ප්‍රේමයෙන් පෙලඹී ‘සෑම මිනිසෙකු උදෙසා මරණයේ රස බලන්න’ යේසුස් කැමති වුණේ මනුෂ්‍ය වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීම සඳහායි.—හෙබ්‍රෙව් 2:9.

පව් කිරීමට කලින් ආදම් සතුව තිබූ නිකැලැල් මිනිස් ජීවිතයට සමාන ජීවිතයක් තමයි යේසුස් පූජා කළේ. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා දෙවි එම පූජාව “සියල්ලන් උදෙසා, අනුරූපී මිදීමේ මිලයක් ලෙස” භාරගත්තා. (1 තිමෝති 2:6) එයින් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් මනුෂ්‍ය වර්ගයාව පාපයේ සහ මරණයේ වහල්භාවයෙන් මුදවාගත් බවයි.

මිනිසාගේ නිර්මාතෘ වන දෙවි තම පුත්‍රයාව එවීමෙන් පෙන්වූ උතුම් ප්‍රේමය ගැන බයිබලයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. පාවුල් එදා සිටි ක්‍රිස්තියානීන්ට මතක් කර දුන්නේ දෙවි ඔවුන්ව ‘මිල දී ගෙන’ තිබූ බවයි. (1 කොරින්ති 6:20; 7:23) ඔවුන්ව මරණයේ බැඳුම්වලින් මුදවාගැනීමට දෙවි දුන්නේ තම පුත්‍රයාගේ වටිනා රුධිරය මිස රන්වත් රිදීවත් නෙවෙයි කියා පේතෘස් ලිව්වා. (1 පේතෘස් 1:18, 19) යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් මුළු මිනිස් සංහතියවම මරණයෙන් මුදවාගන්න යෙහෝවා දෙවි කටයුතු කළා.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන

යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබෙන මහත් ප්‍රයෝජන ගැන යොහන් මෙසේ ලිව්වා. “[යේසුස්] අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවකි. එහෙත් අපේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේද පාප උදෙසාය.” (1 යොහන් 2:2) මින් පැහැදිලි වෙන්නේ සැමටම යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලැබිය හැකි බවයි. නමුත් එම ප්‍රයෝජන ඉබේම ලැබෙනවාද? නැහැ. කලින් ලිපියේ සඳහන් කළ ගල්අඟුරු ආකරයේ සිද්ධිය ඔබට මතකද? කොටු වී සිටි පතල්කරුවන්ට බේරෙන්න හැකි වුණේ ජීවිත ආරක්ෂක භටයන් ඔවුන් වෙත එවූ කූඩයට නැඟීමෙන් පමණයි. ඒ හා සමානව යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලැබීමට කැමති අයත් යම් පියවර ගත යුතුයි.

ඒ පියවර මොනවාද? “පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට සදාකාල ජීවනය ලැබේ. පුත්‍රයාට අකීකරු වන්නා කෙරෙහි දෙවිගේ උදහස පවතින අතර, ඔහු ජීවනය නොදකියි” කියා බයිබලයේ යොහන් 3:36හි සඳහන් වෙනවා. ඒ පදයට අනුව අපි යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ‘දිගටම යේසුස්ගේ ආඥා පැවැත්වීමෙන් ඔහුව හඳුනන බව පෙන්වීමත්’ වැදගත්. (1 යොහන් 2:3) එයින් පැහැදිලි වෙන්නේ පාපයේ හා මරණයේ බලපෑම්වලින් මිදීමට නම් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමත් ඔහුගේ ආඥාවලට කීකරු වීමත් අවශ්‍ය බවයි.

යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අපේ අගය පෙන්විය හැකි ක්‍රමයක් වන්නේ ඔහු ආඥා කළ ආකාරයට ඔහුගේ මරණය සිහි කිරීමයි. මිය යෑමට ටිකකට කලින් ඔහු තම ගෝලයන් සමඟ සන්ධ්‍යා භෝජනය ගත් අවස්ථාවේදී “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියා ආඥා කළා. (ලූක් 22:19) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් සමඟ තිබෙන තම මිත්‍රත්වය අගය කරන නිසා ඒ ආඥාවට කීකරු වෙනවා. මේ වසරේ යේසුස්ගේ මරණය සිහි කරනු ලබන්නේ මාර්තු 22වන සෙනසුරාදා හිරු බැස යෑමෙන් පසුවයි. යේසුස් දුන් එම ආඥාවට කීකරු වීමක් ලෙස ඒ විශේෂ අවස්ථාවට පැමිණෙන්න කියා අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරන්න කැමතියි. එය පවත්වන වේලාව හා ස්ථානය දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. එම අවස්ථාවට පැමිණීමෙන් යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලැබීමටත්, ආදම්ගෙන් උරුම වූ පාපයෙන් මිදීමටත් කළ යුත්තේ කුමක්ද කියා එහිදී ඔබට තවදුරටත් දැනගන්න ලැබෙයි.

තමන්ව විනාශයෙන් ගලවාගැනීම සඳහා නිර්මාතෘ දෙවි හා ඔහුගේ පුත් යේසුස් කර තිබෙන දේ අගය කරන්නේ සුළුතරයක් පමණයි. එම පූජාව කෙරෙහි ඇදහිල්ල තබන අයට සන්තෝෂය අද්දකින්න පුළුවන්. සෙසු ක්‍රිස්තියානීන්ව අමතමින් පේතෘස් මෙවැනි දෙයක් පැවසුවා. “[යේසුස්] කෙරෙහි ඇදහිල්ල පෙන්වා, වචනයෙන් කිව නොහැකි තරම් වූද මහිමයට පත් කරනු ලැබුවාවූද ප්‍රීතියකින් බොහෝ සේ ප්‍රීති වෙමින්, ඔබේ ඇදහිල්ලේ ඉටුවීම වන ඔබේ ජීවිත ගැලවීම ලබන්නහුය.” (1 පේතෘස් 1:8, 9) යේසුස්ට ප්‍රේම කරමින් ඔහුගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබනවා නම් ඔබට දැන් පවා සතුටින් ජීවත් විය හැකි අතර අනාගතයේදී පාපයේ හා මරණයේ ග්‍රහණයෙන් මිදීමටත් හැකි වෙනවා.