Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස් අන්ධ මිනිසෙකුව පියවරෙන් පියවර සුව කළේ ඇයි?

යේසුස් බෙත්සයිදාවේ සිටි අන්ධ මිනිසෙකුට පෙනීම ලබා දුන් ආකාරය ගැන මාක් 8:22-26 දක්වා කියවීමට තිබෙනවා. යේසුස් මුලින්ම ඔහුගේ ඇස්වල කෙළ තවරා ඔබට මොනවා හරි පෙනෙනවාද කියා ඔහුගෙන් ඇසුවා. එවිට ඔහු “මට මිනිසුන්ව පෙනේ. මන්ද මට ගස් වාගේ දේවල් පෙනේ. නමුත් ඒවා එහා මෙහා ඇවිදින්නේය” කියා පැවසුවා. ඉන් පෙනී යන්නේ ඔහුට හැම දෙයක්ම පැහැදිලිව පෙනුණේ නැති බවයි. යේසුස් යළිත් ඔහුගේ ඇස් ස්පර්ශ කළ විට ‘ඒ මිනිසාට පැහැදිලිව පෙනුණා. ඔහු සුවය ලැබූ අතර, ඔහුට සෑම දෙයක්ම හරියාකාරව පෙනුණා.’ මෙයින් පැහැදිලි වෙන්නේ යේසුස් ඒ මිනිසාව පියවරෙන් පියවර සුව කළ බවයි. යේසුස් එසේ කළේ ඇයි?

එසේ කිරීමට හේතුව බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඊට හේතු විය හැකි දේවල් කීපයක් අපි සලකා බලමු. ජීවිත කාලය පුරාම අන්ධ වී සිට එකපාරටම පෙනීම ලැබීම අලුත්ම අද්දැකීමක්! මෙය වටහාගැනීමට ආකරවල වැඩ කළ පෝනියන්ට සිදු වූ දේ ගැන බලමු. එහි වැඩ කරද්දී මේ සතුන්ට දවස් ගාණක්ම අඳුරේ ඉන්න සිදු වුණා. ඉන්පසු උන්ව ආකරයෙන් පිටතට ගෙනා විට නැවතත් ආලෝකයට හුරු වෙන්න මුළු දවසක්ම ගත වුණා. පෙනීම තිබෙද්දීත් එසේ වූවා නම් අන්ධව සිට පෙනීම ලැබෙද්දී එය මොන වගේ අද්දැකීමක් වෙයිද? පෙනීමේ ආබාධයක් ඇති ටිකදෙනෙකුව සුව කර පෙනීම ලබා දෙන්න වර්තමානයේ ශල්‍ය වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. එම රෝගීන්ට සුවය ලැබුණු අවස්ථාවේදී මුල් වතාවට විවිධ වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් යුත් දේවල් දකිද්දී ඔවුන්ගේ මොළයට එම තොරතුරු දරාගන්න පහසු වුණේ නැහැ. එමනිසා ඔවුන්ට හුරු දේවල් පවා හඳුනාගැනීම දුෂ්කර වුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් දකින දේවල් වෙන් කර හඳුනාගැනීමට ඔවුන්ට හැකි වුණා.

එම අන්ධ මිනිසාව පියවරෙන් පියවර සුව කිරීමෙන් පෙනී යන්නේ යේසුස් ඔහු කෙරෙහි කොතරම් සැලකිල්ලක් දැක්වූවාද යන්නයි. අවසානයේදී ඔහුට ‘සෑම දෙයක්ම හරියාකාරව පෙනුණා.’

යේසුස්ගේ කාලයේදී ලියවිල්ලකින් කියවීම පහසු කාර්යයක් නොවූයේ ඇයි?

අතීතයේ භාවිත කළ ලියවිලි සකසා තිබුණේ අඟල් 9 සිට 11 දක්වා දිග අඟල් 6 සිට 9 දක්වා පළල පිටුවලිනුයි. සත්ව සම්වලින් සාදා තිබූ එම පිටු අලවා හෝ නූල්වලින් මසා එකිනෙක අමුණණු ලැබුවා. සමහර අවස්ථාවලදී තරමක් දිග පිටුද භාවිතයට ගැනුණා. සත්ව සම්වලින් සාදා තිබුණ යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ල පිටු 17ක් එක් කර සකස් කර තිබෙන අතර එය අඩි 24ක් පමණ දිගයි. යේසුස් නාසරෙත්හි සිනගෝගයේදී කියෙවූ යෙසායාගේ ලියවිල්ලත් ඒ හා සමාන දිග එකක් වෙන්න ඇති.—ලූක් 4:16, 17.

ඇලන් මිලර්ඩ් ලියූ පොතක සඳහන් වෙන්නේ මෙයයි. “කෙනෙක් ලියවිල්ලක් කියවද්දී වම් අතින් එය දිගහරිමින් කියවාගෙන යන අතරේ දකුණු අතින් නැවතත් එය අකුළයි. යෙසායා 61වෙනි පරිච්ඡේදයේ තිබෙන කොටස සොයාගැනීමට යේසුස්ට එම ලියවිල්ල සෑහෙන කොටසක් දිගහරින්නත් අකුළන්නත් සිදු වෙන්න ඇති.”—Discoveries From the Time of Jesus.

අද මෙන් ඒ කාලයේදී යෙසායාගේ ලියවිල්ල පරිච්ඡේද හා ඡේදවලට වෙන් කර තිබුණේ නැහැ. එමනිසා යේසුස්ට සිදු වුණා කියවන්න තිබූ කොටස එම ලියවිල්ලෙන් සොයාගන්න. අද දින එම කොටස තිබෙන්නේ බයිබලයේ යෙසායා 61:1, 2 පදවලයි. යේසුස් පහසුවෙන්ම එම ‘කොටස සොයාගැනීමෙන්’ ඔප්පු වෙන්නේ ඔහු හොඳින් දේවවචනය භාවිත කළ කෙනෙක් බවයි.