Skip to content

පටුනට යන්න

චාරිත්‍රයක් පිටුපස ඇති අරුත

චාරිත්‍රයක් පිටුපස ඇති අරුත

චාරිත්‍රයක් පිටුපස ඇති අරුත

දිනපතා හෝ සතිපතා ලොව පුරාම වෙසෙන ජනයා එය පවත්වනවා. ඔවුන්ට එය ඉතා වැදගත් දෙයක්. නමුත් එය පවත්වන වැඩිදෙනෙකුට එහි නියම අර්ථය ගැන වැටහීමක් නැහැ. ඔවුන් එය සලකන්නේ ශුද්ධ මෙන්ම ආශ්චර්යවත් දෙයක් ලෙසයි.

එය හඳුන්වන්නේ සත්ප්‍රසාදය කියායි. සාමාන්‍යයෙන් සත්ප්‍රසාදය ලැබීමට පෙර පූජකයා රොටි හා වයින් වෙනුවෙන් ආශීර්වාද ඉල්ලා යාච්ඤා කරනවා. පසුව දේවමෙහෙයට සහභාගි වන කතෝලික බැතිමතුන්ද සත්ප්‍රසාද ලබනවා. * එක අවස්ථාවක 16වන බෙනඩික් පාප්වරයා පැවසුවේ මෙය කතෝලිකයන්ට ඉතාම වැදගත් දෙයක් කියායි. සත්ප්‍රසාදය කෙරෙහි බැතිමතුන්ගේ විශ්වාසය වැඩි කිරීම සඳහා වාර්ෂිකව “සත්ප්‍රසාද මංගල්‍යයක්” පවා පවත්වනු ලබනවා.

එතරම් ඇදහිල්ලක් නැති කතෝලික බැතිමතුන් පවා සත්ප්‍රසාද ලැබීම සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. මෑතකදී පළ වූ ටයිම් නම් සඟරාවේ එක් කතෝලික දැරියක් පැවසූ දේ සඳහන් වී තිබුණා. ඇය පවසා තිබුණේ මෙයයි. “කතෝලික ආගමේ මූලධර්ම කුමක් වුණත් කතෝලිකයන් හැටියට අපිව එක්සත් කරවන සත්ප්‍රසාදය අපි පවත්වනවා.”

සත්ප්‍රසාදය කියන්නේ කුමක්ද? ක්‍රිස්තියානීන් මෙය පැවැත්විය යුතුමද? අපි මුලින්ම බලමු සත්ප්‍රසාදය ඇරඹුණේ කෙසේද කියා. එවිට වඩාත් වැදගත් ප්‍රශ්නයකට පිළිතුර ලැබෙනවා. මීට වසර 2,000කට පමණ කලින් යේසුස් පැවැත්වූ දේට අනුකූලවද අද දින සත්ප්‍රසාද ලැබීම සිදු වෙන්නේ?

ක්‍රිස්තියානි ආගම් තුළ සත්ප්‍රසාදය

බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් මෙය ප්‍රාතිහාර්යමය අවස්ථාවක් ලෙස සලකන්නේ ඇයි කියා අපි බලමු. සත්ප්‍රසාදය වෙනුවෙන් පූජකයා කරන යාච්ඤාව ඔවුන් සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි. මුලින්ම පූජකයා වයින් හා පූප ගැනීමෙන් පසු අන් අයටත් පූප ලැබීම සඳහා ආරාධනා කරනවා. මේ අවස්ථාවේදී පූප සහ වයින් ආශ්චර්යවත් ආකාරයකින් යේසුස්ගේ ශරීරය හා රුධිරය බවට හැරෙනවා කියායි ඔවුන් විශ්වාස කරන්නේ.—වැඩි විස්තර සඳහා Catechism of the Catholic Church යන පොත බලන්න.

මෙලෙස වයින් හා පූප යේසුස්ගේ රුධිරය හා ශරීරය බවට පත් වුණා යන විශ්වාසය ඇරඹුණේ 13වන සියවසේදීයි. රෙපරමාදු ආගම බිහි කිරීමට දායක වූ මාර්ටින් ලූතර් නමැත්තා එම අදහසට එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ රොටි හා වයින් යේසුස්ගේ ශරීරය හා රුධිරය සමඟ සම්බන්ධ වෙන බවයි.

කාලය ගෙවී යෑමත් සමඟම සත්ප්‍රසාදය යන්නෙහි නියම අර්ථය ගැනත් එය පැවැත්විය යුතු ආකාරය හා වාර ගණන ගැනත් විවිධ ක්‍රිස්තියානි ආගම් තුළ මතභේද ඇති වුණා. නමුත් ක්‍රිස්තියානි ආගම් අතර සත්ප්‍රසාදය තවමත් ඉතා වැදගත් තැනක් උසුලනවා. යේසුස් පවත්වන්න කියා ආඥා කළ දේට මෙය එකඟද කියා අපි දැන් සලකා බලමු.

යේසුස්ගේ මරණය සිහි කිරීම

“ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” [රාත්‍රි භෝජනය] නැතහොත් මරණය සිහි කිරීම පවත්වන්න කියා ආඥා කරනු ලැබුවේ යේසුස් විසින්මයි. (1 කොරින්ති 11:20, 24) ඒ අවස්ථාවේදී යේසුස් තම ශරීරය කෑමේ හා රුධිරය බීමේ අදහස ඇති අමුතුම චාරිත්‍රයක් ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන් පිහිටෙවුවාද?

යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය සැමරීමෙන් පසුව යේසුස් තමන්ට ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්ව පිටත් කර හැරියා. ඉතිරි වී සිටි ගෝලයන් 11දෙනාගෙන් කෙනෙක් වූ මතෙව් ඉන්පසුව සිදු වූ දේ ගැන මෙසේ වාර්තා කරනවා. “ඔවුන් කමින් සිටියදී යේසුස් රොටියක් ගෙන ආශීර්වාද කොට එය කඩා ගෝලයන්ට දුන්නේය. ‘රැගෙන කන්න. මෙය මාගේ ශරීරය නියෝජනය කරන්නේය’ යි ඔහු කීවේය. තවද ඔහු කුසලානයක් ගෙන ස්තුති කිරීමෙන් පසු එය ඔවුන්ට දෙමින් මෙසේ කීවේය. ‘ඔබ සියල්ලන්ම මෙයින් බොන්න. මන්ද මෙය පව්වලට සමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන ‘ගිවිසුමේ මාගේ රුධිරය’ නියෝජනය කරන්නේය.’”—මතෙව් 26:26-28.

යේසුස් ඇතුළුව දෙවිගේ සියලු සේවකයන් ආහාර ගැනීමට පෙර යෙහෝවා දෙවිට ස්තුති කර යාච්ඤා කළා. (ද්විතීය කතාව 8:10; මතෙව් 6:11; 14:19; 15:36; මාක් 6:41; 8:6; යොහන් 6:11, 23; ක්‍රියා 27:35; රෝම 14:6) මේ අනුව සන්ධ්‍යා භෝජනය පැවැත්වූ අවස්ථාවේ යේසුස් යාච්ඤා කළේ ආශ්චර්යවත් ආකාරයකින් ගෝලයන්ට ඔහුගේ රුධිරයත් ශරීරයත් ආහාරයට ගන්න සලස්වන්න කියාද? එසේ සිතීමට කිසිම පදනමක් තිබෙනවාද?

යේසුස් පැවසූ දෙයෙහි අදහස

සමහර බයිබල් පරිවර්තනවල යේසුස් පැවසූ දේ සඳහන් කර ඇත්තේ මෙලෙසයි. “රැගෙන කන්න; මේක මාගේ ශරීරයයි. . . . නුඹලා සියල්ලෝම මෙයින් බොන්න; මේක . . . මාගේ ලේය.” (මතෙව් 26:26-28, පැරණි අනුවාදය) යේසුස් පැවසූ ඉහත වදන් විස්තර කිරීමට මුල් ග්‍රීක භාෂාවෙන් යොදාගත්තේ කුමන වචනයද කියා සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වේවි. එම වචනය වන්නේ එස්ටින්. මෙම ග්‍රීක වචනය තුළ “නියෝජනය කරනවා” යන අදහසත් ගැබ්ව තිබෙනවා. අවට පාඨ සැලකිල්ලට ගෙන සමහර බයිබල් පරිවර්තනවල මෙම වචනය “අර්ථය” ලෙසත් දක්වා තිබෙනවා. * උදාහරණයකට මතෙව් 12:7හි එස්ටින් යන ග්‍රීක වචනය පරිවර්තනය කර තිබෙන ආකාරය සලකා බලන්න. “‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට, කැමැත්තෙමි’ යන කීමේ අර්ථය [එස්ටින්] ඔබ දැන සිටියහු නම් නිදොස් අය පිට වරද නොතබනු ඇත.”—නව අනුවාදය.

“මේක මාගේ ශරීරයයි,” “මේක මාගේ රුධිරයයි” කියා සඳහන් කිරීමෙන් යේසුස් පැවසූ වදන්වල අර්ථය යටපත් වී තිබෙන බවට බොහෝ බයිබල් විශාරදයන් එකඟ වෙනවා. උදාහරණයකට රෝමානු කතෝලික දේවධර්මාචාර්යවරයෙක් වන ස්සාක් ඩ්‍යුපොන්ඩ් පැවසුවේ යේසුස් ජීවත් වූ සමාජය සහ එදා පැවති සංස්කෘතියට අනුව එම පදය “මෙය මාගේ ශරීරය නියෝජනය කරන්නේය” ලෙස සඳහන් කිරීම “වඩාත් උචිත” බවයි.

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට තමන්ගේ ශරීරය හා රුධිරය ආහාරයට ගන්න කියා පැවසුවේ නැති බව අපට ස්ථිරයි. පුරාණයේ සිටි නෝවා නම් ඇදහිලිවන්තයා ජීවත් වූ කාලයේදී සිදු වූ මහා ජලගැල්මෙන් පසු සතුන්ගේ මාංස ආහාරයට ගන්න දෙවි මිනිසුන්ට අවසර දුන්නා. නමුත් ඔහු මිනිසුන්ගේ මාංස ආහාරයට ගන්න අවසර දුන්නේ නැහැ. එමෙන්ම රුධිරය ආහාරයට ගැනීමත් දෙවි තහනම් කර තිබුණා. (උත්පත්ති 9:3, 4) මෙම ආඥාව මෝසෙස්ට දුන් නීතිය තුළ නැවත නැවතත් කාවද්දා තිබූ අතර යේසුස්ද එම නීතියට කීකරු වුණා. (ද්විතීය කතාව 12:23; 1 පේතෘස් 2:22) එමෙන්ම මුල් සියවසේදීත් සියලුම ක්‍රිස්තියානීන් ලෙයින් වැළකිය යුතුයි කියා නැවතත් සිහිගැන්වුවා. (ක්‍රියා 15:20, 29) මේ අනුව තමන්ගේ ශරීරය හා රුධිරය ආහාරයට ගැනීමෙන් දෙවිට පිටුපාන ආකාරයේ චාරිත්‍රයක් යේසුස් තම අනුගාමිකයන්ට හඳුන්වා දෙයි කියා කොහෙත්ම සිතන්න බැහැ.

එසේනම් යේසුස් රොටි සහ වයින් යොදාගත්තේ යම් දෙයක් සංකේතවත් කිරීමට බව පැහැදිලියි. මුහුන් මිශ්‍ර නොකළ රොටිවලින් නියෝජනය වුණේ යේසුස් පූජා කළ ඔහුගේ පව් රහිත ශරීරයයි. වයින්වලින් නියෝජනය වුණේ “පව්වලට සමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු” ලැබූ යේසුස්ගේ රුධිරයයි.—මතෙව් 26:28.

යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ ඇයි?

අන්තිම රාත්‍රි භෝජනය අවසන් කිරීමෙන් පසු යේසුස් පැවසුවේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියායි. (ලූක් 22:19) මෙය සැමරීමෙන් අපට යේසුස්ව හා ඔහුගේ මරණය මාර්ගයෙන් ඉටු වූ දේවල් සිහිපත් කළ හැකි වෙනවා. විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි බව යේසුස් ඔහුගේ මරණය මාර්ගයෙන් තහවුරු කළ ආකාරය ඉන් අපට මතක් වෙනවා. එමෙන්ම තමන්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අයට සදාකාල ජීවනය ලබාගැනීමට හැකි වන ලෙස කිසිම පවක් නොකළ ඔහු “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය” පූජා කළ ආකාරයත් ඉන් අපට සිහිගැන්වෙනවා.—මතෙව් 20:28.

යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට හවුල් වෙන්නේ (1) යේසුස්ගේ ජීවිත පූජාව සූදානම් කළ යෙහෝවා දෙවි (2) “දෙවිගේ බැටළු පැටවා” වන යේසුස් (3) රොටි සහ වයින්වල පංගුකාරයන් වන යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් යන අයයි. මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් රොටි හා වයින් ගැනීමෙන් තමන් යේසුස් සමඟ එක්සත්ව සිටින බව පෙන්වනවා. (යොහන් 1:29; 1 කොරින්ති 10:16, 17) එමෙන්ම ඔවුන් ‘අලුත් ගිවිසුමකට’ ඇතුළත් වී සිටින ආකාරයත් ඉන් පෙන්නුම් කෙරෙනවා. මේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයේ යේසුස් සමඟ හවුල් වී රජවරුන් හා පූජකයන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.—ලූක් 22:20; යොහන් 14:2, 3; එළිදරව් 5:9, 10.

යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කවදාද? එයට පිළිතුර දැනගැනීම සඳහා යේසුස් එය පැවැත්වූ දිනය සැලකිල්ලට ගන්න. ඔහු එය පැවැත්වූයේ පාස්කු දිනයෙයි. ඊට වසර 1,500කට පෙර සිටම දෙවිගේ සෙනඟ හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව නීසාන් මස 14වනදා වාර්ෂිකව පාස්කුව පවත්වා තිබෙනවා. ඉන් ඊශ්‍රායෙල්වරුන්ට සිහිගැන්වූයේ යෙහෝවා දෙවි ඔවුන්ව ඊජිප්තුවෙන් ගලවාගත් ආකාරයයි. යේසුස්ගේ මරණය මාර්ගයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ ආකාරයක ගැලවීමක් මුළු මිනිස් වර්ගයාටම ලැබුණා. එය සැමරීම සඳහා පාස්කුව පැවැත්වූ දිනයම යොදාගැනීමට යේසුස් තම අනුගාමිකයන්ව දිරිගැන්වුවා. මේ නිසා යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් සෑම වසරකම හෙබ්‍රෙව් දින දර්ශනයේ නීසාන් 14වෙනිදාට සරිලන දිනයේදී යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙනවා.

ඔවුන් එය කරන්නේ සිරිතක් ලෙසද? සත්ප්‍රසාදය සම්බන්ධයෙන් සිදු වී ඇත්තේ එයයි. කලින් සඳහන් කළ ටයිම් සඟරාවේ ලේඛිකාව මෙසේද පැවසුවා. “පැරණි සම්ප්‍රදායක් පිළිපදින්න කවුරුත් කැමතියි.” සමහර කතෝලිකයන් මෙන් ඇයත් කැමති ලතින් භාෂාවෙන්ම දේවමෙහෙය පවත්වනවාටයි. ඊට හේතුව ඇය මෙසේ විස්තර කළා. “මම ආසයි පූජාව මට තේරෙන්නේ නැති භාෂාවකින් පවත්වනවාට. මගේ භාෂාවෙන් කියන දේවල් අහන් ඉන්න මම එච්චර ආස නැහැ.”

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළු තවත් මිලියන ගණන්දෙනා තමන්ගේම භාෂාවෙන් පැවැත්වෙන යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාවට හවුල් වෙන්නේ හද පිරි සතුටින්. ඊට හේතුව එයට සහභාගි වීමෙන් යේසුස්ගේ මරණයේ ඇති වැදගත්කම හා එහි අර්ථය ගැන ඇති අවබෝධය තවත් වැඩිවීමයි. ඒ නිසා වර්ෂයක් පුරාම ඔවුන්ට ඒ ගැන සිතීමට සහ කතා කිරීමට හැකි වෙනවා. යෙහෝවා දෙවි සහ යේසුස් විදහා පෑ ප්‍රේමය අගය කරන බව පෙන්විය හැකි හොඳම ක්‍රමය එම අවස්ථාවට සහභාගි වීම බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසයි “ස්වාමීන් එන තුරු ඔහුගේ මරණය ප්‍රකාශ” කරන්න ඔවුන්ට හැකි වී තිබෙන්නේ.—1 කොරින්ති 11:26.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය, පූප කැඩීම, ශුද්ධ පූජාව, දිව්‍ය සත්ප්‍රසාදය ලෙසත් මෙය හඳුන්වනවා.

^ 15 ඡේ. උදාහරණ සඳහා ඇත්ත ඇති තැන නම් බයිබල් පරිවර්තනයේ, මතෙව් 27:46 හා ලූක් 8:11 කියවා බලන්න.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස් පවත්වන්න කියා ආඥා කළ දේ කුමක්ද?

[28වන පිටුවේ පින්තූරය]

තම මරණය සිහි කිරීමේ අවස්ථාව යේසුස් හඳුන්වා දුන්නා

[29වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවක්