Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

තිමෝතිගේ කදිම ආදර්ශය

තිමෝතිගේ කදිම ආදර්ශය

“ඔයා ලෑස්තිද?” මේ ප්‍රශ්නය කවුරු හරි ඔයාගෙන් අහලා තියෙනවාද?—එහෙම අහපු කෙනාට ඕනේ වෙලා තියෙන්නේ ඔයා මොනවා හරි දේකට සූදානම්ද කියලා දැනගන්නයි. සමහරවිට එයාට දැනගන්න ඕන වෙන්න ඇත්තේ ඔයා පාඩම් කරන්න සූදානම්ද කියලා වෙන්න ඇති.

තිමෝතිත් යම් දේකට සූදානම් වෙලා හිටියා. ඒ විතරක් නෙවෙයි එහෙම කරන්න කැමැත්තෙනුත් හිටියා. ඔයා දන්නවද ඒ මොකටද කියලා?—දෙවිට සේවය කරන්න කියලා තිමෝතිට ආරාධනාවක් ලැබුණා. ඒ වගේ ආරාධනාවක් ලැබුණු අතීතයේ හිටපු වෙනත් ඇදහිලිවන්තයෙක් කිව්වේ “මාව යවන්න. මම යන්න සූදානම්” කියලයි. තිමෝතිටත් තිබුණේ ඒ ආකල්පයමයි. (යෙසායා 6:8, නව ලොව පරිවර්තනය, NW) සේවය කරන්න සූදානමිනුත් කැමැත්තෙනුත් හිටිය නිසා ඔහු ලොකු සතුටක් ලැබුවා. ඔයා කැමතිද ඒ ගැන තව දැනගන්න?—

තිමෝති ඉපදුණේ යෙරුසලමට හුඟක් ඈතින් තිබුණු ලිස්ත්‍රාවෙයි. එයාගේ ආච්චියි (ලොයිස්) අම්මයි (යූනිස්) ශුද්ධ ලියවිලි හොඳින් කියවලා තිබුණා. ඒ නිසා ළදරු කාලයේදීම තිමෝතිටත් දෙවිගේ වචන ගැන ඉගැන්නුවා.—2 තිමෝති 1:5; 3:15.

පාවුලුයි, බානබසුයි දේශනා කරන්න ලිස්ත්‍රාවට ගිය කාලේ තිමෝති යෞවන වයසේ ඉන්න ඇති. තිමෝතිගේ අම්මයි ආච්චියි ක්‍රිස්තියානීන් බවට පත් වුණේ ඒ කාලේදී වෙන්න ඇති. එහෙදී පාවුල්ටයි බානබස්ටයි මොන වගේ කරදරවලටද මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා දැනගන්න ඔයා කැමතිද?—ක්‍රිස්තියානීන්ට කැමති නැති අය පාවුල්ට ගල් ගහලා, බිම දිගේ ඇදගෙන ගිහින් නුවරෙන් එළියට දැම්මා. ඒ අය හිතුවේ පාවුල් මැරුණා කියලයි.

හැබැයි පාවුල් කියපු දේවල් විශ්වාස කරපු අය ඔහුගේ වටේ එක් රොක් වුණා. ටික වෙලාවකට පස්සේ පාවුල් නැඟිට්ටා. ඊළඟ දවසේ පාවුලුයි බානබසුයි එහෙන් පිට වෙලා ගියා. හැබැයි ඒගොල්ලන් ආයෙත් ලිස්ත්‍රාවට ආවා. එහෙදී පාවුල් කතාවක් දෙන ගමන් අලුතින් ගෝලයන් වුණු අයට මෙහෙම කිව්වා. ‘අපි බොහෝ පීඩා මැදින් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඕනෙ.’ (ක්‍රියා 14:8-22) පාවුල් ඒකෙන් අදහස් කළ දේ ඔයා දන්නවාද?—ඔහු අදහස් කළේ දෙවිගේ සේවකයන්ට අනිත් අයගෙන් හිරිහැර විඳින්න වෙයි කියලයි. ‘දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලන්ටම පීඩා විඳින්න සිද්ධ වෙනවා’ කියලා පාවුල් තිමෝතිට ලිව්වේ ඒ නිසයි.—2 තිමෝති 3:12; යොහන් 15:20.

පාවුලුයි බානබසුයි ආයෙත් ලිස්ත්‍රාවෙන් පිට වෙලා ඒ අයගේම ගම්වලට ගියා. මාස කීපයකට පස්සේ පාවුල් කලින් දේශනා කරලා තිබුණු තැන්වල හිටපු අලුත් ගෝලයන්ව දිරිගන්වන්න සීලස්වත් එක්කගෙන ගියා. ඒ අය ලිස්ත්‍රාවට ආවම තිමෝතිට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද? පාවුලුයි සීලසුයි එක්ක දේශනා සේවයේ යන්න එන්න කියලා කිව්වම තිමෝතිගේ සතුට තවත් වැඩි වෙන්න ඇති. තිමෝති ඒ ආරාධනාව කැමැත්තෙන්ම පිළිගත්තා.—ක්‍රියා 15:40–16:5.

තුන්දෙනාම කිලෝමීටර් ගණනාවක් ඇවිදගෙන ගිහින් බෝට්ටුවකට නැඟලා තෙසලෝනිකයට ගියා. එහේ හිටපු හුඟක් අය ක්‍රිස්තියානීන් බවට පත් වුණා. ඒත් සමහරු කේන්තියෙන් ඒ තුන්දෙනාට ගහන්න සැරසුණු නිසා ඒ තුන්දෙනාගෙම ජීවිත තිබුණේ අනතුරේ. ඒ නිසා ඒගොල්ලන් බෙරීයයට ගියා.—ක්‍රියා 17:1-10.

තෙසලෝනිකයේ හිටපු අලුත් ඇදහිලිවන්තයන් ගැන පාවුල්ට ලොකු බයක් දැනුණු නිසා ආයෙත් තිමෝතිව එහෙට යැව්වා. ඔයා දන්නවද ඇයි කියලා?—ඒ ‘ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරලා ඔවුන්ව සනසවන්නයි.’ ඒත් යෞවනයෙකුව සිටි තිමෝතිව මේ වගේ අනතුරුදායක ගමනක යැව්වේ ඇයි කියලා ඔයා දන්නවද?—එහේ හිටපු විරුද්ධවාදීන් තිමෝතිව එච්චර හොඳින් දැනගෙන හිටියේ නැති නිසාත් තිමෝතිත් කැමැත්තෙන්ම යන්න ඉදිරිපත් වුණ නිසාත් තමයි පාවුල් එයාව එහේ යැව්වේ. ඒ ගමන යන්න තිමෝතිට ලොකු නිර්භීතකමක් ඕනෙ වුණා. තිමෝති එහේ ගිහින් ආවට පස්සේ තෙසලෝනිකයේ අය ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව ඉන්නවා කියලා පාවුල්ට කිව්වා. එතකොට පාවුල් එහේ හිටපු අයට මෙහෙම ලිව්වා. ‘ඔබ නිසා අපි සැනසීම ලැබුවා.’—1 තෙසලෝනික 3:2-7.

තිමෝති ඊළඟ අවුරුදු දහය පුරාම පාවුල් එක්ක සේවය කළා. ඊට පස්සේ පාවුල්ව රෝමයේදී සිරභාරයට ගත්තා. ඒ වෙද්දී තිමෝතිත් හිරෙන් නිදහස් වෙලා වැඩි කාලයක් ගිහින් තිබුණේ නැහැ. පාවුල් හිරේ ඉන්නවා කියලා තිමෝති දැනගත්තම එයා පාවුල් ළඟට ගියා. හිරේ ඉන්න ගමන් පාවුල් ෆිලිප්පියේ හිටපු ක්‍රිස්තියානීන්ට ලිපියක් ලිව්වා. සමහරවිට පාවුල් ඒ ලියුම ලියාගන්න ඇත්තේ තිමෝතිට කියලා වෙන්න ඇති. ඒ ලියුමේ පාවුල් මේ වගේ දෙයක් සඳහන් කළා. ‘තව ටික කාලෙකින් තිමෝතිව ඕගොල්ලන් ළඟට එවන්න මම බලාපොරොත්තු වෙනවා. තිමෝති තරම් ඕගොල්ලන් ගැන අවංක සැලකිල්ලක් දක්වන වෙන කවුරුත් නැහැ.’—ෆිලිප්පි 2:19-22; හෙබ්‍රෙව් 13:23.

පාවුල් කියපු ඒ දෙයින් තිමෝතිට කොච්චර ලොකු සතුටක් දැනෙන්න ඇද්ද! තිමෝති දෙවිට සේවය කරන්න කැමැත්තෙනුන් සූදානමිනුත් හිටපු නිසා පාවුල් එයාට ගොඩක් ආදරේ කළා. තිමෝතිගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.