Skip to content

පටුනට යන්න

තීරණාත්මක යුද්ධයක්!

තීරණාත්මක යුද්ධයක්!

තීරණාත්මක යුද්ධයක්!

“කෙනෙක් තවත් කෙනෙක්ව මරනවා කියන එක ග්‍රීන්ලන්තයේ වෙසෙන අයට අදහාගන්නවත් බැහැ. ඔවුන්ට යුද්ධය කියන දේ තේරුම්ගන්න බැරි කුරිරු මෙන්ම පිළිකුල් දෙයක්. යුද්ධය කියන වචනයවත් ඔවුන්ගේ භාෂාවේ නැහැ.”—නෝර්වේ ජාතික ගවේෂකයෙක් වූ ෆ්‍රිජොෆ් නැන්සෙන් 1888දී ග්‍රීන්ලන්තයේ වෙසෙන අය ගැන දැක්වූ අදහසක්.

යුද්ධයක් දැකලාවත් ඒ ගැන අහලාවත් නැති මිනිසුන් අතර ජීවත් වෙන්න අකමැති කවුද? යුද්ධ නැති ලොවක් බිහි කිරීමට මිනිසුන්ට හැකි වෙයිද? එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

යෙහෝවා දෙවි යුද්ධවලට නිමාවක් ගෙනෙන බවට දුන් පොරොන්දුව බයිබලයේ මෙලෙස සඳහන් වෙනවා. “ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල් තළද පිහිවලින් දෑකැතිද සාදාගන්නෝය. තවදුරටත් ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:4, නව ලොව පරිවර්තනය, NW.

මේ වන විටත් ලොව පුරාම යුධ සෙබළුන් මිලියන 20ක් සේවයේ නිරත වෙමින් සිටින අතර යුද්ධ 20ක් පමණ සිදු වෙමින් පවතින නිසා ඉහත සඳහන් පොරොන්දුව ඉටුවීමට නම් විශාල වෙනසක් සිදු විය යුතුයි. මෙවැනි තත්වයකදී, යෙහෝවා දෙවිට පියවර ගන්න සිදු වෙනවා. එම පියවර ගැනීම බයිබලයේ හඳුන්වන්නේ හර්–මගෙදොන් කියායි.—එළිදරව් 16:14, 16.

“හර්–මගෙදොන්” යන වචනයෙන් අදහස් වෙන දේ එක ශබ්දකෝෂයක විස්තර කර තිබෙන්නේ “යහපත සහ නපුර අතර සිදු වෙන තීරණාත්මක සටනක්” ලෙසයි. ඒත් යහපතට කවදා හෝ නපුර පරාජය කළ හැකිද? නැත්නම් මෙය මනඃකල්පිත අදහසක්ද?

නපුරට අවසානයක් ගෙනෙන බව බයිබලයේ බොහෝ තැන්වල පවසා තිබෙනවා. එහි එක් පොතක සඳහන් වෙන්නේ “පව්කාරයන් පොළොවෙන් තුරන් වී යනු ඇත. දුෂ්ටයන් තවදුරටත් එහි නොසිටිනු ඇත” කියායි. (ගීතාවලිය 104:35NW) එමෙන්ම එහි තවත් පොතක මෙසේද සඳහන් වෙනවා. “ප්‍රතිපත්තිගරුක අය පොළොවේ දිගු කල් ජීවත් වන්නෝය. නිර්දෝෂ අය එහි ඉතිරි වන්නෝය. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද එයින් උදුරා දමනු ලබන්නේය.” මෙය දැන සිටීම කොතරම් සහනයක්ද!—හිතෝපදේශ 2:21, 22NW.

බයිබලයේ පෙන්වන ආකාරයට දුෂ්ට අය තම බලය අත්හරින්න කැමති නැහැ. එමනිසා යෙහෝවා දෙවිට සිදු වෙනවා ඔවුන්ට විරුද්ධව සටන් කරන්න. (ගීතාවලිය 2:2) මෙලෙස දියත් කරන සටන බයිබලයේ හඳුන්වන්නේ හර්–මගෙදොන් ලෙසයි.

තීරණාත්මක සටන් සිදු වූ ස්ථානයක්

“හර්–මගෙදොන්” යන වචනයේ අර්ථය “මෙගිද්දෝ කන්ද” යන්නයි. පුරාණ මෙගිද්දෝ නගරය පිහිටා තිබුණේ යෙශ්‍රෙයෙල් මිටියාවතෙයි. එහි පැවති යුද්ධයක් කිසිම දිනක ජය පැරදුමකින් තොරව අවසන් වී නැහැ. ඒ ගැන ඉතිහාසඥ එරික් එච්. ක්ලයින් සිය පොතේ මෙවැනි අදහසක් පළ කළා. “මෙගිද්දෝ සහ යෙශ්‍රෙයෙල් මිටියාවත ඉතිහාසයේ පෙරළියක් කළ තීරණාත්මක යුද්ධ සිදු වූ ස්ථානයක්” කියා.—The Battles of Armageddon

ක්ලයින් පවසන ආකාරයට මෙගිද්දෝවල පැවති යුද්ධ ජය පැරදුමකින් තොරව අවසන් වුණේ නැහැ. දහතුන්වන සියවසේදී ආසියාවේ වැඩි කොටසක් අත් කරගෙන සිටි මොන්ගෝලියානු හමුදාව ප්‍රථම වරට පරාජයට පත් වුණෙත් මෙම ස්ථානයේදීමයි. පළමුවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී ජෙනරාල් එඩ්මන්ඩ් ඇලන්බයිගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍ය හමුදාව තුර්කිය පරාජය කළෙත් මෙගිද්දෝ අසලයි. ඔහුගේ ජයග්‍රහණය ගැන ඉතිහාසඥයෙක් පැවසුවේ මෙසේයි. “එය ඉතිහාසයේ වෙනසක් සිදු කළ තීරණාත්මක යුද්ධයක්.”

මෙගිද්දෝ අසල සිදු වුණු තීරණාත්මක යුද්ධ කීපයක් ගැන බයිබලයෙත් සඳහන් වෙනවා. උදාහරණයකට බාරාක් නම් විනිශ්චයකරු සිසෙරාගේ කානානීය හමුදාව පරාජය කළේ එම ස්ථානයේදීයි. (විනිශ්චයකාරයෝ 4:14-16; 5:19-21) එමෙන්ම ගිඩියොන් තවත් 300දෙනෙක් සමඟ මිදියන්වරුන්ගේ විශාල හමුදාවක් පරාජය කළෙත් මෙහිදීයි. (විනිශ්චයකාරයෝ 7:19-22) මේ ප්‍රදේශය අසල තිබූ ගිල්බෝවා කන්දේදීමයි පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ව පරාජය කර සාවුල්වත් ඔහුගේ පුත් යොනාතාන්වත් මරා දැමුවේ.—1 සාමුවෙල් 31:1-7.

මෙගිද්දෝ සහ ඒ අවට ප්‍රදේශය ස්වාභාවිකවම යුද්ධවලට සුදුසු ආකාරයෙන් සැකසී තිබෙන නිසා එහි පසුගිය වසර 4,000 තුළ බොහෝ යුද්ධ සිදු වී තිබෙනවා. ගණන් බැලීමකට අනුව ඉතිහාසඥයෙක් පැවසුවේ අඩුම තරමින් යුද්ධ 34ක්වත් එහි සිදු වී ඇති බවයි.

හර්–මගෙදොන් යන වචනය බයිබලයේ සඳහන් වෙන්නේ එක් වතාවක් පමණයි. බයිබලයේ එළිදරව් පොතේ පෙන්වන ආකාරයට හර්–මගෙදොන් යුද්ධය ලෝකයේ සිටින හැමෝටම බලපාන දෙයක්.

හර්–මගෙදොන් කියන්නේ කුමක්ද?

පුරාණයේ මෙගිද්දෝ අසල යුද්ධ ගණනාවක් සිදු වුණත් ඒ එකකින්වත් දුෂ්ටකම තුරන් වුණේ නැහැ. එම සටන් සිදු කළේ යහපතින් නපුර පරාජය කිරීමට නොවෙයි. යේසුස් එක අවස්ථාවකදී පැවසුවේ ‘දෙවි මිස වෙන කිසිවෙක් යහපත් නැහැ’ කියායි. (ලූක් 18:19) ඒ අනුව දුෂ්ටකම තුරන් කිරීම වෙනුවෙන් සටන් කළ හැක්කේ දෙවිට පමණයි. එපමණක්ද නොව බයිබලයේ හර්–මගෙදොන් යන වචනය විශේෂයෙන්ම යොදා තිබෙන්නේ දෙවිගේ යුද්ධය ගැන පැවසීමටයි.

ඒ ගැන එළිදරව් පොතේ විස්තර කර තිබෙන්නේ මෙලෙසයි. “මුළු ලොව පුරාම සිටින රජුන්ව සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට රැස්” කරනු ලබනවා. (එළිදරව් 16:14) ඔවුන්ව රැස් කරන්නේ ‘හෙබ්‍රෙව් බසින් හර්–මගෙදොන් ලෙස හඳුන්වන ස්ථානයටයි.’ * (එළිදරව් 16:16) ‘පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද’ රැස් වී “අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාටද ඔහුගේ සේනාවටද විරුද්ධව යුද්ධ” කරයි. (එළිදරව් 19:19) අශ්වයා පිට ඉඳගෙන සිටින්නේ යේසුස්.—1 තිමෝති 6:14, 15; එළිදරව් 19:11, 12, 16.

මෙම බයිබල් පදවලින් පැහැදිලි වෙන්නේ හර්–මගෙදොන් යනු දෙවි සහ ඔහුට අකීකරු වන මිනිසුන් අතර ඇති වන යුද්ධයක් බවයි. යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත් යේසුස් යුධ වැදීමට හේතුව කුමක්ද? එක හේතුවක් වන්නේ ‘පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමටයි.’ (එළිදරව් 11:18) තවත් හේතුවක් වන්නේ “[දෙවිගේ] පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් පොළොවක්” එනම් සාමකාමී ලොවක් බිහි කිරීමටයි.—2 පේතෘස් 3:13.

එවැනි යුද්ධයක් අවශ්‍ය ඇයි?

‘ප්‍රේමයේ දෙවි කෙනෙක්’ වන යෙහෝවා “සමාදානයේ කුමාරයා” වූ යේසුස්ව යොදාගෙන යුද්ධයක් කරන්නේ කොහොමද කියා සමහරවිට ඔබ කල්පනා කරයි. (2 කොරින්ති 13:11; යෙසායා 9:6) ඔවුන් එවැනි දෙයක් කිරීමට හේතුව තේරුම්ගැනීම ඔබට උපකාරයක් වේවි. ගීතාවලිය පොතේ යේසුස්ව විස්තර කර තිබෙන්නේ අසු පිට නැඟී යන සෙබලෙක් ලෙසයි. එහි සඳහන් වෙන ආකාරයට ඔහු යුද්ධයට යන්නේ “සත්‍යයද නිහතමානිකමද ධර්මිෂ්ඨකමද පෙරදැරි” කරගෙනයි. ඒ අනුව බලන කල යේසුස් යුද්ධ කරන්නේ ධර්මිෂ්ඨකමට ඇලුම් කළත් දුෂ්ටකමට වෛර කරන නිසයි.—ගීතාවලිය 45:4, 7NW.

ඒ හා සමානව, අද දින ලොව පුරා තිබෙන අයුක්තිය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි කරන දේ බයිබලයේ මෙසේ පවසනවා. “දේශයේ යුක්තිය ඉටු නොවන බව යෙහෝවා දෙවි දුටුවේය. ඔහු එය පිළිකුල් කළේය. ධර්මිෂ්ඨකම නමැති යුදායුධ කට්ටලයද ගැලවීම නමැති හිස්වැස්මද ඔහු පැළඳගත්තේය. පළිගැනීම නමැති වස්ත්‍රයෙන්ද මහත් උද්‍යෝගය නමැති සළුවෙන්ද ඔහු සැරසී ඇත.”—යෙසායා 59:15, 17NW.

නපුරු මිනිසුන් බලය පවත්වන තාක් කල් ධර්මිෂ්ඨ මිනිසුන්ට සාමයවත් ආරක්ෂාවවත් භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. (හිතෝපදේශ 29:2; දේශනාකාරයා 8:9) සාමය හා යුක්තිය පවතින්නේ නපුරු මිනිසුන් මේ පොළොවෙන් තුරන් වුණ දාටයි. “දුෂ්ටයා ධර්මිෂ්ඨයා වෙනුවෙන් දෙන මිදීමේ මිලයකි” කියා බයිබල් ලේඛක සලමොන් පැවසුවේ එමනිසයි.—හිතෝපදේශ 21:18NW.

දුෂ්ටයන්ව විනිශ්චය කරන්නේ දෙවි නිසා ඔහුගේ විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන බවට සැකයක් නැහැ. යෙහෝවා දෙවි සැමවිටම කරන්නේ හරි දේ බව පුරාණයේ සිටි ආබ්‍රහම් දැනගෙන සිටියා. ඒ නිසයි ‘මුළු පොළොවේම විනිශ්චයකාරයාණන් සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද’ කියා ඔහු ඇසුවේ. (උත්පත්ති 18:25NW) බයිබලයේ පවසන්නේ දුෂ්ටයන් පවා විනාශ වෙනවාට යෙහෝවා දෙවි කැමති නැති බවයි. නමුත් ඔහු එසේ කරන්නේ අවසාන පියවර හැටියටයි.—එසකියෙල් 18:32; 2 පේතෘස් 3:9.

එය සැබෑ යුද්ධයක්!

මේ තීරණාත්මක සටනේදී අපි ගන්නේ කාගේ පැත්තද? අපි කවුරුත් කැමති හරි පැත්තේ ඉන්නයි. නමුත් අපි ඉන්නේ හරි පැත්තේ බව අපි දන්නේ කොහොමද? අනාගතවක්තෘ ශෙපනියා පැවසූ ආකාරයට ‘ධර්මිෂ්ඨකම සොයා ඒ අනුව ජීවත් වීමත් දිගටම නිහතමානි ලෙස කටයුතු’ කිරීමත් අවශ්‍යයි. (ශෙපනියා 2:3NW) එමෙන්ම ‘සියලු ආකාර මිනිසුන් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගෙන ගැලවීම ලබනවාට’ දෙවි කැමතියි කියා බයිබල් ලේඛක පාවුල් පැවසුවා.—1 තිමෝති 2:4.

ගැලවීම ලබාගැනීමට නම් මුලින්ම දෙවි ගැනත් ඔහු දුෂ්ටකම තුරන් කරන්නේ ඇයි කියාත් ඉගෙනගැනීම අවශ්‍යයි. දෙවනුව ධර්මිෂ්ඨ ජීවිතයක්ද ගත කළ යුතුයි. දෙවිගේ අනුමැතියත් ආරක්ෂාවත් ලැබෙන්නේ එවිටයි.

එම වැදගත් පියවර ගන්නවා නම් දෙවි ගෙනෙන යුද්ධය සම්බන්ධයෙන් අප තුළ අනිසි බියක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන යුද්ධයක් යන හැඟීමයි ඇති වෙන්නේ. එම යුද්ධයෙන් පසු යළි කිසි දිනෙක යුද්ධ සිදු නොවන නිසා යුද්ධය කියන දේ මිනිසුන්ට තේරුම්ගන්න බැරි ඉතා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ‘මිනිසුන් යළි කවදාවත් යුද්ධයට පුහුණු වන්නේ නැහැ.’—යෙසායා 2:4.

[පාදසටහන]

^ 17 ඡේ. හර්–මගෙදොන් යනු සැබෑ ස්ථානයක් නොවන බව දැනගැනීමට 31වන පිටුවේ “පාඨකයන් අසයි” යන ලිපිය බලන්න.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි ගෙනෙන යුද්ධය බයිබලයේ හඳුන්වන්නේ හර්–මගෙදොන් ලෙසයි

[6වන පිටුවේ පින්තූරය]

මෙගිද්දෝ

[6වන පිටුවේ පින්තූරය]

ගිඩියොන් සහ ඔහුගේ භටයන් මෙගිද්දෝ අසල සටන් වැද ජය ලැබුවා

[6, 7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ යුද්ධය අවසන් වූ පසු මිනිසුන්ට යුද්ධය කියන දේ තේරුම්ගන්න බැරි ඉතා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා

[8වන පිටුවේ පින්තූරය]

ගැලවීම ලබාගැනීමට නම් මුලින්ම දෙවි ගැනත් ඔහු දුෂ්ටකම තුරන් කරන්නේ ඇයි කියාත් ඉගෙනගැනීම අවශ්‍යයි