Skip to content

පටුනට යන්න

දෙවිගේ මහත් යුද්ධය සිදු වෙන්නේ කොහෙද?

දෙවිගේ මහත් යුද්ධය සිදු වෙන්නේ කොහෙද?

පාඨකයන් අසයි

දෙවිගේ මහත් යුද්ධය සිදු වෙන්නේ කොහෙද?

එය සිදු වෙන්නේ යම් නිශ්චිත ස්ථානයක නෙවෙයි. ඒ වෙනුවට එදාට මුළු පොළොවම යුධ පිටියක් වේවි. එයට හේතුව නම් සටන් වදින කණ්ඩායම් දෙක පොළොවේ නිශ්චිත ස්ථානයක රැස් වෙන්න නොහැකි තරම් විශාල වීමයි.

“දෙවිගේ මහත් දවසේ යුද්ධය” හැඳින්වීමට බයිබලයේ යොදාගෙන තිබෙන්නේ හර්–මගෙදොන් යන වචනයයි. එම යුද්ධයේදී දේවදූත සේනාවක් යොදාගෙන නපුරු පාලකයන් සමඟ සටන් වැදීමට යෙහෝවා දෙවි තම පුත් යේසුස්ව පත් කර තිබෙනවා.—එළිදරව් 16:14; 19:11-16.

‘භූතයන්ගේ පෙලඹවීම මත මුළු ලොව පුරාම සිටින රජුන් [පාලකයන්] ‘හෙබ්‍රෙව් බසින් හර්–මගෙදොන් ලෙස හඳුන්වන ස්ථානයේ රැස් වෙන’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. මේ විදිහට උපක්‍රමයක් යොදාගෙන සාතන් සියලුම ජාතීන්ට අයත් පාලකයන්ව මෙම යුද්ධයට හවුල් කරගන්නවා.—එළිදරව් 16:14-16.

බයිබලයේ අනිත් පොත්වලට වඩා එළිදරව් පොතේ සඳහන් වන දේවල අර්ථය සොයා බලන්න බොහෝදෙනා පෙලඹී තිබෙනවා. එම පොතේ තිබෙන දේවල් ඇති සැටියෙන්ම විශ්වාස කරන අය හිතන්නේ මෙම යුද්ධය සිද්ධ වෙන්නේ පොළොවේ එක්තරා ස්ථානයක කියායි. ඒ ස්ථානය අවට සිදු වෙන දේවල් ගැන ඔවුන් විමසිලිමත් වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ හයවන සියවසට අයත් ග්‍රීක භාෂාවෙන් ලියන ලද පොතක එළිදරව් පොත ගැන කළ විස්තරයක් ඇතුළත් වෙනවා. හර්–මගෙදොන් කියන්නේ යම් නිශ්චිත ස්ථානයක් බව එම පොතේ සඳහන් වෙනවා.

සෙමනේරියක සභාපතිව සිටි ජෝන් එෆ්. වාල්වෝඩ් නම් මූලධර්මවාදී පූජකයා පැවසුවේ “භයානකම යුද්ධය වන හර්-මගෙදොන් සිදු වෙන්නේ මැදපෙරදිග” බවයි. මේ අති දැවැන්ත යුද්ධයේ කේන්ද්‍රස්ථානය උතුරු පලස්තීනයේ පිහිටි “මෙගිද්දෝ කන්ද” බව ඔහු එයින් අදහස් කළා.

හර්-මගෙදොන් ගැන එළිදරව් පොතේ සඳහන් කර තිබෙන්නේ එය සැබෑ ස්ථානයක් බව දැක්වීමට නොවෙයි. එළිදරව් පොතේ ආරම්භයේදීම සඳහන් වෙන්නේ එහි ඇති හැම තොරතුරක්ම “සංකේතාත්මක” අර්ථයකින් ලියැවී ඇති බවයි. (එළිදරව් 1:1) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝ කලකට පෙර ඔවුන්ගේ ප්‍රකාශනයක මෙසේ සඳහන් කළා. “දෙවිගේ යුද්ධය සඳහා මිනිසුන් මෙගිද්දෝ කන්දට එක්රැස් වෙයි කියා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.”—Studies in the Scriptures, Volume IV.

පුරාණයේ මෙගිද්දෝහි සිදු වූ දේවලට අනුව පැහැදිලි වෙන්නේ දෙවිගේ යුද්ධයේදී ඔහුගේ සතුරන්ට කිසිම ගැලවීමක් ලැබෙන්නේ නැති බවයි. එම යුද්ධයේදී යෙහෝවා දෙවි මුළු ලෝකයේම තිබෙන දුෂ්ටකම හා දූෂණය නැත්තටම නැති කර දමනවා.—එළිදරව් 21:8.

හර්-මගෙදොන් යුද්ධයෙන් විනාශ වෙන්නේ වැරදි ක්‍රියාවලින් හැරෙන්නේ නැති දුෂ්ටයන් පමණයි. ඒ නිසා යෙහෝවා දෙවිට සහ යේසුස්ට ප්‍රේම කරන අය එම යුද්ධයට භය විය යුතු නැහැ. බයිබලයේ සඳහන් වෙන ආකාරයට ‘දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නා’ නිසා ඔහුගේ යුද්ධය තෝරා බේරා කරන එකක්. (2 පේතෘස් 2:9) බයිබලයේ මෙවන් ප්‍රීතිමත් පොරොන්දුවක්ද ලබා දෙනවා. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ ගමන් කරන්න. ඔහු ඔබව උසස් කර ඔබට පොළොව හිමි කර දෙන්නේය. දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නේය.”—ගීතාවලිය 37:34, නව ලොව පරිවර්තනය.