Skip to content

පටුනට යන්න

පුරාණ ලිඩියාවෙන් හෙළි වන දෙයක්

පුරාණ ලිඩියාවෙන් හෙළි වන දෙයක්

පුරාණ ලිඩියාවෙන් හෙළි වන දෙයක්

පුරාණ ලිඩියා රාජ්‍යය ගැන ඔබ අසා තිබෙනවාද? එය පිහිටා තිබුණේ කුඩා ආසියාවෙයි (එනම් තුර්කියෙයි). ලිඩියාවේ ජීවත් වූ මිනිසුන්ගේ සොයාගැනීමක් නිසා ව්‍යාපාරික ලෝකයේ ලොකු වෙනසක් ඇති වුණා. දැන් අපි මේ ගැන තව ටිකක් සලකා බලමු.

සර්දිස් නගරය ලිඩියාවේ අගනුවර වූ අතර රජවරුන් ලිඩියා රාජ්‍යය පාලනය කළේ එම නගරයේ සිටයි. මෙම රාජ්‍යයේ අවසන් රජ වූ ක්‍රෝඒසස් ඉතා ධනවත් කෙනෙක්. නමුත් ක්‍රිස්තු පූර්ව 546දී පර්සියාවේ මහ සයිරස් රජ ලිඩියාව පරාජය කිරීමත් සමඟම එම අධිරාජ්‍යය බිඳ වැටුණා. මින් අවුරුදු කිහිපයකට පසු බලවත් බැබිලෝනීය අධිරාජ්‍යය පරාජය කළෙත් මේ සයිරස් රජමයි.

වෙළඳාමේදී කාසි භාවිත කිරීමේ ක්‍රමය හඳුන්වා දෙන්න ඇත්තේ ලිඩියාවේ වෙළඳුන් බව සඳහන් වෙනවා. ඊට පෙර මිනිසුන් ව්‍යාපාර කටයුතුවලදී ගනුදෙනු කළේ රන් හා රිදී කෑලි යොදාගෙනයි. නමුත් එම වටිනා ලෝහවලට නිශ්චිත හැඩයක් හෝ ප්‍රමාණයක් තිබුණේ නැති නිසා ගනුදෙනු කිරීමේදී ඒවායේ බර කිරා බැලිය යුතු වුණා. අතීතයේ සිටි දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ යෙරෙමියාටත් එවැනි දෙයක් කිරීමට සිදු වූ බව බයිබලයේ වාර්තා වෙනවා. “මම අනාතොත්හි තිබූ ඉඩම මගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල්ගෙන් මිල දී ගත්තෙමි. මම රිදී ෂෙකෙල දහහතක් කිරා ඔහුට දුන්නෙමි.”—යෙරෙමියා 32:9, නව ලොව පරිවර්තනය.

ලිඩියාවේ මිනිසුන් ව්‍යාපාර කටයුතු පහසුවෙන් කිරීම සඳහා කුඩා කාසි සෑදුවා. ඒ හැම කාසියකම බර එක සමාන වූ අතර ඒවා සාදා තිබුණේ රන් හා රිදී මිශ්‍ර කිරීමෙනුයි. මේ සෑම කාසියකම යම් ලකුණක් තිබුණා. ඇතැම් කාසිවල වැඩිපුර රන් මිශ්‍ර වී තිබූ අතර තවත් කාසිවල වැඩිපුර රිදී මිශ්‍ර වී තිබූ නිසා ක්‍රෝඒසස් රජු රන් කාසි හා රිදී කාසි වෙන වෙනම සෑදුවා. ඒ එක රන් කාසියක් රන් හා රිදී මිශ්‍ර කර සෑදූ කාසි 12කට සමාන බවයි ලිඩියාවේ මිනිසුන් සැලකුවේ. නමුත් රන් සමඟ වෙනත් ලෝහත් මිශ්‍ර කර රන් කාසි සෑදූ නිසා සැබෑ රන් හඳුනාගන්න වෙළෙඳුන්ට නව ක්‍රමයක් සොයාගන්න සිදු වුණා.

මේ සඳහා ඔවුන් යොදාගත්තේ කලු පැහැයෙන් යුත් උරගලක්. කාසියක් එම ගලේ ඇතිල්ලූ විට එම ගලේ යම් වර්ණයක් මතු වූ අතර ඒ වර්ණය අනුව කාසිය නියම රන්ද කියා සොයාගැනීමට හැකි වුණා. මෙලෙස ව්‍යාපාර කටයුතු විශ්වාසවන්තව කරන්න හැකි වුණේ උරගල් භාවිතයට ගැනීම නිසයි.

ග්‍රීක භාෂාවෙන් උරගල අර්ථ දැක්වීම

වැඩි කල් යෑමට පෙර වටිනා ලෝහයන් පරීක්ෂා කිරීමට බොහෝ වෙළෙඳුන් මෙම ‘උරගල්’ භාවිත කළා. වෙනත් දෙයක් අර්ථ දැක්වීම සඳහාත් උරගල යන වචනය ග්‍රීක භාෂාවේ යොදාගැනුණා. සාමාන්‍යයෙන් වටිනා ලෝහ පරීක්ෂා කරන්න උරගලක් යොදාගත්තා හා සමානව සිරකරුවන්ව පරීක්ෂා කරන්න වධ වේදනා දුන්නා. ඒ නිසා ග්‍රීක භාෂාවෙන් උරගල කීමෙන් සිරකරුවෙකුට වධ හිංසා පැමිණවීම පවා අදහස් වෙනවා.

සිරකරුවන්ට එම වධ හිංසා පැමිණෙව්වේ වධකයන් නිසා ග්‍රීක භාෂාවෙන් “උරගල” කීමේදී ඊට වධකයා යන අදහසත් ඇතුළත් වෙනවා. උදාහරණයක් හැටියට ණයක් ගෙවීමට නොහැකි වූ කෙනෙකුව “වධකයන්ට” භාර දුන් ආකාරය ගැන නිදර්ශනයක් යේසුස් විස්තර කළා. (මතෙව් 18:34, නව අනුවාදය) එක් බයිබල් විශ්වකෝෂයකට අනුව “කෙනෙකුව සිරගත කිරීමත් වධ හිංසා පැමිණවීමක් වෙනවා.”—The International Standard Bible Encyclopaedia.

උරගලෙන් හෙළි වන දෙය

බයිබලයේ එළිදරව් පොත ලියැවී තිබෙන්නේ ග්‍රීක භාෂාවෙනුයි. එහි දෙවිගේ ප්‍රධාන සතුරා වන සාතන්ට සිදු වෙන්නේ කුමක්ද කියා මෙසේ විස්තර කර තිබෙනවා. “යක්ෂයාව ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබුවේය. වන මෘගයා හා බොරු අනාගතවක්තෘවරයා ඒ වන විටත් එහි සිටියෝය. ඔවුන්ට සදාකාලයෙන් සදාකාලයට රෑ දාවල් දෙකේ වධ දෙනු ලබන්නේය.” (එළිදරව් 20:10) මින් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි සාතන් නමැති යක්ෂයාට සදාකාලයටම වධ වේදනා පැමිණවීමට යන බවද? නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවි ප්‍රේමණීය මෙන්ම යුක්තිසහගත දෙවි කෙනෙක් වීමයි. ඔහු කෲර දෙවි කෙනෙක් නෙවෙයි. (යෙරෙමියා 7:31) සදාකාල ජීවනය දෙවිගෙන් ලද ත්‍යාගයක් කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 6:23) ඒ අනුව එළිදරව් 2:10හි සඳහන් දෙයට තිබෙන්නේ සංකේතාත්මක අර්ථයක් බව පැහැදිලියි. එහි සඳහන් වී තිබෙන ‘වන මෘගයාට’ හා ‘ගෙන්දගමින් දැවෙන විලට’ තිබෙන්නේ සංකේතාත්මක අර්ථයක්. (එළිදරව් 13:2; 20:14) එසේනම් සාතන්ට දිවා රෑ දෙකේම වධ වේදනා විඳීමට සිදු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

අපි කලින් සලකා බැලූ ලෙස කෙනෙකුව සිරගත කිරීමත් යම් ආකාරයක “වධ හිංසා” පැමිණවීමක් වෙනවා. ඒ අනුව සාතන් සදාකාලයටම වධ වේදනා විඳිනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුව සදාකාලයටම සිරගත කිරීමට යන බවයි. එනම් ඔහුට සදාකාල විනාශයක් අත් වෙන බවයි.

ග්‍රීක භාෂාවෙන් උරගල සඳහා භාවිත කළ වචනයමයි වධ හිංසා පැමිණවීම සඳහාත් භාවිත කළේ. උරගලක් මගින් යම් අනර්ඝ ලෝහයක තිබෙන වටිනාකම සහතික කරගත හැකියි. ඒ හා සමානව සාතන්ව සදහටම විනාශ කර දැමීමෙන් පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා තමා බව යෙහෝවා දෙවි ඉදිරියේදී ඔප්පු කරනවා. එදාට යෙහෝවා දෙවිගේ පාලනය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. හේතුව සාතන්ව විනාශ කිරීමෙන් සැබෑ දෙවි තමා බව යෙහෝවා දෙවි ඔප්පු කර තිබීමයි.

ලිඩියාවේ උරගල භාවිතය ඇරඹුණේ කෙසේද කියාත් ග්‍රීක භාෂාව තුළ උරගල සංකේතවත් ලෙස යොදාගෙන තිබෙන ආකාරයත් අපි සලකා බැලුවා. උරගලකින් සැබෑ රත්රන් හඳුනාගත හැකි වුණා හා සමානව සාතන්ව විනාශ කිරීමෙන් තම පාලනයට අභියෝග කිරීමට යෙහෝවා දෙවි යළි කවදාවත් ඉඩ තබන්නේ නැහැ යන වටිනා පාඩම මේ ලිපියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වුණා.—රෝම 8:20.

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සාතන්ව සදහටම විනාශ කර දැමීමෙන් පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා තමා බව යෙහෝවා දෙවි ඉදිරියේදී ඔප්පු කරනවා

[21වන පිටුවේ පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කලු මුහුද

ලිඩියාව

සර්දිස්

මධ්‍යධරණි මුහුද

[21වන පිටුවේ පින්තූරය]

පැරණි සර්දිස් නගරයේ නටඹුන්

[22වන පිටුවේ පින්තූරය]

අතීතයේ කාසිවල බර කිරීමට තරාදි භාවිත කළා

[හිමිකම් විස්තරය]

E. Strouhal/Werner Forman/Art Resource, NY

[22, 23වන පිටුවේ පින්තූර]

උරගල් යොදාගෙන වටිනා ලෝහ පරීක්ෂා කිරීම අදටත් සිදු වෙනවා

[හිමිකම් විස්තරය]

Coins: Courtesy Classical Numismatic Group, Inc.; touchstone: Science Museum/Science & Society Picture Library

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Electrum coin: Courtesy Classical Numismatic Group, Inc.