Skip to content

පටුනට යන්න

විමසිල්ලෙන් බලා සිටි එලියා

විමසිල්ලෙන් බලා සිටි එලියා

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න

විමසිල්ලෙන් බලා සිටි එලියා

එලියාට අවශ්‍ය වුණේ තනිව හිඳ යෙහෝවා දෙවිට යාච්ඤා කරන්නයි. නමුත් එය ලෙහෙසි දෙයක් වුණේ නැහැ. සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙකු වූ ඔහුගේ යාච්ඤාවට පිළිතුරක් ලෙස අහසින් ගින්දර පැමිණි ආකාරය මිනිසුන් දැක තිබුණා. ඒ නිසා එලියාගේ අවධානය ලබාගන්න මිනිසුන් කැමැත්තක් දැක්වුවා. කොහොමවුණත් කර්මෙල් කන්දට ගොස් දෙවිට යාච්ඤා කරන්න කලින් එලියාට සිදු වුණා තමන් කොහෙත්ම කැමැත්තක් නොදක්වපු ආහබ් රජ සමඟ කතා කරන්න.

ආහබ් රජ සහ එලියා හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටි ආහබ් කෑදර, තනියෙන් තීරණ ගන්න බැරි, දෙවිට විරුද්ධව කැරලි ගැසූ මිනිසෙක්. නමුත් සත්ව සම්වලින් සෑදූ සළුවක් ඇඳ සිටි එලියා නිර්භීත, දෙවිට පක්ෂපාත වූ ඇදහිලිවන්තයෙක්. දවස නිමා වෙද්දී ඔවුන් මොන වගේ අයද කියා තවත් හොඳින් තහවුරු වුණා. *

ආහබ් ඇතුළු සියලුම බාල් නමස්කාරකයන් ඒ දවසේදී මහත් ලැජ්ජාවකට පත් වුණා. ආහබ් සහ ඔහුගේ බිරිඳ වූ යෙසබෙල් රැජින ඊශ්‍රායෙල් දේශය පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරූ බාල් නමස්කාරය බොරුවක් බව ඔප්පු වුණා. බාල් දෙවියාට සේවය කළ අනාගතවක්තෲන් යටිගිරියෙන් කෑගසමින් නටමින් ඔවුන්වම කිනිසිවලින් කපාගනිමින් අහසින් ගින්දර එවන්න කියා බාල් දෙවියාගෙන් ඉල්ලා සිටියත් ගිනි පුපුරක්වත් දකින්න ලැබුණේ නැහැ. මේ බාල් පූජකයන් 450දෙනාව මරණයෙන් බේරගන්නවත් බාල් දෙවියාට බැරි වුණා. අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් පුරා පැවති නියඟය නැති කරන්න කියා බාල්ගේ අනාගතවක්තෲන් ඔහුගෙන් ඉල්ලුවත් කිසිම පලක් වුණේ නැහැ. ඒ සියල්ලෙන් ඔප්පු වුණේ බාල් දෙවියා මිථ්‍යාවක් බවයි. නමුත් යෙහෝවා දෙවි මේ නියඟය අවසන් කරමින් තමන් සැබෑ දෙවි බව ඔප්පු කිරීමට නියමිතයි.—1 රාජාවලිය 16:30–17:1; 18:1-40.

යෙහෝවා දෙවි එය කරන්න යන්නේ කවදාද? එතෙක් එලියා කොහොම කටයුතු කරයිද? එලියාගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දැන් අපි 1 රාජාවලිය 18:41-46 දක්වා සඳහන් වන වාර්තාව සලකා බලමින් එම ප්‍රශ්නවලට පිළිතුරු සොයමු.

ඔහු දෙවිට යාච්ඤා කළා

ආහබ් ළඟට ගොස් එලියා මෙසේ පැවසුවා. “මහා වර්ෂාවක් එන හඬක් මට ඇසෙනවා. එහෙයින් ගොස් කා බී සතුටින් ඉන්න.” (1 රාජාවලිය 18:41, නව ලොව පරිවර්තනය, NW) එදා දවසේ සිදු වූ දේවලින් දුෂ්ට ආහබ් රජ පාඩමක් ඉගෙනගත්තද? ඔහු පසුතැවිලි වී යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලූ බව වාර්තාවේ කොතැනකවත් සඳහන් වී නැහැ. ඒ වෙනුවට ඔහු ‘කා බී සතුටු වීමට පිටත්ව ගියා.’ (1 රාජාවලිය 18:42) මේ අවස්ථාවේදී එලියා කළේ කුමක්ද?

“එලියා, කර්මෙල් කන්දට නැඟ, දණින් හිඳ, දණිස් දෙක අතරේ ඔළුව තබාගෙන සිටියේය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. ඉතා නිහතමානී ආකාරයකින් එලියා දනින් හිඳ බිමට නැමී කරන්නේ කුමක්ද? නියඟය අවසන් කරන්න කියා එලියා දෙවිට යාච්ඤා කළ බව යාකොබ් 5:18හි සඳහන් වෙනවා. මින් පැහැදිලි වන්නේ ආහබ් කෑමට මුල් තැන දුන්නත් ඒ අවස්ථාවේ එලියා ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කළ බවයි.

“නැවතත් වැසි වස්සන්න මම තීරණය කළෙමි” කියා යෙහෝවා දෙවි එලියාට පවසා තිබුණා. (1 රාජාවලිය 18:1NW) මේ අනුව එලියා යාච්ඤා කළේ දෙවිගේ කැමැත්ත ඉටු කරන්න කියායි. ඉන් අවුරුදු 1,000කට පමණ පසු යේසුස් තම අනුගාමිකයන්ට උනන්දු කළෙත් දෙවිගේ කැමැත්ත ඉටු වේවා කියා යාච්ඤා කරන ලෙසයි.—මතෙව් 6:9, 10.

යාච්ඤා කළ යුතු ආකාරය ගැන අපිට එලියාගෙන් වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඔහුට අවශ්‍ය වුණේ යෙහෝවා දෙවිගේ කැමැත්ත ඉටු වෙනවා දකින්නයි. “[දෙවිගේ] කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට [දෙවි] සවන් දෙන බව” අපිත් මතක තබාගත යුතුයි. (1 යොහන් 5:14) දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කරන්න නම් අපි මුලින්ම දෙවිගේ කැමැත්ත කුමක්ද කියා දැනගත යුතුයි. ඒ සඳහා බයිබලය දිනපතා අධ්‍යයනය කිරීම අවශ්‍යයි. නියඟය නිසා තම රටේ මිනිසුන් දුක් විඳිමින් සිටි ආකාරය එලියා දුටුවා. එමනිසා ඔහු කැමති වුණා එය අවසන් වෙනවා දකින්න. එමෙන්ම එදින යෙහෝවා දෙවි සිදු කළ බලවත් ක්‍රියාව ගැන එලියා දෙවිට අනේක වාරයක් ස්තුති කරන්න ඇති. අපිත් එලෙස අන් අයගේ යහපත වෙනුවෙන් යාච්ඤා කළ යුතු අතර දෙවි සිදු කරන දේවල් ගැන ඔහුට ස්තුතිවන්ත විය යුතුයි.—2 කොරින්ති 1:11; ෆිලිප්පි 4:6.

විශ්වාසයෙන් හා විමසිල්ලෙන්

යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම නියඟය අවසන් කරන බව එලියා දැන සිටියත් ඔහු එය කරන්නේ කවදාද කියා ඔහු දැනගෙන සිටියේ නැහැ. මේ අතරතුරේ එලියා කළේ කුමක්ද? අපි දැන් 1 රාජාවලිය 18:43හි පවසන දේ සලකා බලමු. “ඔහු තම සේවකයාට මෙසේ කීවේය. ‘ගිහින් මුහුද දෙස බලන්න.’ එවිට ඔහු ගොස් බලා, නැවත ඇවිත්, ‘විශේෂ දෙයක් මට පෙනෙන්නේ නැහැ’ කියා කීවේය. නමුත් හත් වතාවක්, ‘එතැනට ගිහින් එන්න’ යයි එලියා ඔහුට කීවේය.” මේ සිද්ධියෙන් අපිට වැදගත් පාඩම් දෙකක්වත් ඉගෙනගන්න පුළුවන්. එලියාට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. එමෙන්ම ඔහු විමසිල්ලෙන්ද සිටියා.

යෙහෝවා දෙවි ක්‍රියාත්මක වන බවට සාක්ෂි දැකගන්න එලියා තුළ තිබුණේ පුදුම උනන්දුවක්. ඒ නිසා වහින බවට ලකුණක් තිබෙනවාද කියා බැලීමට එලියා තම සේවකයාව කන්ද මුදුනටම යැව්වා. නමුත් සේවකයා එලියා ළඟට පැමිණ “විශේෂ දෙයක් මට පෙනෙන්නේ නැහැ” කියා පැවසුවා. එයට හේතුව වුණේ ඒ මොහොතේ වලාකුළු නැති පැහැදිලි අහසක් දක්නට ලැබීමයි. එසේනම් කලින් අවස්ථාවේදී එලියා “මහා වර්ෂාවක් එන හඬක් මට ඇහෙනවා” කියා ආහබ්ට පැවසුවේ ඇයි?

යෙහෝවා දෙවි දී තිබූ පොරොන්දුව එලියා දැන සිටියා. දෙවිගේ අනාගතවක්තෘවරයෙකු ලෙස අනිවාර්යයෙන්ම දෙවි තම පොරොන්දු ඉටු කරන බවට ඔහු තුළ පූර්ණ නිසැකකමක් තිබුණා. ඒ නිසයි වර්ෂාව පැමිණීමට පෙරම වර්ෂාවේ හඬක් ඇසෙන බව ඔහු පැවසුවේ. මේ අවස්ථාවේදී ‘අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් ස්ථිරව සිටි’ මෝසෙස්ව අපේ මතකයට නැඟෙනවා. ඔබටත් දෙවි සැබෑ පුද්ගලයෙක්ද? දෙවි කෙරෙහිත් ඔහුගේ පොරොන්දු කෙරෙහිත් විශ්වාසයක් තබාගැනීමට ඇති තරම් සාක්ෂි දෙවිම අපට සපයා තිබෙනවා.—හෙබ්‍රෙව් 11:1, 27.

එලියා කොතරම් විමසිල්ලකින් සිටියාද කියා අපි දැන් සලකා බලමු. ඔහු තම සේවකයාව එකවතාවක් හෝ දෙවතාවක් නොව හත්වතාවක්ම යැව්වා. ඒ වෙලාවේ සේවකයාට මහන්සියක් දැනෙන්නත් ඇති. එලියාට අවශ්‍යය වුණේ වහින බවට ලකුණක් තිබෙනවාද කියා දැනගැනීමටයි. හත්වන වතාවට සේවකයා පැමිණ “මුහුදෙන් වලාකුළක් නැඟී එනවා මම දැක්කා! ඒක මිනිසෙකුගේ අතක හැඩයට සමානයි” කියා පැවසූ විට එලියාට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! (1 රාජාවලිය 18:44NW) ඈත අහසින් නැඟී ආ වලාකුළ එලියාගේ සේවකයාට එතරම් වැදගත් දෙයක් නොවෙන්න ඇති. නමුත් එලියාට එය ඉතා වැදගත් ආරංචියක් වූ නිසා තම සේවකයාට මෙසේ පැවසුවා. “‘ඉක්මන් කරන්න, වහින්න කලින් ගෙදර යන්න’ කියා ගිහින් ආහබ්ට කියන්න.”

මේ සිද්ධියෙනුත් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. නියඟය අවසන් වන තෙක් එලියා ඉතා විමසිලිමත්ව බලා සිටියා. ඒ හා සමානව යෙහෝවා දෙවි මේ දුෂ්ට සමාජය අවසන් කරන තුරු දෙවිගේ සේවකයන් විමසිල්ලෙන් සිටිනවා. (1 යොහන් 2:17) එලියා මෙන් අපිත් යෙහෝවා දෙවි ක්‍රියාත්මක වන තුරු විමසිල්ලෙන් සිටිය යුතුයි. යේසුස් පවා ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත” කියායි. (මතෙව් 24:42) මින් යේසුස් අදහස් කළේ යෙහෝවා දෙවි ක්‍රියාත්මක වෙන මොහොත ගැන අපි කිසිවක් නොදැන සිටින බවද? නැහැ. අවසානය ළඟා වෙද්දී මේ ලෝකයේ සිදුවීමට යන දේවල් ගැන යේසුස් පැහැදිලි විස්තරයක් දී තිබෙනවා. ඒ නිසා අපිටත් හැකියි මේ “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයට” ලකුණ කුමක්ද කියා දැනගන්න.—මතෙව් 24:3-7. *

එම ලකුණේ හැම අංගයක්ම යෙහෝවා දෙවි ළඟදීම ක්‍රියාත්මක වන බවට සාක්ෂි සපයනවා. එම සාක්ෂි හදිසිතාවේ හැඟීමෙන් ක්‍රියා කිරීමට අපව පොලඹවනවාද? යෙහෝවා දෙවි ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් වශයෙන් එලියාට දැකගන්න ලැබුණේ පුංචි වලාකුළක් පමණයි. එමගින් ඔහුගේ බලාපොරොත්තු සුන් වුණාද?

සැබෑ දෙවි සහනය සහ ආශීර්වාද ගෙන දෙයි

ඊළඟට සිදු වූ දේ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “අහස අඳුරු වී තද සුළඟක් හැමුවේය. ඉන්පසු මහත් වර්ෂාවක් හටගත්තේය. අසු පිට නැඟ ගිය ආහබ් යෙෂ්‍රෙයෙල් නගරය දෙසට ගමන් කළේය.” (1 රාජාවලිය 18:45NW) ඉතා සුළු වේලාවක් ඇතුළත අහසේ විශාල වෙනස්කම් දැකගන්න ලැබුණා. එලියාගේ සේවකයා ආහබ්ට පණිවිඩය දෙන්න ගිය අතරතුර ඒ කුඩා වලාකුළ විශාල වූ නිසා මුළු අහසම අඳුරු වී සැඩ සුළඟක් හැමුවා. වියළී ගිය ඊශ්‍රායෙල් දේශයට වර්ෂාව ඇදහැළුණේ අවුරුදු තුනහමාරකට පසුවයි. * මේ නිසා කීෂොන් ගඟ පිටාර ගැලූ අතර ඒ අසල මරා දමා තිබූ බාල් අනාගතවක්තෲන්ගේ ලේ සේදී ගියා. හිතුවක්කාර ඊශ්‍රායෙල්වරුන්ට බාල් නමස්කාරයෙන් හැරී යෙහෝවා දෙවි වෙතට එන්න මෙය කදිම අවස්ථාවක් වුණා.

ඔවුන් එසේ කරයි කියා එලියා බලාපොරොත්තු වෙන්න ඇති! නමුත් ආහබ් රජ පසුතැවිලි වී බාල් නමස්කාරයෙන් ඉවත් වුණාද? එදින සිදු වූ දේවල් ආහබ්ට තම ජීවිතය වෙනස් කරගැනීමට හොඳ හේතු සැපයුවා. නමුත් ඒ මොහොතේදී ආහබ්ගේ සිතේ තිබුණේ කුමක්ද කියා අපි දන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ ඔහු ‘අසු පිට නැඟ යෙෂ්‍රෙයෙල් නගරය දෙසට ගමන් කළා’ කියා පමණයි. ආහබ්ට ඔහුගේ ජීවිතය වෙනස් කරගන්න වුවමනාවක් නොතිබුණු බව පසු කාලෙදී ඔහු ගත කළ ජීවිතයෙන් පැහැදිලි වෙනවා. එදින තවත් දේවල් සිදුවීමට නියමිතව තිබුණා.

ආහබ් රජ ගිය පාරෙම එලියාත් දුවන්න පටන්ගත් නිසා ඔහුට වැස්සේ තෙමි තෙමි සෑහෙන දුරක් යන්න සිදු වුණා. නමුත් ඊළඟට සිද්ධ වුණේ අසාමාන්‍ය දෙයක්.

වාර්තාවේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “එලියා කැසපට ගසාගෙන ආහබ්ට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය. ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.” (1 රාජාවලිය 18:46NW) යෙෂ්‍රෙයෙල් නගරය පිහිටා තිබුණේ කිලෝමීටර් 30ක් පමණ ඈතකින්. ඒ වෙද්දී එලියා තරුණ විය පසු කර සිටියත් තම ඇඳුම කැසපට ගසාගෙන වතුර පිරුණු පාරක් දිගේ දිව ගිය ආකාරය ඔබට සිතින් මවාගත හැකිද? * ඔහු කොතරම් වේගයකින් දිව ගියාද කිවහොත් ආහබ්ගේ අශ්ව රථයත් පසු කරගෙන යෙෂ්‍රෙයෙල් නගරයටම ගියා.

ඔහුගේ තරුණ කාලේදීවත් අද්දැක්ක නැති විදිහේ ශක්තියක් හා ජවයක් ඔහුට ලැබුණා. එය මොන තරම් ලොකු ආශීර්වාදයක්ද! මෙම සිද්ධියෙන් අපේ මතකයට නැඟෙන්නේ අනාගත පාරාදීස පොළොවේ හැමෝම අද්දකින්න යන නිරෝගී සෞඛ්‍යය හා ශක්තිය ගැන සඳහන් වී තිබෙන අනාවැකි ගැනයි. (යෙසායා 35:6; ලූක් 23:43) එකම සැබෑ දෙවි වන යෙහෝවාගේ අනුමැතිය තමාට තිබෙන බව එදා මහ වැස්සේ දුවද්දී එලියාට වැටහුණා.

යෙහෝවා දෙවි තම සේවකයන්ට ආශීර්වාද කරන්න මහත් ආශාවකින් සිටිනවා. එම ආශීර්වාද ලබාගැනීම සඳහා අපි දරන ඕනෑම වෑයමක් වටිනවා. මේ අවසාන කාලේදී යෙහෝවා දෙවි ක්‍රියාත්මක වෙන්න ළඟ බවට තිබෙන ලකුණු ගැන එලියා මෙන් අපිත් විමසිලිමත්ව සිටිය යුතුයි. “සත්‍යතාවේ දෙවි” වන යෙහෝවා දී තිබෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙන බව සහතික කරගන්න එලියාට මෙන් අපිටත් ඕන තරම් හේතු තිබෙනවා.—ගීතාවලිය 31:5.

[පාදසටහන්වල]

^ 17 ඡේ. යේසුස් පැවසූ දේ අද ඉටු වෙමින් පවතින බවට සාක්ෂි දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 9වන පරිච්ඡේදය බලන්න.

^ 20 ඡේ. නියඟය පැවති කාලය ගැන බයිබලයේ දී තිබෙන විස්තරය හරිද කියා දැනගැනීමට 19වන පිටුවේ සඳහන් කොටුව කියවන්න.

^ 23 ඡේ. මේ සිද්ධියෙන් පසුව යෙහෝවා දෙවි එලිෂාව පුහුණු කිරීමේ වගකීම එලියාට පැවරුවා. “එලියාට අත් දෙක සෝදන්න වතුර වත් කළ” තැනැත්තා ලෙසයි ඔහුව හැඳින්නුවේ. (2 රාජාවලිය 3:11NW) මහලු එලියාට උදව් කරමින් එලිෂා ඔහුගේ සේවකයා ලෙස කටයුතු කළා.

[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එලියාගේ දවස්වල නියඟය පැවතුණේ කොපමණ කාලයකටද?

දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ එලියා, ආහබ් ළඟට ගොස් නියඟය ළඟදීම අවසන් වන බව පැවසුවා. ඔහු එය පැවසුවේ “තුන්වන අවුරුද්දේදීයි.” එය ගණන් ගන්න ඇත්තේ නියඟය ගැන පැවසූ දා සිටයි. (1 රාජාවලිය 18:1) එලියා පැවසූ ලෙසම යෙහෝවා දෙවි වැසි වසින්න සැලැස්සුවා. නියඟය අවසන් වුණේ තුන්වන අවුරුද්දේ නම් නියඟය පැවති කාලය අවුරුදු තුනකටත් වඩා අඩුයි කියා සමහරු සිතිය හැකියි. කොහොමවුණත් යේසුස් හා යාකොබ් යන දෙදෙනාම පැවසුවේ නියඟය “අවුරුදු තුනකුත් මාස හයක්” පැවති බවයි. (ලූක් 4:25; යාකොබ් 5:17) මෙය පරස්පර විරෝධී අදහසක්ද?

කොහෙත්ම නැහැ. ඊශ්‍රායෙලයේ වියළි කාලය මාස හයකටත් වඩා තිබුණා. එලියා ආහබ්ට නියඟය ගැන පවසන්න ඇත්තේ එම වියළි කාලය අසාමාන්‍ය ලෙස දීර්ඝව හා දරුණුව තිබුණු අවස්ථාවේදීයි. ඒ වෙනකොටත් නියඟය පටන්ගෙන මාස හයක් ගත වී තිබුණා. ඒ නිසා එලියා “තුන්වන අවුරුද්දේ” නියඟය අවසන් වන බවට දැනුම් දුන් දවස දක්වා අවුරුදු තුනහමාරක් ගත වී තිබුණා. මෙම ‘අවුරුදු තුනහමාර’ ඇතුළතදී තමයි කර්මෙල් කන්දේ සිදු කළ විශාල පරීක්ෂණය දැකගන්න ජනයා එක් රැස් වුණේ.

එලියා මුල් වතාවට ආහබ් ළඟට ගිය කාලය ගැන සලකා බලන්න. ජනයා විශ්වාස කළේ “වැස්සට අධිපති” බාල් වියළි කාලය අවසන් කිරීම සඳහා වැසි වස්සන දෙවි කියායි. වියළි කාලය අසාමාන්‍ය ලෙස දීර්ඝව තිබූ අවස්ථාවේදී ‘බාල් දෙවි කොහෙද? ඔහු වැස්ස ගේන්නේ කවදාද’ කියා සෙනඟ කල්පනා කරන්න ඇති. මම කියන තෙක් වැස්සවත් පින්නවත් හටගන්නේ නැහැ කියා එලියා පැවසූ විට එම බාල් නමස්කාරකයන් කොතරම් අසරණ වෙන්න ඇද්ද?—1 රාජාවලිය 17:1.

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ කැමැත්ත ඉටු වෙනවා දකින්න එලියා තුළ තිබූ ආශාව ඔහු කළ යාච්ඤාවලින් පිළිබිඹු වෙනවා