Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

මරියා යේසුස්ගේ හිස මත වත් කළ සුවඳ තෙල් මිල අධික වුණේ ඇයි?

යේසුස් මිය යන්න ටික දවසකට කලින් ලාසරුස්ගේ සහෝදරිය වූ මරියා “ඉතා මිල අධික, පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල් අඩංගු ඇලබැස්ටර් බඳුනක් ගෙන” යේසුස්ගේ හිස මත වත් කළා. (මාක් 14:3-5; මතෙව් 26:6, 7; යොහන් 12:3-5) මාක් සහ යොහන්ගේ වාර්තාවල පෙන්නුම් කරන ආකාරයට මෙය ඩිනාරි 300ක් වටිනා තෙලක්. එය කම්කරුවෙක් අවුරුද්දක් පමණ වැඩ කිරීමෙන් උපයන මුදලට සමානයි.

මේ වටිනා තෙල් සෑදීම සඳහා භාවිත කළේ ඉතා සුවඳැති කුඩා පැළෑටි වර්ගයක්. (Nardostachys jatamansi) ඒවා වැඩුණේ ඉන්දියාව ආශ්‍රිත හිමාල කඳුවලයි. බොහෝවිට එම වටිනා තෙලට බාල ද්‍රව්‍යයන් මිශ්‍ර කළ අතර එහි ව්‍යාජ අනුකරණයන් පවා තිබුණා. කෙසේනමුත් මාක් සහ යොහන් පවසන්නේ එය “පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල්” බවයි. එම තෙල් එතරම් වටිනවා කියා පැවසීමෙන් පෙනී යන්නේ එය ඉන්දියාවෙන් ගෙනෙන්න ඇති බවයි.

මරියා ‘ඇලබැස්ටර් බඳුන බින්දා’ කියා මාක්ගේ වාර්තාවේ සඳහන් වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ඇලබැස්ටර් බඳුනකට තිබුණේ කුඩා කටක්. එමනිසා වටිනා තෙලේ සුවඳ රඳවා තබාගත හැකි වුණා. ඇලන් මිලර්ඩ් විසින් ලියූ පොතක සඳහන් වුණේ මෙවැනි දෙයක්. “ඉතා උද්‍යෝගයෙන් සිටි ස්ත්‍රිය කලබලය නිසා බඳුණේ මූඩිය විවෘත නොකර එහි කට බිඳ තෙල් සියල්ලම වත් කළ බව පෙනී යනවා.” (Discoveries From the Time of Jesus) “සුවඳ තෙලේ සුවඳින් නිවසම පිරී ගියේය” කියා සඳහන් වෙන්නේ ඒ නිසයි. (යොහන් 12:3) ඊට ටික කාලයකට කලින් යේසුස් මරියාගේ සහෝදරයා වූ ලාසරුස්ව මරණයෙන් නැඟිටෙවූ නිසා මෙම මිල අධික ත්‍යාගය දීම ඉතා යෝග්‍ය දෙයක් වුණා.—යොහන් 11:32-45.

යෙරිකෝව නමින් නගර දෙකක් තිබුණාද?

මතෙව්, මාක් හා ලූක් යන තිදෙනාම යේසුස් යෙරිකෝව අසල සිදු කළ බලවත් ක්‍රියාවක් ගැන වාර්තා කරනවා. (මතෙව් 20:29-34; මාක් 10:46-52; ලූක් 18:35-43) මතෙව් හා මාක් වාර්තා කරන්නේ යේසුස් යෙරිකෝවෙන් “පිටත්ව යද්දී” එය සිදු කළ බවයි. නමුත් ලූක් පවසන්නේ යේසුස් යෙරිකෝවට “ළඟා වෙද්දී” එය සිදු කළා කියායි.

ඒ කාලයේ යෙරිකෝව නමින් නගර දෙකක් තිබුණාද? එක් පොතක ඊට පිළිතුර දී තිබෙන්නේ මෙසේයි. “යේසුස් ජීවත් වූ කාලයේ පැරණි යෙරිකෝ නගරයට දකුණින් කිලෝමීටර් 1.6ක් පමණ දුරිනුයි අලුත් යෙරිකෝ නගරය ඉදි කර තිබුණේ. මහ හෙරෝද් රජ ශීත කාලයේ විසීමට එහි මාලිගාවක් තනා තිබුණා.” (Bible Then & Now) තවත් පොතක එම අදහස සනාථ කරමින් මෙසේ පවසා තිබෙනවා. “යේසුස්ගේ කාලයේ යෙරිකෝව නමින් නගර දෙකක් තිබුණා. . . .යුදෙව්වන්ගේ පැරණි යෙරිකෝ නගරයේ සිට කිලෝමීටර 1.6ක් පමණ දුරකිනුයි රෝමවරුන් තැනූ අලුත් යෙරිකෝ නගරය පිහිටා තිබුණේ.”—Archaeology and Bible History.

ඒ අනුව සිඟමන් ඉල්ලූ අයව යේසුස්ට මුණගැසුණේ පැරණි යෙරිකෝවෙන් පිටත් වී අලුත් යෙරිකෝවට ළඟා වෙද්දී හෝ අලුත් යෙරිකෝවෙන් පිට වී පැරණි යෙරිකෝවට ළඟා වෙද්දී විය හැකියි. මෙම වාර්තා ලියවුණු කාලයේ පැවති තත්වය තේරුම්ගැනීමෙන් හරියටම සිදු වුණේ කුමක්ද කියා අවබෝධ කරගත හැකි වෙනවා.

[31වන පිටුවේ පින්තූරය]

ඇලබැස්ටර් බඳුනක්

[හිමිකම් විස්තර]

© Réunion des Musées Nationaux/​Art Resource, NY