මව් සෙනෙහස තුළින් හෙළි වන දෙවිගේ ප්‍රේමය
මව් සෙනෙහස තුළින් හෙළි වන දෙවිගේ ප්‍රේමය
‘මවකට තම කිරි බොන දරුවාව අමතක වෙයිද? මවකට තම දරුවා අමතක වූවත් මම කිසිදාක එසේ නොකරන්නෙමි.’—යෙසායා 49:15, නව ලොව පරිවර්තනය, NW.
අලුත උපන් බිලිඳෙක් මවගේ පහස ලබමින් කිරි බොන අවස්ථාව ආදරය හා සෙනෙහස පිරි දසුනක්. එක් මවක් පැවසුවේ මෙසේයි. “මුල්ම වතාවට මගේ දරුවාව තුරුලට ගත් මොහොතේ මා තුළ ඇති වුණේ පුදුමාකාර සෙනෙහසක්. ඒ වගේම දරුවා ගැන මට ලොකු වගකීමක් තියෙනවා කියලත් හිතුණා.”
මවගේ ආදරය දරුවාගේ වර්ධනයට ඉතා වැදගත් බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. මානසික සුවය සම්බන්ධයෙන් ජගත් සෞඛ්‍ය සංවිධානය පැවසූ දෙයක් සලකා බලන්න. “අධ්‍යයනවලින් සොයාගෙන තිබෙන ආකාරයට මවගෙන් වෙන් කළ දරුවන් අසතුටෙන් හා කලකිරීමෙන් සිටිනවා. ඔවුන්ට කිසිම දෙයක් හරියාකාරව කරන්නත් බැහැ.” එම සංවිධානය තවදුරටත් පැවසුවේ ආදරය හා අවධානය කුඩා අවධියේදීම ලැබෙන දරුවන්ගේ බුද්ධි මට්ටම එය නොලැබෙන දරුවන්ගේ බුද්ධි මට්ටමට වඩා වැඩි බවයි.
මවගේ ආදරය කොතරම් වැදගත්ද කියා මනෝචිකිත්සක මහාචාර්යවරයෙක් වූ ඇලන් ෂෝර් මෙසේ පැවසුවා. “දරුවාට අනාගතයේදී එකිනෙකා සමඟ හොඳ බැඳීමක් ඇති කරගැනීමට උපකාරවත් වෙන්නේ දරුවෙක් මව සමඟ මුලින්ම ඇති කරගන්නා බැඳීමයි.”
නමුත් කනගාටුවට කරුණක් නම් මානසික පීඩනය, අසනීප හෝ වෙනත් පීඩන නිසා මවකට තම “කිරි බොන දරුවාව අමතක” වීමට ඉඩ තිබීමයි. (යෙසායා 49:15, NW) එය සාමාන්‍යයෙන් සිදු වන දෙයක් නෙවෙයි. ඊට හේතුව මවක් ස්වභාවයෙන්ම දරුවාට ආදරය දැක්වීමට පෙලඹීමයි. පර්යේෂකයන් පවසන ආකාරයට දරුවාව බිහි කිරීමේදී මවගේ ශරීරයේ එක් හෝමෝනයක් (ඔක්සිටෝසින්) වැඩිවර්ධනය වෙන අතර එම හෝමෝනය ගර්භාශය සංකෝචනය වීමට හා මව්කිරි නිපදවීමට දායක වෙනවා. ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙගොල්ලන් තුළම එම හෝමෝනය තිබෙන අතර දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට මවව පොලඹවන්නෙත් එයයි.
ප්‍රේමයේ උල්පත කුමක්ද?
පරිණාමවාදයට අනුබල දෙන අය විශ්වාස කරන්නේ මවක් හා දරුවෙක් අතර ඇති ආදරය ඉබේම ඇති වුණු බවයි. මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා එය ස්වභාවයෙන්ම උරුම වූ බව ඔවුන් විශ්වාස කරනවා. උදාහරණයකට එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “පරිණාමවාදයට අනුව මිනිස් මොළය උරගයන්ගෙන් ලැබුණු දෙයක්. ඉන්පසු එයට මුලින්ම එකතු වුණේ හැඟීම් ඇතිවීමට ඉවහල් වන කොටසයි. එය මවක් හා බිලිඳෙක් අතර කිට්ටු බැදීමක් ඇතිවීමට බලපානවා.”—Mothering Magazine.
අපේ හැඟීම් ඇතිවීමට එම කොටස බොහෝ සෙයින් දායක වෙන බව පර්යේෂකයන්ද සොයාගෙන තිබෙනවා. කෙසේවුවත් දරුවා කෙරෙහි මව දක්වන ආදරය උරග මොළයක් පරිණාමය වීමේ ප්‍රතිඵලයක් හැටියට ඇති වන දෙයක් කියා සිතීම සාධාරණද?
උදාහරණයක් ලෙස බයිබලයේ විස්තර කරන්නේ දෙවි මිනිසාව තම ස්වරූපයෙන් එනම් ඔහුගේ ගුණාංග විදහා පෙන්වීමේ හැකියාව ඇතුව නිර්මාණය කර තිබෙන බවයි. (උත්පත්ති 1:27) දෙවිගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමය වන අතර “ප්‍රේම නොකරන්නා දෙවිව හඳුනාගෙන නැත. දෙවි ප්‍රේමයය” කියා බයිබල් ලේඛකයෙක් වූ යොහන් පැවසුවා. (1 යොහන් 4:8) මෙම පදයේ සඳහන් වෙන්නේ දෙවි ප්‍රේමණීය කෙනෙක් කියා පමණක් නොවෙයි. ඒ වෙනුවට දෙවි ප්‍රේමය කියා එහි පවසනවා. ඊට හේතුව යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පත වීමයි.
බයිබලයේ ප්‍රේමය ගැන විස්තර කර තිබෙන්නේ මෙසේයි. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත. අවිනීතව හැසිරෙන්නේ නැත. තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවී සත්‍යය ගැන ප්‍රීති වන්නේය. සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය. සියල්ල විඳදරාගන්නේය. ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත.” (1 කොරින්ති 13:4-8) මෙවැනි උතුම් ගුණාංගයක් ඉබේම ඇති වෙයි කියා සිතිය හැකිද?
ඔබ ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
ඉහත ඡේදයේ ප්‍රේමය විස්තර කර තිබෙන ආකාරය සලකා බලද්දී කවුරු හෝ එවැනි ප්‍රේමයක් ඔබට පෙන්වනවා නම් කොතරම් හොඳද කියා ඔබට සිතෙන්නේ නැද්ද? එසේ සිතීම සාමාන්‍ය දෙයක්. ඊට හේතුව අපි හැමෝම “දෙවිගෙන් පැවත එන්නන්” වීමයි. (ක්‍රියා 17:29) දෙවි අපව නිර්මාණය කළේ ප්‍රේමය ලැබීමේ හා පෙන්වීමේ හැකියාව ඇතුවයි. දෙවි අප කෙරෙහි මහත් ප්‍රේමයක් දක්වන බවට සහතික වෙන්නත් අපට හැකියි. (යොහන් 3:16; 1 පේතෘස් 5:6, 7) මේ ලිපියේ ආරම්භයේදීම සඳහන් වූ බයිබල් පදයේ පෙන්වන්නාක් මෙන් මවක් තම දරුවාට පෙන්වන ප්‍රේමයට වඩා මහත් ප්‍රේමයක් දෙවි අපට පෙන්වනවා.
‘දෙවි ඉතා ප්‍රඥාවන්ත, බලවත් මෙන්ම ප්‍රේමණීය කෙනෙක් නම් ඔහු දුක් වේදනාවලට නිමාවක් නොගෙනෙන්නේ ඇයි? දරුවන්ට මිය යන්නත්, හිංසාකාරී දේවල් සිදු වෙන්නත්, නිරපරාධේ පොළොව විනාශ වෙන්නත් ඔහු ඉඩහරින්නේ ඇයි’ කියා ඔබ කල්පනා කරන්න පුළුවන්. ඇත්තෙන්ම එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම වටිනවා.
දෙවි කෙනෙක් සිටිනවාද කියා සැක කරන අය කුමක් පැවසුවත් ඉහත ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පිළිතුරු තිබෙනවා. ලොව පුරා සිටින මිලියන ගණන්දෙනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන තිබෙනවා. ඔබටත් ඒ දේම කරන්න කියා උනන්දු කරන්න අපි කැමතියි. බයිබලය හා දෙවිගේ නිර්මාණයන් අධ්‍යයනය කර දෙවි ගැන දැනුම තවත් පුළුල් කරගනිද්දී ඔහු අපිට ගොඩක් ඈතින් සිටින කෙනෙක් නොව “අප එකිනෙකාට නුදුරුව” සිටින කෙනෙක් බව ඔබ තේරුම්ගනියි.—ක්‍රියා 17:27.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මවක් තම දරුවාට පෙන්වන ප්‍රේමයට වඩා මහත් ප්‍රේමයක් දෙවි අපට පෙන්වනවා