“උච්චාරණය නොකළ යුතුද?”
“උච්චාරණය නොකළ යුතුද?”
එක්සත් ජනපදයේ ශාන්ත ලුයිස් නගරයේ පුරාණ පල්ලියක් තිබෙනවා. එය හඳුන්වන්නේ ඕල්ඩ් කැතීඩ්‍රල් යන නමිනුයි.
පල්ලියට ඇතුල් වන ස්ථානය සාදා තිබෙන්නේ ඉතා අලංකාර ලෙසයි. ඒ ගැන පල්ලියෙන්ම පළ කළ පොත් පිංචයක මෙසේ සඳහන් වුණා. “එහි පෝටිකෝවේ තිබෙන ත්‍රිකෝණාකාර හැඩැති බිත්තියේ මැද අලංකාර ලෙස රනින් නිම වූ හෙබ්‍රෙව් අකුරු සතරක් දක්නට තිබෙනවා. එම අකුරු සතරෙන් දැක්වෙන්නේ උච්චාරණය නොකළ යුතු දෙවිගේ නාමයයි.” පහත තිබෙන පින්තූරයේ ඇති හෙබ්‍රෙව් අකුරු සතරෙන් දැක්වෙන්නේ සැබෑ දෙවිගේ නාමයයි.—The Story of the Old Cathedral.
මෙම පල්ලිය ඉදි කරනු ලැබුවේ 1834දීයි. ඒ කාලයේ එම ප්‍රදේශයේ සිටි අයට එම හෙබ්‍රෙව් අකුරු සතර ඉතා වැදගත් බව හැඟෙන්න ඇති. එසේනම් දෙවිගේ නාමය “උච්චාරණය නොකළ යුතු” හෝ “සඳහන් නොකළ යුතු” නාමයක් ලෙස සලකන්නේ ඇයි?
යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී තම මව්බිමට පැමිණියේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදීයි. ඉන්පසු සිදු වූ දෙයක් ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. ‘දෙවිගේ නම ඉතා පරිශුද්ධ නිසා එය උච්චාරණය නොකළ යුතුයි කියා සලකා, ඒ වෙනුවට ඇඩොනයි [ස්වාමීන්] හෝ එලෝහිම් [දෙවි] යන නම්වලින් දෙවිව ආමන්ත්‍රණය කිරීමට පටන්ගත්තා. මෙලෙස දෙවිගේ නාමය කාලයක් පුරා භාවිත නොකිරීම හේතුවෙන් එය නිවැරදි ලෙස උච්චාරණය කරන ආකාරය අමතක වී ගියා.’ එමනිසා මිනිසුන් දෙවිගේ නාමය භාවිත කිරීම අත්හැර දැමුවා.—New Catholic Encyclopedia.
අතීතයේදී දෙවිගේ නම නිවැරදිව උච්චාරණය කළේ කෙසේද කියා අපි හරියටම දන්නේ නැහැ. නමුත් අපි මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ දෙවිගේ නම භාවිත කිරීමෙන් ඔහුට ළං විය හැකි බවයි. ඔබේ මිතුරන් ඔබට “මහත්මයා” හෝ “මහත්මිය” කියා අමතනවාට ඔබ කැමතිද? ඔවුන් වෙනත් භාෂාවක් කතා කරන අය වුණත් ඔබේ නම නිවැරදිව උච්චාරණය නොකළත් ඔවුන් ඔබට ඔබේ නමින් අමතද්දී ඔබට සතුටක් දැනෙන්නේ නැද්ද? ඒ හා සමානව දෙවිත් කැමති වන්නේ අපි ඔහුව නමින්ම ආමන්ත්‍රණය කරනවාටයි.
සිංහල භාෂාවෙන් සැබෑ දෙවිගේ නම උච්චාරණය කරන්නේ “යෙහෝවා” කියායි. එසේනම් දෙවිට ප්‍රේම කරන සියලුදෙනාම ඔහුගේ නම භාවිත කරමින් ඔහුට ළංවීම කොතරම් සුදුසුද? බයිබලයේ මෙසේ පවසන්නේ ඒ නිසයි. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.”—යාකොබ් 4:8.