Skip to content

පටුනට යන්න

ඔබත් කුතුහලයෙන් සිටින්නෙක්ද?

ඔබත් කුතුහලයෙන් සිටින්නෙක්ද?

ඔබත් කුතුහලයෙන් සිටින්නෙක්ද?

“ප්‍රශ්න ඇසීමට මිනිසා තුළ ලොකු නැඹුරුවාවක් තිබෙනවා. කුඩා අවධියේ සිටම අපි ප්‍රශ්න අසනවා. ඉතිහාසය පුරාම ප්‍රශ්න අසා තිබෙන්නෙත් ඒවාට පිළිතුරු සොයාගෙන තිබෙන්නෙත් මිනිසා විසින්මයි කියා පැවසිය හැකියි.”—මෙක්සිකෝවේ කවියෙකු වන ඔක්ටාවියෝ පැස්.

සූපවේදියෙක් අලුත් කෑමක් හදන්න පෙලඹෙන්නේ ඇයි? දේශ ගවේෂකයෙක් දුර ඈත සංචාරවල නිරත වෙන්නේ ඇයි? කුඩා දරුවෙක් නොයෙක් ආකාරයේ ප්‍රශ්න අසන්නේ ඇයි? බොහෝවිට ඒවාට හේතුව කුතුහලයයි.

ජීවිතයට බලපාන ඉතා වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට ඔබ තුළත් කුතුහලයක් තිබෙනවාද? ජීවය ආරම්භ වුණේ කෙසේද? අපි ජීවත් වෙන්නේ ඇයි? දෙවි කෙනෙක් සිටිනවාද? කුතුහලය නිසා කුඩා කාලයේ සිටම අපගෙන් වැඩිදෙනෙක් එවැනි ප්‍රශ්න අසන්නත් ඒවාට පිළිතුරු දැනගන්නත් ආශාවෙන් සිටිනවා. මෙසේ කුතුහලයෙන් හොඳ ප්‍රතිඵල රැසක් තිබුණත් එහි හානිකර පැත්තක්ද තිබෙනවා.

පරෙස්සම් වන්න!

කුතුහලයේ තිබෙන හානිකර පැත්ත කුමක්ද? උදාහරණයකට කුඩා දරුවෙක් කුතුහලය නිසා රත් වූ භාජනයක් මත අත තැබුවොත් එය හානිකර වෙනවා. අනෙක් අතට කුතුහලය නිසා ඇති වන ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට පෙලඹීමෙන් අපේ දැනුම වැඩි කරගත හැකියි. නමුත් කුතුහලය නිසා ඕනෑම දෙයක් කිරීම සුදුසුද?

යම් දේවල් සම්බන්ධයෙන් දැනුමක් ලබාගැනීමට ඇති වන කුතුහලය භයානක ප්‍රතිඵල ගෙන දිය හැකියි. උදාහරණයකට කාමුක දර්ශන, ගුප්ත දේවල් හා මූලධර්මවාදී කණ්ඩායම්වල ඉගැන්වීම් වැනි දේවල් ගැන දැනගැනීමට ඇති වන කුතුහලය මුළු ජීවිතයටම හානිකර ලෙස බලපෑ හැකියි. මෙවන් තත්වයකදී “කිසි වැදගැන්මකට නැති දේවල් දකින්න මට ඉඩ නොදෙන්න” කියා පුරාණ ඇදහිලිවන්තයෙක් කළ යාච්ඤාවට එකඟව අපිත් ක්‍රියා කරමු.—ගීතාවලිය 119:37, නව ලොව පරිවර්තනය, NW.

හානිකර නොවූවත් කිසිම තේරුමක් නැති දැනුමක්ද තිබෙනවා. උදාහරණයකට සිනමා තරු ඇතුළු ප්‍රසිද්ධ අයගේ පෞද්ගලික තොරතුරු දැනගැනීමෙන් හෝ සියලුම ක්‍රීඩා කණ්ඩායම් ගැනත් ක්‍රීඩකයන් ගැනත් දැනගැනීමෙන් කිසිම පලක් තිබේද? එසේත් නැත්නම් නවීන පන්නයේ උපකරණ හෝ අලුත්ම වාහන ගැන දැනුම ලබාගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? බොහෝ අය එවැනි විෂයන් ගැන “ප්‍රවීණයන්” වී තිබුණත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.

කුතුහලයෙන් ප්‍රයෝජන ලැබූවෙක්

කුතුහලය නිසා ඇති විය හැකි යහපත් ප්‍රතිඵලද තිබෙනවා. දහනවවන සියවසේ විසූ ජර්මානු ජාතිකයෙක් වූ ආලෙක්සාන්ඩ වොන් හුම්බෝල්ට් ගැන සලකා බලන්න. ඔහු ස්වභාව සෞන්දර්යය ගැන අධ්‍යයනය කළ දේශ ගවේෂකයෙක්. දකුණු ඇමරිකාවේ බස්නාහිර වෙරළ තීරය හඳුන්වන්නෙත් හුම්බෝල්ට් යන ඔහුගේ නමින්.

හුම්බෝල්ට් මෙසේ පැවසුවා. “යුරෝපියයන් එතරම් නොගිය ඈත තැන්වලට යන්න පොඩි කාලේ ඉඳලම මට ලොකු ආශාවක් තිබුණා. ඒ වගේ ආශාවක් ඇති වුණාම ඒක පාලනය කරන්න හරිම අමාරුයි.” වයස අවුරුදු 29දී ඔහු වසර පහක කාලයක් පුරා මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ සංචාරය කළා. එම සංචාරයෙන් රැස් කරගත් තොරතුරු කැටි කොට ඔහු පොත් 30ක් එළි දැක්වූවා.

මේ සංචාරයේදී සාගරයේ උෂ්ණත්වය, මත්ස්‍යයන් හා මඟ දිගට දකින්න තිබූ පැළෑටි ඔහුගේ අවධානයට ලක් වුණා. එමෙන්ම ඔහු කඳු තරණය කළ අතර ගංගා ගවේෂණය කර මුහුදු ගමන්වලත් යෙදුණා. නවීන විද්‍යාවේ නොයෙක් ක්ෂේත්‍රවලටත් ඔහුගේ ගවේෂණයන් මහත් පිටුවහලක් වී තිබෙනවා. මේ සියල්ලටම හේතුව හුම්බෝල්ට් තුළ තිබූ දැඩි කුතුහලය හා දැනුම ලබාගැනීමට තිබූ නොසන්සිඳෙන ආශාවයි. එය ඔහුගේ ජීවිතය පුරාම තිබූ දෙයක්. ඇමරිකානු රචකයෙක් වූ රැල්ෆ් වෝල්ඩෝ ඉමර්සන් නමැත්තා හුම්බෝල්ට් ගැන මෙවැනි දෙයක් පැවසුවා. ‘මිනිස් මොළයට මොන තරම් දේවල් කිරීමට හැකියාව තිබෙනවාද කියා පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතරට හුම්බෝල්ට්ද ඇතුළත්.’

අපතේ නොයන දැනුමක්

ලෝක ගවේෂකයන් වීමට හෝ විද්‍යාත්මක සොයාගැනීම් කිරීමට හැමෝටම හැකියාවක් නැහැ. නමුත් අපේ මානසික හැකියාවන් පාවිච්චි කළ හැකි එක් ක්ෂේත්‍රයක් තිබෙනවා. එම ක්ෂේත්‍රය ගැන දැනුම ලබාගැනීමෙන් අපිට ඉමහත් ප්‍රයෝජන අත් කරගත හැකියි. එම ක්ෂේත්‍රය කුමක්ද කියා යේසුස් ඔහුගේ ස්වර්ගික පියාට යාච්ඤා කළ අවස්ථාවේ පැවසූ මේ දෙයින් පෙනී යනවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

සැබෑ දෙවි වන යෙහෝවා ගැනත් ඔහුගේ පුත් යේසුස් ගැනත් දැනුම ලබාගැනීමෙන් කෙනෙකුට ප්‍රයෝජන රැසක් ලබන්න පුළුවන්. වෙනත් කිසිම ආකාරයේ දැනුමකින් එවැනි ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මේ ලිපියේ ආරම්භයේ සඳහන් වී තිබූ ඉතා වැදගත් ප්‍රශ්න ඔබට මතකද? ඒවා අතරට මේ ප්‍රශ්නත් ඇතුළත් කළ හැකියි. ලෝකයේ මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි? මිනිසුන් පොළොව විනාශ කරයිද? එවැනි දෙයක් සිදු නොවීමට දෙවි වගබලා ගන්නේ කෙසේද? එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙන් “සදාකාල ජීවනය” ලැබෙන බව යේසුස් පැවසුවා. අපිට ඒ ගැන ස්ථිර විය හැක්කේ කෙසේද?

බයිබලය දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියැවුණු පොතක්. ඒ ගැන බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පැවසුවා. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතුව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.”—2 තිමෝති 3:16, 17.

පාවුල් පවසන ආකාරයට බයිබලයේ ඇතුළත් වී තිබෙන දැනුමට හැකියි යහපත් ක්‍රියා කිරීම සඳහා අපව පොලඹවන්න. එමෙන්ම දෙවි බලන ආකාරයෙන් කාරණා දෙස බලන්නත් එය අපට උපකාරවත් වෙනවා. දෙවිගේ ප්‍රඥාව හා දැනුම මිනිස් ප්‍රඥාව හා දැනුමට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨයි. අනාගතවක්තෘ යෙසායාට මෙවැනි දෙයක් ලිවීමට දෙවි මඟ පෙන්නුවා. “යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මාගේ සිතුවිලි ඔබේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග ඔබේ මාර්ග මෙන් නොවේ.’ ‘අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ මාගේ මාර්ග ඔබේ මාර්ගවලට වඩා උසස්ය. මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.’”—යෙසායා 55:8, 9NW.

යෙහෝවා දෙවිගේ උසස් සිතුවිලි හා මාර්ග ගැන දැනගැනීමට ඔබත් කැමතිද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ පවසා ඇත්තේ කුමක්ද කියා දැනගැනීමට ඔබ තුළ කුතුහලයක් තිබෙනවාද? දෙවි දුක් වේදනා අවසන් කරන්නේ කෙසේද, යහපත් මිනිසුන්ට ඔහු ගෙනෙන ආශීර්වාද මොනවාද කියා දැනගන්න ඔබ කැමතිද? බයිබලයේ ඔබට මෙවැනි ආරාධනාවක් කර තිබෙනවා. “ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන තැනැත්තා සන්තෝෂවත්ය.”—ගීතාවලිය 34:8NW.

බයිබලයේ ඇතුළත් වී තිබෙන සත්‍ය ඉගැන්වීම් මගින් අවංක මිනිසුන්ට ඉමහත් ප්‍රයෝජන ලැබිය හැකියි. පාවුල් මෙසේ පැවසුවා. “දෙවිගේ ආත්මික සම්පත් මෙන්ම ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත්, ඔහුගේ මාර්ග තේරුම්ගැනීමත් කොතරම් අමාරුද!” (රෝම 11:33) අපි කොතරම් කාලයක් ජීවත් වුණත් දෙවිගේ ප්‍රඥාව හා දැනුම සම්පූර්ණයෙන්ම අපට දැනගැනීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමදාමත් අලුත් දෙයක් ඉගෙනගැනීමේ මහඟු ප්‍රස්තාව අපට තිබෙනවා.

කුතුහලය දිගටම පවත්වාගන්න

අපි දැනගන්න ආශාවෙන් සිටින සෑම දෙයක්ම දැනගැනීමට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් දේවල් ගැන ඉගෙනගැනීමට තිබෙන කුතුහලය නැති කරගන්න එපා. දැනුම ලබාගැනීම සඳහා අපි තුළ තිබෙන ආශාව දෙවිගෙන් ලැබී තිබෙන දීමනාවක්. ඒ නිසා දිගටම එම ආශාව ඇතුව සිටින්න.

දෙවිගෙන් ලැබී තිබෙන එම වටිනා දීමනාව යොදාගෙන බයිබලය තේරුම්ගන්න උත්සාහ කරන්න. එවිට දැනුත් සදහටමත් සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි සෑම දෙයක්ම නියමිත කාලයට සුදුසු ලෙස සකස් කරයි. ඔහු සදාකාලය ගැන සිතුවිලි මිනිසාගේ සිතෙහි තබා ඇතත් දෙවි මුල සිට අන්තිමය දක්වා කර ඇති සියල්ල කිසිදා තේරුම්ගැනීමට මිනිසාට නොහැක.’—දේශනාකාරයා 3:11NW.

[21වන පිටුවේ කොටුව/පින්තූර]

ඔබ දන්නවාද?

• කොලම්බස් හා මැගලන් වැනි ප්‍රවීණයන් පෘථිවියේ හැඩය ගැන අදහස් පළ කරන්න සියවස් ගණනාවකට පෙර පෘථිවිය ගෝලයක් කියා බයිබලයේ සඳහන් වුණා. —යෙසායා 40:22NW.

• පෘථිවිය කිසිම ආධාරකයක් මත නොපිහිටා අභ්‍යවකාශයේ තිබෙන බව ගගනගාමීන් සොයාගැනීමට බොහෝ කලකට කලින් එය හිස් අවකාශයේ එල්ලා තිබෙන බව බයිබලයේ සඳහන්ව තිබුණා.—යෝබ් 26:7NW.

• වෛද්‍යවරයෙකු වන විලියම් හාවේ මිනිස් සිරුරේ රුධිර සංසරණ පද්ධතිය ගැන සොයාගැනීමට වසර 2,500කට පමණ කලින් හෘදයෙන් ජීවිතය නික්මෙන බව බයිබලයේ සඳහන් වුණා.—හිතෝපදේශ 4:23.

• මීට වසර 3,000කට පමණ පෙර පරිසර පද්ධතියේ කොටසක් වන ජල චක්‍රය ගැන බයිබලයේ ඉතා සරලව පැහැදිලි කර තිබුණා.—දේශනාකාරයා 1:7.

ඉහත කරුණු ගැන විද්‍යාවෙන් ඔප්පු කිරීමට පෙර බයිබලයේ ඒ දේවල් සඳහන්ව තිබීම ඇත්තෙන්ම පුදුම කරවන්නක්. එහි ජීවිතයට වටිනා දැනුම් සම්භාරයක් තිබෙනවා. ඔබ එම දැනුම ලබාගන්න කැමතිද?

[19වන පිටුවේ පින්තූරය]

ආලෙක්සාන්ඩ වොන් හුම්බෝල්ට්