Skip to content

පටුනට යන්න

දෙවිට සේවය කිරීමෙන් මා ලද නොනිමි සතුට

දෙවිට සේවය කිරීමෙන් මා ලද නොනිමි සතුට

දෙවිට සේවය කිරීමෙන් මා ලද නොනිමි සතුට

බිල් යාරෙම්චක්

වර්ෂ 1947දී එක්සත් ජනපදයේ නිව්යෝක්වල පිහිටි අටවෙනි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වුණ මට සිංගප්පූරුවේ සේවය කරන්න පැවරුමක් ලැබුණා.

ගිලියද් පාසැලේ හත්වෙනි පංතියට සහභාගි වුණ කැනඩාවේ ඩේව් ෆාමර් මාත් එක්ක මේ ගමන යන්න හවුල් වුණා. අපි දෙන්නා සැන් ෆ්‍රැන්සිස්කෝවලින් පිටත් වුණ නැවකින් ගමන පටන්ගත්තා.

අපේ නැව මුලින්ම නැවැත්තුවේ හොංකොංවලයි. එහෙදී දෙවෙනි ලෝක මහ යුද්දෙන් සිද්ධ වුණ හානිය කොයි තරම්ද කියලා අපි දැක්කා. හාමතේ හිටපු මිනිස්සු පාරවල් අයිනේ වැටිලා හිටියා. ඒ අය මරණාසන්නව ඉන්නවා වගෙයි අපි දැක්කේ. ඒ දේවල් දැකලා අපේ හිත් හොඳටම සසල වුණු හින්දා අපි ඉක්මනටම නැවට නැග්ගා. ඊළඟට අපි පිලිපීනයේ අගනුවර වුණු මැනිලාවලට ගියා.

එහෙත් යුද්ධයේ භයංකර ප්‍රතිඵල දකින්න තිබුණා. ගුවන් ප්‍රහාර නිසා කැඩී බිඳී ගිය නැව් වරාය පුරාම තියෙනවා අපි දැක්කා. බලන බලන හැමතැනම තිබුණේ දුගීකමයි. එහෙදී අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුව මුණගැසුණු අතර ඔවුන් රැස්වීම් පවත්වන රාජ්‍ය ශාලාවට අපිව එක්කගෙන ගියා. පීඩා මැද පවා ඔවුන් හිටියේ සතුටින්.

අපි ඊළඟට ගියේ ඉන්දුනීසියාවේ ජකර්තාවලටයි. එහේ සිවිල් යුද්ධය උත්සන්න වෙලා තිබුණු නිසා අපිට නැවෙන් බහින්න අවසර ලැබුණේ නැහැ. ඒ නිසා මම කල්පනා කළා සිංගප්පූරුවේ තත්වය කොහොම වෙයිද කියලා. සංචාරක මාර්ගෝපදේශ පොත්වල පෙන්වලා තියෙන අලංකාර දේවල් ඒ රටේ දකින්න තියෙයිද කියලා මම හිතුවා.

එහේ ගිහින් දවස් කිහිපයකට පස්සේ මගේ සැකය දුරු වුණා. ඩේවුයි මායි කරන්න ආපු කාර්යයට දෙවිගේ අනුමැතිය තියෙන බව තේරුම්ගන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ.

අවසර ලැබී

මාසෙකට විතර පස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝවලින් ආපු අපේ නැව ශාන්ත ජෝන් දූපත අසල නැවැත්තුවා. සිංගප්පූරුවට ඇතුල් වෙන්න අවසර ලැබෙන කල් අපේ නැව නවත්වලා තිබුණේ එතනයි. රේගු නිලධාරීන් ඇවිත් අපේ විදේශ ගමන් බලපත්‍ර සෝදිසි කරලා “ඇතුල් වෙන්න අවසර තියෙනවා” කියන මුද්‍රාව තැබුවා. ඊළඟ දවසේ නැව වරායට ඇතුල් කරලා බලධාරියෙක් අපේ ලියකියවිලි පරීක්ෂා කළාට පස්සේ අපි නැවෙන් බැස්සා.

විදේශීය රටවල දේවසේවය කරන්න පැවරුම් ලැබුණු අපේ යාළුවන්ගෙන් සමු ගන්න ඊළඟ දවසේ අපි ආපහු වරායට ගියා. ඒ අයට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සේවය කරන්න පැවරුම් ලැබිලා තිබුණා. නැවේ කපිතාන්වරයා අපිව දැක්කම කේන්තියෙන් අපිට බැන්නා. මොකද රේගු පාලකයා වූ හැක්ස්වර්ත් මහතා කාටවත් නැවෙන් බහින්න දෙන්න එපා කියලා කපිතාන්වරයාට නියෝග කරලා තිබුණා. හැබැයි අපිවත් අපිට බහින්න අවසර දීපු නිලධාරියාවත් ඒ බව දැනගෙන හිටියේ නැහැ.

අපිව හැක්ස්වර්ත් මහතා ළඟට අරගෙන ගියාම එයා කේන්තියෙන් කිව්වා සිංගප්පූරුවට ඇතුල් වෙන්න අපිට අවසර නැහැ කියලා. හැබැයි අපි ඒ ගැන දැනගෙන හිටියේ නැති බව එයාට පැහැදිලි කරලා අපේ විදේශීය ගමන් බලපත්‍රය එයාට පෙන්නුවා. අපිට ඒ රටට ඇතුල් වෙන්න අවසර දීලා තිබුණු මුද්‍රාව ඒකේ තිබුණා. එතකොට එයා අපේ බලපත්‍ර උදුරලා අරගත්තා. ඒ අතරතුරේ නැව පිටත් වුණා. හැක්ස්වර්ත් මහතා අපේ බලපත්‍ර ආපහු අපිට දුන්නේ අවුරුද්දකට විතර පස්සෙයි.

සිංගප්පූරුවේ සාර්ථක සේවයක්

වර්ෂ 1947 අප්‍රියෙල් මාසේදී අපි සිංගප්පූරුවට ගියාම එහේ හිටියේ එක සාක්ෂිකරුවෙක් විතරයි. එයාගේ නම ජොෂුවා. වර්ෂ 1970 ගණන්වල මිය යන තෙක්ම ඔහු පූර්ණකාලීන දේවසේවකයෙක් විදිහට සේවය කළා. ඒ වෙද්දී බයිබලය ගැන ඉගෙනගනිමින් හිටපු අය අනිත් අයට බයිබල් සත්‍යය කියලා දෙන්න පටන්ගත්තා. අස්වැන්න නෙළන්න තවත් වැඩකරුවන්ව එවන්න කියලා අපි කරපු යාච්ඤාවලට පිළිතුරු ලැබෙන බව අපිට තේරුණා.—මතෙව් 9:37, 38.

වර්ෂ 1949දී හැක්ස්වර්ත් මහතා දිග නිවාඩුවකට එංගලන්තයට ගිය වෙලාවේ 11වන ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ පූර්ණකාලීන දේවසේවකයන් හයදෙනෙක් සිංගප්පූරුවට ආවා. ඒ වෙන කල්ම මාත් එක්ක සේවයේ හවුල් වුණු ඩේව් අසනීප තත්වයක් නිසා ඕස්ට්‍රේලියාවට ගියා. වර්ෂ 1973දී මිය යන තුරුම ඩේව් දෙවිට විශ්වාසවන්තව සේවය කළා. සිංගප්පූරුවට ආපු හයදෙනාගෙන් කෙනෙක් වූ අයිලීන් ෆ්‍රෑන්ක්ස්ව මම 1956දී විවාහ කරගත්තා.

කාලය ගෙවී යද්දී අපිත් එක්ක බයිබලය පාඩම් කරපු අයත් ඒ අයගේ දරුවනුත් සාක්ෂිකරුවන් බවට පත් වුණා. ඔවුන්ගෙන් සමහරුන් දැන් විදේශීය රටවල දේවසේවකයන් විදිහට සේවය කරනවා. ඒ අය අතරින් ලෙස්ට හා ජෝනි හේන්ස් යුවළව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සිංගප්පූරුවේ හිටියත් ඒ දෙන්නා ඇවිත් තිබුණේ ඇමරිකාවේ ඉඳන්. අපි ඒ දෙන්නත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ 1950 ගණන්වලදීයි. ලොකු උනන්දුවකින් පාඩම් කරපු නිසා ඔවුන් ආපහු ඇමරිකාවට ගියාට පස්සේ බව්තීස්ම වුණා. එහිදී තමන්ගේම දරුවන් තුන්දෙනා ඇතුළු තවත් බොහෝදෙනෙකුට සාක්ෂිකරුවන් වෙන්න උදව් කරන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා.

ජෝනි අපිට එවපු ලියුමක මේ වගේ දෙයක් සඳහන් කළා. “අපි සිංගප්පූරුවේ හිටපු කාලේ අපේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා. ඕගොල්ලන් අපිට ඒ මඟ පෙන්වීම් ලබා දුන්නේ නැත්නම් අපි තාමත් ලෝකේ පුරා තැනින් තැන යමින් ඉඳියි. ඔයා ලෙස්ටට සත්‍යය උගන්වපු එක ගැන මට හරිම සතුටුයි. යෙහෝවා දෙවිටත් අපේ සහෝදරයන්ටත් ප්‍රේම කරන්න ඉගැන්නුව ඔයා වගේ ගුරුවරයෙක් හිටපු එක ලොකු දෙයක්. අදටත් ලෙස්ටගේ ඒ ප්‍රේමය අඩු වෙලා නැහැ.”

පවුලක් ලෙස කළ සේවය

වර්ෂ 1962දී බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. අපේ පවුලේ වෛද්‍යවරයා කිව්වා අයිලීන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. දේවසේවයට ලොකු ආශාවක් තිබුණත් දැන් කොහොමද ඒක කරන්නේ කියලා අපි කල්පනා කළා. ඒ වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු අධීක්ෂණය කරපු සහෝදර නේතන් එච්. නෝර් මට දැනුම් දුන්නා රැකියාවක් හොයාගෙන සිංගප්පූරුවේම ඉන්න කියලා. හැබැයි ඒක කරන්න අපිට ලේසි වුණේ නැහැ.

වෙනත් රටවලින් ආපු වැඩිදෙනෙක් විදේශීය සමාගම්වල විධායක නිලධාරීන් හැටියට වැඩ කරමින් හිටියා. ඒත් මම මීට අවුරුදු 23කට විතර කලින් පාසැල් අධ්‍යාපනය අවසන් කරපු දවසේ ඉඳලම පූර්ණකාලීන දේවසේවකයෙක් විදිහටයි වැඩ කළේ. ඒ නිසා මට ව්‍යාපාර කටයුතු ගැන කිසිම පළපුරුද්දක් තිබුණේ නැහැ. මම වෙනත් රටක පූර්ණකාලීන දේවසේවකයෙක් විදිහට සේවය කරන බවත්, මගේ පෞද්ගලික තොරතුරුත් ඇතුළත් කරලා එංගලන්තයේ රැකියා සොයා දෙන ආයතනයකට ලියුමක් දැම්මා. ඒ ආයතනය සිංගප්පූරුවේ බහුජාතික සමාගම් බොහෝමයකට මගේ ලියුම යැව්වා.

හැබැයි ඒ හැම සමාගමක්ම හිතුවේ මට තියෙන සුදුසුකම් වැඩියි කියලයි. ඒ නිසා “ඔබට තිබෙන සුදුසුකම් අනුව රැකියාවක් දීමට නොහැකි වීම ගැන අපි කනගාටු වන්නෙමු” කියා ඔවුන් මට ලියලා එව්වා. මේ විදිහට කාලය ගෙවී යද්දී අපේ දුව ජූඩි ඉපදුණා. සහෝදර නෝර් ඒ වෙද්දී සිංගප්පූරුවට ඇවිත් හිටියා. එයා ජූඩිවයි, අයිලීන්වයි බලන්න රෝහලට ආවා. සහෝදර නෝර් අපිට කිව්වා “බිල්ට රැකියාවක් ලැබෙන කල් ඕන තරම් කාලයක් සමිතියෙන් දීලා තියෙන නිවසේම ඉන්න පුළුවන්” කියලා. ඒක අපිට ලොකු සහනයක් වුණා.

මාස කීපයකින් පිටරට ගුවන් සමාගමක අලෙවි නියෝජිතයෙක් හැටියට සේවය කරන්න මට රැකියාවක් ලැබුණා. අපිට ජීවත් වෙන්න ඒ වැටුප ප්‍රමාණවත් වුණා. අවුරුදු දෙකකට පස්සේ ඇමරිකානු ගුවන් සමාගමක රැකියාවක් කරන්න මට අවස්ථාව ලැබුණා. කලින් ලැබුණ වැටුප වගේ දෙගුණයක් මට ගෙව්වා. මේ විදිහට ටික කාලෙකින් මම සංචාරක ව්‍යාපාරයේ ජනප්‍රිය කෙනෙක් වුණා. මගේ පවුලේ අය එක්ක කාලය ගත කරන්නත් දේවසේවයේ යෙදෙන්නත් මට හැකි වුණා.

අපි නිතරම ජීවිතයේ මූලික තැන දුන්නේ දෙවිගේ සේවයටයි. මේ නිසා දෙවිගේ සංවිධානය තුළ නොයෙකුත් වරප්‍රසාද භුක්ති විඳින්න මට පුළුවන් වුණා. නැවතත් පූර්ණකාලීන දේවසේවය පටන්ගන්න අයිලීන්ටත් පුළුවන් වුණා. සිංගප්පූරුවේ දේශනා වැඩකටයුතු ව්‍යාප්ත වෙන්න පටන්ගත්ත නිසා 1960 ගණන්වල මැදභාගයේදී අපි තට්ටු දෙකේ ගොඩනැඟිල්ලක් සල්ලිවලට අරගෙන ඒක අපේ රාජ්‍ය ශාලාව විදිහට පාවිච්චි කළා. සභාවන් හතරක්ම රැස්වීම් පැවැත්වුවේ එතනයි.

තහනම යටතේ!

වර්ෂ 1972 ජනවාරි 14වෙනිදා අපි සුපුරුදු විදිහට රැස්වීම් පවත්වන්න රාජ්‍ය ශාලාවට ගියා. ඒත් එහෙ ගියාම ගේට්ටුවට ඉබ්බෙක් දාලා ඒක වහලා තිබුණා. එතන තිබුණු දැන්වීමක සඳහන් කරලා තිබුණා සිංගප්පූරුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාව තහනම් කළා කියලා. *

රාජ්‍ය ශාලාව වැහුවා කියලා අපි දෙවිට කරපු නමස්කාරය නැවතුණේ නැහැ. මම නිතරම කල්පනා කළා ‘අපේ පවුලේ අයගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද’ කියලා. අපිට සිංගප්පූරුවෙන් යන්න වුණොත් ආයිත් අපිට එන්න ලැබෙන්නේ නැහැ කියලා මම දැනගත්තා. ඉතින් මම රැකියා ස්ථානයේ කළමනාකරුගෙන් ඇහුවා මට මලයාසියාවේ රැකියාව කරන්න පුළුවන්ද කියලා. එහෙම ඇහුවේ මට එහෙ ඉඳලා කරදරයක් නැතුව මගේ පවුලේ අය එක්ක ඇවිත් මෙහෙ ඉන්න අයව බලලා යන්න පුළුවන් වෙන හින්දයි. පුදුමයකට වගේ ක්වාලාලම්පූර් කාර්යාලයේ කළමනාකරුවෙක් විදිහට වැඩ කරන්න මට අවස්ථාව දෙන්නම් කියලා එයා කිව්වා. කලින් රැකියාවට වඩා දෙගුණයක් උපයන්නත් තවත් ප්‍රතිලාභ ලබාගන්නත් ඒක හොඳ අවස්ථාවක් වුණා.

ඒත් ‘සිංගප්පූරුවේ ඉන්න මගේ සහෝදරයන්ගෙන් වෙන් වෙලා යන එක දෙවිගේ කැමැත්තට එකඟද’ කියලා මං කල්පනා කළා. අපි මේ ගැන පවුලක් විදිහට එකතු වෙලා යාච්ඤා කළා. අපිව සිංගප්පූරුවට ගෙනාවේ දෙවි නිසා අපි මෙහෙම ඉන්නවා කියලා මම තීරණය කළා. මගේ කළමනාකරු පුදුම වුණා ඇයි මම මේ වටිනා ප්‍රස්තාව ප්‍රතික්ෂේප කළේ කියලා.

තහනම යටතේ ජීවත් වෙන එක හරිම අමාරු දෙයක්. මොකද කොයි වෙලාවක හරි අපිව අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න ඉඩ තිබුණා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා ඔහුගේ දූතයා කඳවුරු බැඳ ඔවුන්ව බේරාගනියි” කියා බයිබලයේ සඳහන් වෙන වචන හුඟක් අවස්ථාවලදී අපිට ලොකු ශක්තියක් වුණා.—ගීතාවලිය 34:7, නව ලොව පරිවර්තනය.

අලුත් පැවරුමක්!

අපි අවුරුදු 46කට වඩා සිංගප්පූරුවේ සේවය කළාට පස්සේ 1993දී අපිට නවසීලන්තයේ සේවය කරන්න ආරාධනයක් ලැබුණා. එහෙ එච්චර මානසික පීඩනයක් නැතුව සේවය කරන්න ප්‍රස්තාව තිබුණත් සිංගප්පූරුවේ අපි ගොඩක් ආදරය කරපු අපේ යාළුවන්ව දාලා එන එක අපිට ලේසි වුණේ නැහැ. එහෙ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ඇදහිල්ල ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩනැඟිලා තියෙන විදිහ දැක්කම අපි දිරිගැන්වුණා. ඒ නිසා ඕනෑම පීඩාවක් හමුවේ දිගටම නොසැලී ඉන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා.—1 කොරින්ති 3:12-14.

අයිලීනුයි මායි දැන් වයසට ගිහින් හිටියත් අවුරුදු 14කට වඩා අපි නවසීලන්තයේ පූර්ණකාලීන දේවසේවකයන් විදිහට සේවය කරනවා. වයස අවුරුදු 90 සහ 94 පසු වන කැනඩාවේ ඉන්න මගේ අයියලා දෙන්නා (පීටර් සහ මයික්) තවමත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් ඉන්නවා.

අපේ දුව 1998දී ආපහු පෙරදිගට ගිහින් එහෙ අවුරුදු කීපයක් සේවය කළා. එහෙ ඉඳන් එයා එවපු ලියුමක මේ වගේ දෙයක් සඳහන් වුණා. “මෙහෙට ඇවිත් සේවය කරන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන මම නිතරම යෙහෝවා දෙවිට ස්තුති කරනවා. මාව පුංචි කාලේ ඉඳලා පුහුණු කරලා මං වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන මම ඔය දෙන්නටත් ස්තුති කරනවා. ඒ නිසා තමයි මම අද මේ වගේ තත්වෙක ඉන්නේ.” මටයි අයිලීන්ටයි උදව් කරන්න ඕන නිසා අපේ දුව 2003දී ආපහු නවසීලන්තයට ආවා. *

අස්වැන්න නෙළීමේ කාර්යයට බොහෝ සේවකයන්ව එවන්න කියලා ස්වාමියා කළ ආරාධනාවට ප්‍රතිචාරය දක්වන්න අපිටත් පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා. ඒ සේවයේ හවුල් වීමෙන් කියා නිම කළ නොහැකි සතුටක් අපි අද්දකිනවා. බයිබලයේ සඳහන් වෙලා තියෙන විදිහට මේ දුෂ්ට සමාජය විනාශ වුණත් ‘දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතිනවා’ කියා දෙවි දුන් පොරොන්දුව ඉටු වෙන ආකාරය අද්දකින්න අපිට හැකි වේවි.—1 යොහන් 2:17.

[පාදසටහන්වල]

^ 25 ඡේ. වර්ෂ 1972 ජූනි 1 මුරටැඹ කලාපයේ 341-349 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 32 ඡේ. මෙම ලිපිය සකස් කෙරෙමින් තිබියදී 2008 ජනවාරි 24වන දින අයිලීන් යාරෙම්චක් මිය ගියා.

[29වන පිටුවේ පින්තූරය]

අපි 1947 සිංගප්පූරුවට එන විට සිටි එකම සාක්ෂිකරු ජොෂුවා

[29වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1947 හොංකොංවලදී මම ඩේව් ෆාමර් සමඟ

[29වන පිටුවේ පින්තූරය]

අයිලීන් සමඟ 1958දී

[31වන පිටුවේ පින්තූරය]

අපේ දුව සමඟ

[හිමිකම් විස්තර]

Kimroy Photography

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Kimroy Photography