Skip to content

පටුනට යන්න

නිර්භීත දැරියක්

නිර්භීත දැරියක්

නිර්භීත දැරියක්

වර්ෂ 2006දී යේසුස්ගේ මරණය සිහි කිරීමට සති දෙකකට පෙර බ්‍රසීලයේ සාලස් පවුලේ සෑම සාමාජිකයෙකුම එයට ආරාධනා කරන අයගේ නම් ලයිස්තුවක් සෑදුවා. අවුරුදු හයක් වයසැති ආබිගාල්ටත් ආරාධනා පත්‍රිකාවක් දී එය දෙන්නේ කාටද කියා ඇගෙන් විමසුවා.

“මාත් එක්ක හැම තිස්සෙම හිනා වෙන එක්කෙනාට” කියා ඇය පැවසුවා.

“ඒ කවුද” කියා දෙමව්පියන් ඇගෙන් ඇසුවාම “රෝදපුටුවේ ඉන්න එක්කෙනා” කියා ඇය පිළිතුරු දුන්නා.

ඉන් දින හතරකට පසු ආබිගාල් ඇගේ දෙමව්පියන්ට ඔහුව පෙන්නුවා. ඔහුගේ නම වොල්ට. රාජ්‍ය ශාලාව කිට්ටුවමයි ඔහු ජීවත් වුණේ. මීට අවුරුදු 15කට කලින් රිය අනතුරක් නිසා ඔහුගේ ඉනෙන් පහළ පණ නැති වී තිබෙනවා. එය සිදු වෙද්දී ඔහුට වයස අවුරුදු 28යි. වොල්ට ධනවත් කෙනෙක් නිසා ඔහුට ආරක්ෂක භටයන් දෙදෙනෙක්ද සිටියා. ආබිගාල්ට ඔහු සමඟ කතා කිරීමට අවසර ලැබුණු විට ඔහුට ආරාධනා පත්‍රිකාවක් දීමට තම දියණිය කැමැත්තෙන් සිටින බව ඇගේ දෙමව්පියන් පැවසුවා.

ආබිගාල් ඔහුට ආරාධනා පත්‍රය දී මෙසේ පැවසුවා. “රාජ්‍ය ශාලාවේ ඉන්න හැමෝටම හුඟක් ආරාධනා පත්‍ර ලැබුණා. ඒත් මට ලැබුණේ එකයි. මම ඒක දෙන්නේ ඔයාට. ඔයා ආවේ නැත්නම් මම ආරාධනා කරපු එකම එක්කෙනත් නැති වෙයි. හැබැයි ඔයා ආවොත් මම හුඟක් සතුටු වෙනවා. ඊටත් වඩා යෙහෝවා දෙවි සතුටු වෙයි.”

යේසුස්ගේ මරණය සිහි කිරීමට නියමිත දවසේදී සාක්ෂිකරුවන් රාජ්‍ය ශාලාව පිරිසිදු කරමින් සිටියා. ඒ අතර ආබිගාල්ද සිටියා. ඒ අවස්ථාවේ වොල්ට එතනින් යද්දී ආබිගාල්ව දැකලා වාහනය නවත්වන්න කියා රියදුරාට පැවසුවා. වීදුරුව පහත් කර ඔයා මොනවද කරන්නේ කියා ඔහු ඇගෙන් ඇසුවා. ඔයා එන හින්ඳා අපි රාජ්‍ය ශාලාව පිරිසිදු කරනවා කියා ආබිගාල් වොල්ටට කිව්වා.

ඒ සැන්දෑවේ වොල්ට එන තෙක් ඇය ආශාවෙන් බලා සිටියා. ටික වෙලාවකින් සිහි කිරීම වෙනුවෙන් පවත්වන කතාව ඇරඹුණා. වොල්ට ඇවිත් සිටිනවාද කියා ඇය වටපිට බැලුවා. ඒත් එක්කම වොල්ට තම ආරක්ෂක භටයන් සමඟ එම ස්ථානයට පැමිණෙනවා ආබිගාල් දුටු විට ඇය සතුටින් ඉපිල ගියා. කතාව අවසන් වූ පසු ඔහු පැවසුවේ වෙනත් ගමනක් යන ගමන් අදහස වෙනස් කරගෙන ආබිගාල් වෙනුවෙන් එහි පැමිණි බවයි. පසුව ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “ඒ කතාව මට හුඟක් ප්‍රයෝජනවත්.” එදින බයිබලයක් ඉල්ලාගත් ඔහු බයිබලය පාඩම් කරන්න පටන්ගෙන රැස්වීම්වලටත් පැමිණියා.

වොල්ට නිතරම ආබිගාල් ගැන කතා කරන නිසා ඇයව දැකගන්න වොල්ටගේ නංගිත් ආශාවෙන් සිටියා. ආබිගාල්ව දුටු පසු ඇය පැවසුවේ ආබිගාල් හරිම හුරතල් දරුවෙක් කියායි. පසුව ඇය පැවසුවේ මෙයයි. “දැන් මම දන්නවා ඇයි මගේ අයියා මෙච්චර සතුටින් ඉන්නේ කියලා.”

වොල්ට දිගටම බයිබලය පාඩම් කරමින් රැස්වීම්වලටත් පැමිණෙනවා. රැස්වීම්වලදී ඔහු අදහස් දක්වන අතර ඉගෙනගන්නා දේවල් අනිත් අය සමඟ බෙදාගන්නවා. පුංචි ආබිගාල් කළ දෙයින් අපේ මතකයට නැඟෙන්නේ සැබෑ දෙවි වන යෙහෝවාව හඳුනාගන්න උපකාර කළ ඊශ්‍රායෙල් දැරියව නොවේද?—2 රාජාවලිය 5:2-14.