Skip to content

පටුනට යන්න

නෝවාගේ කාලයේදී සිදු වූ ජලගැල්ම මුළු පොළොවටම බලපෑවාද?

නෝවාගේ කාලයේදී සිදු වූ ජලගැල්ම මුළු පොළොවටම බලපෑවාද?

පාඨකයන් අසයි

නෝවාගේ කාලයේදී සිදු වූ ජලගැල්ම මුළු පොළොවටම බලපෑවාද?

මීට වසර 4,000කට පෙර ජීවත් වූ නෝවාගේ කාලයේදී විශාල ජලගැල්මක් සිදු වුණා. නමුත් එය ඇසින් දුටු කිසිම මිනිසෙක් අද ජීවතුන් අතර නැහැ. කොහොමවුණත් එම ජලගැල්ම ගැන සඳහන් වන පැරණි වාර්තාවක පෙන්නුම් කරන්නේ එවකට තිබූ උසම කන්ද පවා එම ජලගැල්මෙන් යට වූ බවයි.

එම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. ‘මහ වර්ෂාව දවස් හතළිහක් නොකඩවා පොළොව මතට ඇද හැළුණේය. පොළොව සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ගියේය. අහස යට තිබූ සියලු උස් කඳු පවා යට විය. කඳු මුදුන්වලට ඉහළින් රියන් පහළොවක් දක්වා [අඩි 22ක් පමණ] ජලය ඉහළ නැග්ගේය.’—උත්පත්ති 7:17-20, නව ලොව පරිවර්තනය, NW.

ඇත්තටම මුළු පොළොවම ජලගැල්මකින් යට වී ගියාද කියා සමහරු සිතන්න පුළුවන්. නමුත් එය සිදු වූ බවට සාක්ෂි තිබෙනවා. උදාහරණයකට අදටත් පෘථිවියෙන් සියයට 71ක් පමණ මුහුදු ජලයෙන් යට වී තිබෙන්නේ එම ජලගැල්මේ ප්‍රතිඵලයක් ලෙසයි. එමෙන්ම හිම කඳු සහ ග්ලැසියර දිය වුණොත් නිව්යෝර්ක් සහ ටෝකියෝ වැනි විශාල නගර පවා යට වන තරමටම මුහුදු මට්ටම ඉහළ යා හැකියි.

එක්සත් ජනපදයේ වයඹදිග ප්‍රදේශය අධ්‍යයනය කරන භූ විද්‍යාඥයන් පවසන්නේ අතීතයේදී මෙම ප්‍රදේශයේ ජලගැලීම් 100ක් පමණ සිදු වී ඇති බවයි. ඉන් එක් ජලගැල්මකදී පැයට කිලෝමීටර් 105ක වේගයෙන් පැමිණි ජලය මීටර් 600ක් දක්වා ඉහළ නැග්ග බවත්, එය ඝන කිලෝමීටර් 2,000ක භූමි ප්‍රදේශයක් යට කර දැමූ බවත්, ජලයේ ස්කන්ධය ටොන් ට්‍රිලියන දෙකකට වඩා වැඩි බවත් ඔවුන් පවසනවා. ඒ හා සමාන සොයාගැනීම් නිසා මුළු ලෝකයටම බලපෑ ජලගැල්මක් සිදු වෙන්න ඇති බව වෙනත් විද්‍යාඥයන්ද පිළිගන්නවා.

නමුත් බයිබලය දෙවිගේ වචනය බව විශ්වාස කරන අය එම ජලගැල්ම ස්ථිර වශයෙන්ම සිදු වූ බවට විශ්වාස කරනවා. එක අවස්ථාවකදී යේසුස් දෙවිට මෙසේ පැවසුවා. ‘ඔබේ වචනය සත්‍යතාවයයි.’ (යොහන් 17:17) තවත් අවස්ථාවක “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” දෙවිගේ කැමැත්ත බව බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවා. (1 තිමෝති 2:3, 4) බයිබලයේ සඳහන් වෙන්නේ අසත්‍යය තොරතුරු නම් දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් යේසුස්ගේ අනුගාමිකයන්ට පාවුල් ඉගැන්නුවේ කෙසේද?

එම ජලගැල්ම මුළු ලොවටම බලපෑ බව යේසුස් පවා විශ්වාස කළා. එමනිසයි යේසුස් තමන් රජු ලෙස පෙනී සිටින කාලයත් මේ දුෂ්ට සමාජයේ අවසානයත් නෝවාගේ කාලයේ සිදු වූ දේවලට සමාන කළේ. (මතෙව් 24:37-39) බයිබල් ලේඛකයෙකු වූ පේතෘස් පවා නෝවාගේ කාලයේදී සිදු වූ ජලගැල්ම ගැන මෙසේ සඳහන් කළා. ‘එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වී’ ගියා.—2 පේතෘස් 3:6.

නෝවාගේ කාලයේදී සිදු වූ ජලගැල්ම බොරුවක් නම් එය පදනම් කරගෙන යේසුස් හා පේතෘස් කළ අනතුරු ඇඟවීම් කිසිම තේරුමක් නැති දෙයක් බවට පත් වෙනවා. එයින් සිදු වන්නේ අවසාන කාලයේ ජීවත් වන අයට ඉදිරියේදී පැමිණෙන භයානක විනාශයෙන් බේරෙන්න තිබෙන අවස්ථාව ගිලිහී යෑමයි.—2 පේතෘස් 3:1-7.

දෙවි තම සෙනඟට දිගටම දයාව පෙන්වන බවට මෙසේ පොරොන්දු වුණා. ‘නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම හා සමාන සිද්ධියක් තවත් සිදු නොවන බවට මා පොරොන්දු වූවාක් මෙන් ඔබ හා නැවත කෝප වී ඔබට දඬුවම් නොකරන බවට පොරොන්දු වෙමි.’ නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් මුළු පොළොවම යට වූ බව ස්ථිරයි. ඒ හා සමානව තමා කෙරෙහි විශ්වාසය තබන අයට දෙවි කරුණාව දක්වන බවත් ස්ථිරයි.—යෙසායා 54:9NW.