Skip to content

පටුනට යන්න

නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට හේතුව කුමක්ද?

නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට හේතුව කුමක්ද?

නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට හේතුව කුමක්ද?

වැදගත් පණිවුඩයක් අහන්න ලැබුණු අවස්ථාවක් ඔබට මතකද? සමහරවිට ඒ අවස්ථාවේදී සිදු වූ සෑම දෙයක්ම ඔබට මතක ඇති. ඒ හා සමානව නෝවාටත් මුළු විශ්වයේම පාලකයා වන යෙහෝවා දෙවිගෙන් විශේෂ පණිවුඩයක් ලැබුණා. දෙවි ඔහුට පැවසුවේ ‘පොළොවේ සියල්ලන්ව’ විනාශ කිරීමට තමා තීරණය කර තිබෙන බවයි. එමනිසා නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් සෑම වර්ගයකම සතුන්ටත් බේරීම සඳහා විශාල නැවක් සාදන්න කියා දෙවි ඔහුට පැවසුවා.—උත්පත්ති 6:9-21, නව ලොව පරිවර්තනය, NW.

නෝවා ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එම පණිවුඩය ගැන නෝවාට හැඟුණු ආකාරයවත් තමන්ගේ බිරිඳට හා දරුවන්ට එම පණිවුඩය ඔහු පැවසුවේ කෙසේද කියාවත් බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් එහි සඳහන් වෙන්නේ “දෙවි තමාට අණ කළ සියල්ල නෝවා කළේය. ඔහුට අණ කළ ලෙසම ඔහු කළේය” කියායි.—උත්පත්ති 6:22NW.

එම බයිබල් පදයේ පෙන්නුම් කරන ආකාරයට නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට ප්‍රධාන හේතුව වූයේ ඔහු දෙවි පැවසූ ආකාරයටම දේවල් කිරීමයි. (උත්පත්ති 6:8) නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට දායක වූ තවත් හේතු තිබෙනවාද? එයට පිළිතුර දැනගැනීම ඉතා වැදගත්. හේතුව දෙවි මේ පොළොවෙන් දුෂ්ටකම ඉවත් කරද්දී බේරී ජීවත් වීමට නම් අපත් නෝවා මෙන් ක්‍රියා කළ යුතු නිසයි. නමුත් ජලගැල්මට පෙර නෝවාට මොන වගේ තත්වයන්වලට මුහුණ දෙන්න සිදු වුණාද කියා අපි මුලින්ම සලකා බලමු.

භූතයන් පොළොවට පැමිණෙයි

නෝවා ඉපදුණේ මුල්ම මිනිසාව නිර්මාණය කිරීමෙන් වසර 1,000කට පමණ පසුවයි. බොහෝදෙනා සිතන ආකාරයට ඒ කාලයේ සිටි මිනිසුන් නොදියුණු අය නොවෙයි. ඔවුන් සතුව යකඩ හා තඹවලින් සෑදූ උපකරණ තිබුණා. නැව සෑදීමට නෝවා එම උපකරණ භාවිත කරන්න ඇති. ඔවුන් සතුව සංගීත භාණ්ඩත් තිබුණා. ඒ කාලයේ සිටි මිනිසුන් විවාහ වී දරුවන් ඇති දැඩි කරමින් වගා කටයුතුවල යෙදෙමින් සත්ව රැළවල් බලාගනිමින් සිටියා. එමෙන්ම වෙළඳාම් කටයුතුවලත් නිරත වුණා. ඒ අතින් බලද්දී එදා මිනිසුන් ගත කළේ අද අපි ගත කරනවා හා සමාන ජීවිතයක්.—උත්පත්ති 4:20-22; ලූක් 17:26-28.

නමුත් අදට වඩා විශාල වෙනස්කම්ද එදා දක්නට ලැබුණා. ඉන් එකක් නම් අපේ ආයු කාලයට වඩා ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ වීමයි. ඒ කාලයේ මිනිසුන් අවුරුදු 800කට වඩා වැඩි කාලයක් ජීවත් වීම සාමාන්‍ය දෙයක් වුණා. ආදම් අවුරුදු 930ක්ද, නෝවාගේ සීයා වූ මෙතුසෙලා අවුරුදු 969ක්ද, නෝවා අවුරුදු 950ක්ද ජීවත් වුණා. *උත්පත්ති 5:5, 27; 9:29.

තවත් වෙනස්කමක් ගැන උත්පත්ති 6:1, 2හි [NW] මෙසේ විස්තර කර තිබෙනවා. “පොළොවේ සිටි මිනිස්සු ගණනින් වැඩි වෙන්න පටන්ගත්තෝය. ඔවුන්ට දූවරුද උපන්නෝය. එවිට සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ඉතා ලස්සන බව දුටූහ. ඔවුහු සිතූ මනාපයට ස්ත්‍රීන්ව තෝරාගෙන ඔවුන්ව විවාහ කරගත්හ.” මෙහි “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” ලෙස හඳුන්වන්නේ දේවදූතයන්වයි. ඔවුන් මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණියේ දෙවිගේ මඟ පෙන්වීම ඇතුවවත් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහවත් නොවෙයි. ඒ වෙනුවට ඔවුන් ස්වර්ගයේ ‘තමන්ගේ නියම වාසස්ථානය අත්හැර’ පොළොවට පැමිණියේ සුරූපි කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සඳහායි. මේ හේතුව නිසා ඔවුන් භූතයන් බවට පත් වුණා.—යූද් 6.

කැරලිකාර, දූෂිත බලපෑම් කරන, අධිමානුෂික බලයක් ඇති, බුද්ධියෙන් පරිණත වූ මෙම භූතයන් මිනිසුන්ට කළේ යහපතක් නම් නොවෙයි. ඔවුන් මිනිසුන්ව පාලනය කළා කියා සිතිය හැකියි. සාමාන්‍යයෙන් අපරාධකරුවන් තමන් කවුද කියා හෙළි නොකර රහසින් අපරාධ කළත් මොවුන් එළිපිටම ලැජ්ජාසහගත දේවල් කරමින් දෙවිගේ සැලැස්මට එරෙහිව කැරලි ගැසුවා.

මොවුන් කාන්තාවන් සමඟ සම්බන්ධකම් ඇති කරගත් නිසා බිහි වූ දරුවන් අසාමාන්‍ය ශක්තියක් ඇති යෝධයන් වුණා. ඔවුන්ව හැඳින්වූයේ “නෙෆිලිම්වරු” ලෙසයි. “නෙෆිලිම්” යන නමේ අර්ථය බිමට ඇද වැටෙන සේ අන් අයට පහරදෙන්නන් යන්නයි. ඔවුන් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඒ දවස්වලත් ඉන්පසුවත් නෙෆිලිම්වරු පොළොවෙහි සිටියෝය. සැබෑ දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍ය දූවරුන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූහ. ඒ මනුෂ්‍ය දූවරුන්ට පුත්‍රයෝ බිහි වුණෝය. ඔවුහු පුරාණයේ විසූ බලවන්ත කීර්තිමත් මිනිස්සු වූහ.” (උත්පත්ති 6:4NW) මේ යෝධයන්ව දැකීමෙන් පවා මිනිසුන් බියට පත් වුණා. ඔවුන්ගේ දරුණු ක්‍රියා කලාපය අලළා බොහෝ ප්‍රබන්ධ කථා පවා ගෙතී තිබෙනවා.

ධර්මිෂ්ඨයන්ගේ වේදනාව

එදා සිටි මිනිසුන් දූෂිත අය වූ බව බයිබලයේ පැහැදිලි කරනවා. ‘මිනිසුන්ගේ දුෂ්ටකම සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිතේ කල්පනාව නිතරම යොමු වී තිබුණේ නපුරට බවත් යෙහෝවා දෙවි දුටුවේය. පොළොව ප්‍රචණ්ඩත්වයෙන්ද පිරී තිබුණේය. පොළොවේ සිටි සියල්ලෝ දුෂ්ට ලෙස කටයුතු කළෝය.’—උත්පත්ති 6:5, 11, 12NW.

නමුත් එදා සිටි අයට වඩා වෙනස්ව “නෝවා ධර්මිෂ්ඨ මිනිසෙකු” වූ අතර ‘සැබෑ දෙවි සමඟ ගමන් කළා.’ (උත්පත්ති 6:9NW) එවැනි අධර්මිෂ්ඨ සමාජයක් තුළ ධර්මිෂ්ඨ කෙනෙක්ට ජීවත් වීම පහසු නැහැ. මිනිසුන් කළ කී දේවලින් නෝවා කොතරම් වේදනාවක් විඳින්න ඇද්ද! ජලගැල්මට පසුව ජීවත් වූ තවත් ධර්මිෂ්ඨ කෙනෙක් වූ ලොත්ට හැඟුණු ආකාරයටම නෝවාටත් හැඟෙන්න ඇති. සොදොම්හි දුෂ්ට සෙනඟ අතරේ ජීවත් වූ ලොත් ‘නීතිය නොතැකූ සෙනඟගේ නින්දිත හැසිරීම ගැන බොහෝ සෙයින් කම්පිත වූ අතර ධර්මිෂ්ඨ ලොත් දිනපතා ඔවුන් අතරෙහි වාසය කරද්දී, දේවල් දැකීමෙන්ද ඇසීමෙන්ද, ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා නිසා වේදනාවෙන් පෙළුණා.’ (2 පේතෘස් 2:7, 8) නෝවාටත් එලෙසම හැඟුණු බවට කිසිම සැකයක් නැහැ.

දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් ගැන අසන්න ලැබීමෙන් ඔබත් කලකිරීමට පත් වන්නේ නැද්ද? එසේනම් එදා නෝවාට හැඟුණු ආකාරය ඔබට තේරුම්ගත හැකියි. ජලගැල්ම පැමිණි විට නෝවාට වයස අවුරුදු 600යි. එතරම් කාලයක් පුරා අධර්මිෂ්ඨකම් විඳදරාගන්න සිදුවීම කොතරම් අසීරු කාර්යයක් වෙන්න ඇද්ද? සහනයක් ලැබෙන තුරු ඔහු බලා සිටින්න ඇති!—උත්පත්ති 7:6.

නෝවා නිර්භීත මිනිසෙක්

නෝවා ‘ඔහුගේ කාලයේ සිටි අය අතරෙහි නිදොස්ව කටයුතු කළා.’ (උත්පත්ති 6:9NW) එයින් අදහස් වෙන්නේ නෝවා එදා සිටි මිනිසුන්ට වඩා වෙනස්ව දෙවි ඉදිරියේ නිදොස්ව කටයුතු කළ බවයි. නෝවා ජනප්‍රිය මත දැරුවේවත් නුසුදුසු විනෝදාංශවලට හා සමාජ කටයුතුවලට හවුල් වුණේවත් නැහැ. ඒ නිසා එදා සිටි මිනිසුන් ඔහුව සැලකුවේ අමුතු කෙනෙක් ලෙසයි. ඔහු නැව සාදන්න පටන්ගත් විට මිනිසුන් ඔහුට අපහාස කරමින් සිනාසෙන්න ඇති. ඔවුන් නෝවා පැවසූ දේට අවධානය දුන්නේ නැහැ.

නෝවා තමන් විශ්වාස කළ දේ ගැන අන් අයට පැවසීමට පසුබට වුණේ නැහැ. බයිබලයේ පවසන්නේ ඔහු “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙක්” කියායි. (2 පේතෘස් 2:5) නෝවා අනිවාර්යයෙන්ම විරුද්ධවාදිකම් බලාපොරොත්තු වෙන්න ඇති. ඊට හේතුව ඔහුගේ මුත්තා වූ ධර්මිෂ්ඨ ඒනොක් පවා දෙවි දුෂ්ටයන්ට දඬුවම් කරන බවට අනාවැකි පළ කරද්දී මිනිසුන්ගේ විරුද්ධවාදිකම්වලට ලක් වුණා. නමුත් ඔහුගේ ජීවිතය නැති කර දැමීමට දෙවි කිසිවෙකුට ඉඩ දුන්නේ නැහැ. (උත්පත්ති 5:18, 21-24; හෙබ්‍රෙව් 11:5; 12:1; යූද් 14, 15) සාතන් නමැති යක්ෂයා, භූතයන්, නෙෆිලිම්වරුන් හා විරුද්ධවාදිකම් පෑ මිනිසුන්ගේ බලපෑම් හමුවේ ස්ථිරව සිටීමට නෝවාට නිර්භීතකම අවශ්‍ය වුණා. එමෙන්ම තමන්ව ආරක්ෂා කිරීමට දෙවිට හැකි බව විශ්වාස කිරීමත් අවශ්‍ය වුණා.

දෙවිට සේවය කරන අයට එසේ නොකරන අයගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. යේසුස්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට පවා මිනිසුන් වෛර කළා. (මතෙව් 10:22; යොහන් 15:18) බහුතරයක් දෙවිට සේවය නොකරද්දී දෙවිට සේවය කිරීමට නෝවාට නිර්භීතකම තිබුණා. මිනිසුන්ගේ අනුමැතියට වඩා නෝවාට වැදගත් වුණේ දෙවිගේ අනුමැතිය ලැබීමයි. ඇත්තෙන්ම ඔහුට දෙවිගේ අනුමැතිය ලැබුණා.

නෝවා අවධානය දුන්නා

නෝවා නිර්භීත ලෙස දේශනා කළත් එදා සිටි මිනිසුන් ප්‍රතිචාරය දැක්වුවේ කෙසේද? ජලගැල්මට පෙර මිනිසුන් “කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර” සිටි බව බයිබලයේ පවසනවා. ඔවුන් නෝවාගේ අනතුරු ඇඟවීම කිසිම ගානකට ගත්තේ නැහැ.—මතෙව් 24:38, 39.

අපේ කාලයේදීත් ඒ දේම වෙයි කියා යේසුස් පැවසුවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මීට වසර සියයකට පෙර සිටම අනතුරු ඇඟවීමක් කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ දෙවි ධර්මිෂ්ඨ අයට පාරාදීස පොළොවක ජීවිතය ලබා දීමටත් දුෂ්ටයන්ව විනාශ කිරීමටත් පියවර ගන්නා බවයි. දස දහස්ගණනක් එයට හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇතත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ ගැන කිසි තැකීමක් කර නැහැ. ජලගැල්ම සහ ඉන් ගත හැකි පාඩම ඔවුන් ‘ඕනෑකමින්ම අමතක කරනවා.’—2 පේතෘස් 3:5, 13.

කෙසේනමුත් දෙවි දුන් අනතුරු ඇඟවීම නෝවා අමතක කළේ නැහැ. ඔහු යෙහෝවා දෙවි පැවසූ දේ විශ්වාස කර කීකරු වූ නිසා ගැලවීම ලැබුවා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දිව්‍යමය අනතුරු ඇඟවීමක් ලැබ, දේවභය පෙන්වමින්, තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.”—හෙබ්‍රෙව් 11:7.

කදිම ආදර්ශයක්

නෝවා සෑදූ අතිදැවැන්ත නැව පාපන්දු පිටියකට වඩා දිග එකක් වූ අතර තට්ටු තුනක ගොඩනැඟිල්ලක් තරම් උසයි. එය ලීවලින් නිර්මාණය කර තිබෙන දිගම රුවල් නැවට වඩා අඩි 100ක් දිගයි. නෝවාගේ නැව සාදා තිබුණේ වෙනත් නැව් මෙන් වතුරේ ගමන් කිරීමට නොව නමුත් පාවීමට හැකි ආකාරයෙනුයි. ඒ වුණත් එය සෑදීමට දක්ෂ ශිල්ප ක්‍රම යොදාගත යුතු වුණා. එහි ඇතුළත සහ පිටත තාර ගෑ යුතු වූ අතර එය සාදා නිම කිරීමට වසර 50කට වඩා වැඩි කාලයක් ගත වෙන්න ඇති.—උත්පත්ති 6:14-16.

නමුත් කළ යුතු තවත් දේවල් තිබුණා. තම පවුලේ අයටත් සතුන්ටත් අවුරුද්දකට සරිලන ආහාර රැස් කරගැනීමට නෝවාට සිදු වුණා. ජලගැල්ම පැමිණීමට කලින් සියලුම සතුන්ව නැව තුළට ගන්නත් සිදු වුණා. මේ ආකාරයෙන් ‘නෝවා, යෙහෝවා දෙවි තමාට අණ කළ සියල්ල කළා.’ සියල්ල සූදානම් කළ පසු යෙහෝවා දෙවි නැවේ දොර වසද්දී නෝවාට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!—උත්පත්ති 6:19-21; 7:5, 16.

ඉන්පසුව දින 40ක් පුරා දිවා රෑ දෙකේම වර්ෂාව ඇදහැළුණ නිසා මුළු පොළොවම වතුරෙන් යට වුණා. වතුර බැස යන තුරු නැවේ සිටි සියල්ලන්ට අවුරුද්දක් යන තුරු නැවටම වී සිටින්න සිදු වුණා. (උත්පත්ති 7:11, 12; 8:13-16) සියලුම දුෂ්ට මිනිසුන් විනාශ වී ගියා. නෝවා සහ ඔහුගේ පවුලේ අය පමණයි දුෂ්ටකමින් තොර පොළොවේ ඉතුරු වුණේ.

බයිබලයේ පවසන්නේ නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්ම “පැමිණෙන්නට තිබෙන දේවල් පිළිබඳ පාඩමක්” සපයන බවයි. ඒ පාඩම කුමක්ද? ‘දැන් තිබෙන අහසත් පොළොවත්, ගින්නෙන් දවාලීම සඳහාත් විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස සඳහාත් තබා තිබෙන’ බවත් එහි පවසනවා. නමුත් නෝවා ඇතුළු ඔහුගේ පවුලේ අය ගැලවුණා හා සමානව මේ විනාශයෙන්ද ගැලවෙන පිරිසක් සිටිනවා. ‘දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නා’ බවට බයිබලයේ සපයා ඇති පොරොන්දුව ගැන නිසැක වෙන්න අපිට හැකියි.—2 පේතෘස් 2:5, 6, 9; 3:7.

දෙවිට ළැදි නෝවා අධර්මිෂ්ඨයන් අතරේ ධර්මිෂ්ඨව ජීවත් වුණා. ඔහු සෑම අතින්ම දෙවිට කීකරු වුණා. දෙවිට සේවය නොකරන අයගෙන් තමන්ට නින්දා අපහාස විඳින්න සිදු වන බව නෝවා දැන සිටියත් ඔහු නිර්භීතව හරි දේ කළා. අපිත් නෝවාව අනුකරණය කරනවා නම් අපිට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගෙන පැමිණෙන විනාශයෙන් බේරී අනාගත පාරාදීස පොළොවේ ජීවත් වෙන්න හැකි වෙයි.—ගීතාවලිය 37:9, 10.

[පාදසටහන]

^ 7 ඡේ. වර්ෂ 2007 ජූලි පිබිදෙව්! කලාපයේ 30වන පිටුවේ ඇති “ඔවුන්ගේ ආයු කාලය එතරම් දිගුද?” යන ලිපිය බලන්න.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

නෙෆිලිම්වරුන්ගේ දරුණු ක්‍රියාකලාපය අලළා බොහෝ ප්‍රබන්ධ කථා ගෙතී තිබෙනවා

[7වන පිටුවේ පින්තූරය]

නෝවාගේ ඇදහිල්ල අනුකරණය කිරීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගන්න අපටත් හැකියි

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Alinari/​Art Resource, NY