Skip to content

පටුනට යන්න

නෝවා සහ ජලගැල්ම සැබෑවක්ද?

නෝවා සහ ජලගැල්ම සැබෑවක්ද?

නෝවා සහ ජලගැල්ම සැබෑවක්ද?

යුද්ධ, අපරාධ, කුරිරුකම් නැති සාමකාමී ලොවක් ඇති වෙනවාට ඔබ කැමතිද? එසේනම් නෝවා පිළිබඳ ඓතිහාසික වාර්තාව කියවීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. නෝවා ඉතා යහපත් පුද්ගලයෙක්. දෙවි ඔහුට කී ලෙස නෝවා නැවක් සෑදුවා. ඒ නිසා දුෂ්ට මිනිසුන් ජලගැල්මෙන් විනාශ වී යද්දී ඔහුත් ඔහුගේ පවුලේ අයත් බේරුණා.

නෝවා සම්බන්ධ වාර්තාව බයිබලයේ උත්පත්ති හයවන පරිච්ඡේදයේ සිට නවවන පරිච්ඡේදය දක්වා සඳහන් වෙනවා. එම වාර්තාව කුරානයේද සඳහන් වන අතර ලොව පුරා ජනයා අතරේද ප්‍රචලිතයි. එවැනි ජලගැල්මක් ඇත්තෙන්ම සිදු වුණාද? නැත්නම් එය මිනිසුන්ව යහමඟ යැවීම සඳහා ගෙතූ කතාවක්ද? එම විෂය ගැන විද්‍යාඥයන් හා ආගම් ගැන හදාරන අය සියවස් ගණනාවක් පුරා වාද කර තිබෙනවා. එහෙත් ශුද්ධ බයිබලයේ එය සැබෑ වාර්තාවක් බව පැහැදිලිව දක්වා තිබෙනවා. අපි දැන් ඊට හේතු සලකා බලමු.

ජලගැල්ම සිදු වූ අවුරුද්ද, මාසය හා දිනය බයිබලයේ නිවැරදිව වාර්තා වී තිබෙනවා. එමෙන්ම නැව නතරවූ ස්ථානය, දිනය මෙන්ම වතුර සිඳී ගිය දිනයත් එහි සඳහන් වෙනවා. නැවෙහි දිග පළල ඇතුළු සියලුම මිමි සහ එය සෑදීමට භාවිත කළ අමුද්‍රව්‍ය ගැනත් එහි සඳහන් කර තිබෙනවා. නමුත් ප්‍රබන්ධ කථාවල එලෙස නිවැරදි තොරතුරු සපයා තිබෙනවාද?

බයිබලයේ සඳහන් පෙළපත් වාර්තා දෙකක නෝවා සැබෑ පුද්ගලයෙකු බවට සාක්ෂි සපයනවා. (1 ලේකම් 1:4; ලූක් 3:36) එම පෙළපත් වාර්තා සකස් කළ එස්රා හා ලූක් යන දෙදෙනාම එසේ කළේ ගවේෂණය කිරීමෙන් පසුවයි. යේසුස් සිට නෝවා දක්වා වූ පෙළපත ලූක් සඳහන් කර තිබෙනවා.

යෙසායා සහ එසකියෙල් යන අනාගතවක්තෘවරුන්ද පළමු සියවසේ සිටි පාවුල් හා පේතෘස්ද නෝවා ගැනත් ජලගැල්ම ගැනත් සඳහන් කළා.—යෙසායා 54:9; එසකියෙල් 14:14, 20; හෙබ්‍රෙව් 11:7; 1 පේතෘස් 3:19, 20; 2 පේතෘස් 2:5.

යේසුස් ජලගැල්මට යොමු දක්වමින් මෙසේ පැවසුවා. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම, මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීද වන්නේය. නෝවා නැවට ඇතුල් වූ ඒ දවස දක්වා, ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් විවාහ කර දෙමින් සිටියහ. එවිට ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්ව විනාශ කළේය.” (ලූක් 17:26, 27) ජලගැල්ම සිදු නොවුණා නම් “මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්” සම්බන්ධයෙන් යේසුස් කළ ප්‍රකාශයත් බොරුවක් වෙනවා.

බයිබලයේ පවසන දේ පිළිගන්නේ නැති ‘සමච්චල් කරන්නන්’ අනාගතයේදී සිටින්න යන බව පේතෘස් පැවසුවා. ඔවුන් ‘තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින් එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වූ බව ඕනෑකමින්ම අමතක කරනු ඇත.’ ඉන්පසු පේතෘස් මෙසේද පැවසුවා. “දැන් තිබෙන අහසත් පොළොවත්, ගින්නෙන් දවාලීම සඳහාත් විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස සඳහාත් තබා තිබේ.”—2 පේතෘස් 3:3-7.

නෝවාගේ කාලයේදී මෙන්ම ඉදිරියේදීත් දෙවි නැවතත් දුෂ්ට මිනිසුන්ව විනාශ කරන අතර ඉන් බේරී ජීවත් වන සෙනඟක්ද සිටිනවා. අපත් නෝවාගේ ආදර්ශය අනුකරණය කළොත් අනාගතයේදී සාමකාමී වාතාවරණයක් යටතේ සතුටින් සිටීමට හැකි වෙයි.