Skip to content

පටුනට යන්න

“මම අද රෑට ගිනි මැලය ළඟ ඉඳගෙන මේක කියවන්නම්”

“මම අද රෑට ගිනි මැලය ළඟ ඉඳගෙන මේක කියවන්නම්”

ඕස්ට්‍රේලියාවෙන් ලිපියක්

“මම අද රෑට ගිනි මැලය ළඟ ඉඳගෙන මේක කියවන්නම්”

ඕස්ට්‍රේලියාවේ නාගරික ප්‍රදේශවලින් බැහැර පිටිසර පළාතක් ගැන කියද්දී එතරම් සෙනඟ නැති පාළු කාන්තාර ප්‍රදේශයක් මනසට නැඟෙන්න පුළුවන්. නමුත් මේ පිටිසර පළාත්වල මිනිසුන් 1,80,000ක් පමණ සිටින අතර එය ඕස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් සියයට එකක පමණ ප්‍රතිශතයක්.

මගේ දෙමව්පියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා මගේ ළමා කාලයේදී ඔවුන් දේවසේවය සඳහා මාවත් ඒ පිටිසර පළාතකට එක්කගෙන ගියා. එය ඉතා විශාල ප්‍රදේශයක්. එහි එතරම් ගස්වැල් නොතිබුණත් ඊටම ආවේණික වූ අලංකාරයක් දක්නට ලැබුණා. ඒ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් ඉතා ශක්තිසම්පන්න මෙන්ම ගුණයහපත් අයයි. දැන් මට ඕනේ මගේ බිරිඳවත්, පුතාවත් (අවුරුදු 12යි), දුවවත් (අවුරුදු 10යි) ඒ පළාතටම එක්කගෙන ගිහින් මම ලබපු අද්දැකීමම ලබන්න ඔවුන්ටත් අවස්ථාව දෙන්න.

ගමනට සූදානම් වෙමින්

මේ ගමනට කොච්චර මුදලක් යයිද කියලා අපි ගණන් බැලුවා. ඒ වගේම අපි කොයි තරම් දුරක් යනවද, කොච්චර දවසක් එහේ ඉන්නවද කියලත් සාකච්ඡා කළා. අපිත් එක්ක මේ ගමනට හවුල් වෙන්න අපේ සභාවෙම සේවය කරන තවත් විවාහක යුවළකුත්, පූර්ණකාලීනව දේවසේවයේ යෙදෙන සහෝදරියන් දෙන්නෙකුත් කැමති වුණා. අපි හිතුවා පාසැල් නිවාඩු කාලේ මේ ගමන යන්න. අපිට ඒ පළාතේ දේශනා සේවයේ යන්න බලප්‍රදේශයක් දෙන්න පුළුවන්ද අහලා අපි සිඩ්නිවල තිබුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියුමක් යැව්වා. ඒ නිසා අපි හිටපු බ්‍රිස්බන් නගරයේ ඉඳන් කිලෝමීටර 400ක් විතර ඈතින් තිබුණු පිටිසර නගරයක් වන ගූන්ඩිවින්ඩිවල සේවය කරන්න කියලා අපිට කිව්වා.

ගූන්ඩිවින්ඩිවල සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක් තියෙනවා කියලා දැනගත්තම අපි හුඟක් සතුටු වුණා. ඒ වගේම එහේ ඉන්න සාක්ෂිකරුවන්ව මුණගැහෙන්න ලැබෙන එකත් ආශීර්වාදයක් කියලයි අපිට හිතුණේ. අපි එහේ එන බව ඒ සහෝදරයන්ට දැනුම් දීපු වෙලේ ඒ අය දක්වපු ප්‍රතිචාරයෙන් අපිට තේරුණා අපි එනතෙක් ඔවුන් ඉතා ආශාවෙන් බලාගෙන ඉන්නවා කියලා.

ඒ පළාතේ ඉන්න මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද කියලා යන්න කලින් අපි එකතු වෙලා සාකච්ඡා කළා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ සංස්කෘතියටත්, ආදිවාසීන්ගේ සිරිත් විරිත්වලටත් ගරු කරන්න අපිට ඕනෙ වුණා. උදාහරණයකට එහේ හිටපු සමහර ගෝත්‍රිකයන් හිතුවේ අවසරයක් නැතුව ඔවුන්ගේ ප්‍රදේශයට ඇතුල් වීම අශීලාචාර දෙයක් කියලයි.

ගමන ඇරඹෙයි

අපි අවශ්‍ය බඩුත් වාහනවල පටවගෙන ගමන යන්න පටන්ගත්තා. මඟ දිගේ කෙත් යායවල් දකින්න ලැබුණත් ගූන්ඩිවින්ඩිවලට ළං වෙද්දී දකින්න ලැබුණේ යුකැලිප්ටස් ගස් විතරයි. අහසේ එක වලාකුළක්වත් පෙනෙන්න තිබුණේ නැහැ. වැඩි වෙලාවක් යන්න කලින් අපි හැමෝටම හිරු රශ්මිය තදින්ම දැනුණා. ඔය විදිහට පැය ගානකට පස්සේ අපි ගූන්ඩිවින්ඩිවලට ආවා. එදා රෑ අපි නතර වුණේ කුලියට ගත්තු තැනකයි.

ඊළඟ දවසේ (ඉරිදා) දේශනා සේවයටම කියාපු කාලගුණයක් තිබුණා. තදින් පායන දවස්වල මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ටත් වඩා වැඩි වෙනවා. අපි හිටපු තැන ඉඳන් කි.මී. 30ක් විතර දුරින් පිහිටි ආදිවාසීන් සිටි ප්‍රදේශයකට අපි ගියා. අපි මුලින්ම ගියේ ගම්මුලාදෑනියෙක් වුණු ජෙනී නම් වයසක ස්ත්‍රියගේ නිවසටයි. අපේ පණිවිඩයට ඇය හරිම උනන්දුවෙන් සවන් දුන්නා. අපි ළඟ තිබුණු උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු * යන පොතත් ඇය ඉතාමත් ආශාවෙන් ලබාගත් අතර ප්‍රදේශයේ සිටි අන් අයටත් අපේ පණිවිඩය කියන්න අවසර දුන්නා.

ඒ ප්‍රදේශයේ හිටපු දරුවන් අපි ගැන අනිත් අයට ගිහින් කියන්න පටන්ගත්තා. අපිට මුණගැහුණු හැම කෙනෙක්ම අපේ පණිවිඩයට ගෞරවයෙන් සවන් දීලා අපි ළඟ තිබුණු බයිබල් ප්‍රකාශනත් ලබාගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් අපි ළඟ තිබුණු බයිබල් ප්‍රකාශන ඉවර වුණා. එදා හවස සභාවේ රැස්වීමට සහභාගි වෙන්න තිබුණු නිසා අපි නැවතත් නගරයට ගියා. කොහොමවුණත් එහෙන් පිට වෙන්න කලින් අපිට කතා කරන්න අවස්ථාවක් නොලැබුණු අයගේ ගෙවල්වලට නැවත වතාවක එන්නම් කියා අපි පොරොන්දු වුණා.

රාජ්‍ය ශාලාවට ඇවිත් හිටපු අයව දැන හඳුනා ගන්න ලැබීමෙන් අපි ලොකු ප්‍රීතියක් අද්දැක්කා. එහේ හිටපු සාක්ෂිකරුවන් 25දෙනා වර්ග කිලෝමීටර් 30,000ක් විශාල භූමි ප්‍රදේශයක විසිරී සිටින මිනිසුන් 11,000ට පමණ රාජ්‍යයේ පණිවිඩය දේශනා කිරීමට ලොකු වෙහෙසක් දරනවා. “මෙහේ ඇවිත් අපිට උදව් කරන්න ඕගොල්ලන් දරපු වෙහෙසට බොහොම ස්තුතියි” කියා එක සාක්ෂිකරුවෙක් අපට පැවසුවා. රැස්වීම අවසන් වුණාම ඔවුන් අපට සංග්‍රහයක් කළා.

“ගිනි මැලය අසල”

ඊළඟ දවස් දෙකේ අපි ගියේ ක්වීන්ස්ලන්තය හා නිව් සවුත් වේල්ස් අතර දේශ සීමාවේ තිබුණු ගෙවල්වලටයි. ඒ ප්‍රදේශයේ ඉතා වියළි කාලගුණයක් තිබුණු අතර ගෙවල් පිහිටා තිබුණේ හරිම ඈතින්. තණබිම්වල ගව රැළවල් හා බැටළු රැළවල් දකින්න ලැබුණා. අපි එන සද්දෙට කන් දීගෙන සිටි කැන්ගරුවන් කිහිපදෙනෙක්වත් ඉතා ආඩම්බර ලීලාවෙන් ගමන් කරමින් සිටි එමූවන්වත් අපේ නෙත ගැටුණා.

අඟහරුවාදා දවල් ගව රැළවල් දක්කගෙන යන සත්ව පාලකයන්ව අපට මුණගැහුණා. අශ්වයෙක් පිට ගමන් යමින් සිටි එක් සත්ව පාලකයෙක් එක්ක ටිකක් කතා කරන්න හිතුණු නිසා මම වාහනය නතර කළා. මම මුලින්ම ඔහුට ආචාර කළාම ඔහුත් මට ආචාර කළා. ගව රැළ දක්කන් යන්න උදව් කළ බල්ලෙකුත් ඔහු අසලම සිටියා.

අපි ටික වෙලාවකට ඒ ප්‍රදේශයේ පවතින නියඟය ගැන කතා කළා. ඊටපස්සේ බයිබලයේ තියෙන පණිවිඩය ගැනත් මම එයාට කිව්වා. එතකොට “අපරාදේ, මම පොඩි කාලෙදි මේ පණිවිඩය මට අහන්න ලැබුණේ නැහැනේ” කියා ඔහු පැවසුවා. ඔහු කිව්වේ අද ලෝකයේ පවතින සදාචාරය පිරිහුණු තත්වයට වගකිව යුත්තේ ආගමික නායකයන් බවයි. කොහොමවුණත් බයිබලය කෙරෙහි ලොකු ගෞරවයක් ඔහු තුළ තිබුණා. අපේ සාකච්ඡාව ඉවර වුණාට පස්සේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * යන පොත මම ඔහුට දුන්නා. ඔහු ඒ පොත අරගෙන ඒක කමිස සාක්කුවට දාගෙන මෙහෙම කිව්වා. “මේ පොතේ බයිබලය ගැන උගන්වනවා නම් මම අද රෑට ගිනි මැලය ළඟ ඉඳගෙන මේක කියවන්නම්.”

ගමන නිමා වී

එදා රාත්‍රියේ රාජ්‍ය ශාලාවට ගියාම අපේ අද්දැකීම් ගැන ඒ සහෝදර සහෝදරියන්ට කිව්වා. ඔවුන් පොරොන්දු වුණා අපේ පණිවිඩයට උනන්දුවක් දක්වපු අයව නැවත ගිහින් හමු වෙනවා කියලා. ඒ සහෝදර සහෝදරියන් අපිට හොඳින් සැලකුවා. ඒ විතරක් නෙවෙයි එකිනෙකාගෙන් ලබපු දිරිගැන්වීම්වලින් අපේ ඇදහිල්ලත් ශක්තිමත් වුණා. එදා රැස්වීමෙන් පස්සේ ඒ අයගෙන් සමු අරන් එද්දී අපිට ලොකු දුකක් දැනුණා.—රෝම 1:12.

ඊළඟ දවසේ අපි නැවතත් අපේ ගෙවල් බලා පිටත් වුණා. අපි දරපු වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබීම ගැන අපිට හරිම සතුටුයි. ඒ වගේම අපි තව තවත් යෙහෝවා දෙවිට ළං වෙලා කියලත් අපිට හැඟුණා. ගෙදර ගියාට පස්සේ මම අපේ දරුවන්ගෙන් මෙහෙම ඇහුවා. “ඕගොල්ලන් ඊළඟ නිවාඩුවට යන්න කැමති කොහේද? කඳු බලන්නද?” එවිට දරුවන් පැවසුවේ “නෑ තාත්තේ, අපි ආසයි ආයෙත් පිටිසර ප්‍රදේශයකට ගිහින් දේශනා කරන්න” කියලයි. දරුවන් කියපු දේට එකඟ වෙමින් මගේ බිරිඳත් මෙසේ පැවසුවා. “ඔව්, ඒකට නම් මාත් කැමතියි. ඒක තමයි අපි ගත කරපු හොඳම නිවාඩුව!”

[පාදසටහන්වල]

^ 11 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 17 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.