Skip to content

පටුනට යන්න

මම කැමති ආකාරයට දෙවිට නමස්කාර කරන්න බැරිද?

මම කැමති ආකාරයට දෙවිට නමස්කාර කරන්න බැරිද?

මම කැමති ආකාරයට දෙවිට නමස්කාර කරන්න බැරිද?

“ස්වභාවයෙන්ම මිනිසා තුළ ආගම දහමට ලොකු ළැදියාවක් තිබෙනවා.” එසේ පැවසුවේ මහාචාර්ය ඇලිස්ටර් හාඩි විසිනුයි. ඔහු පැවසූ දේ සත්‍යයක් බව මෑතකදී කළ සමීක්ෂණයකින් තහවුරු වුණා. ඉන් හෙළි වුණේ ලෝක ජනගහනයෙන් සියයට 86ක් පමණ කුමන හෝ ආගමකට අයිති බවයි.—The Spiritual Nature Of Man.

එම පිරිස ප්‍රධාන ආගම් 19කට අයිති බවත් සමීක්ෂණයෙන් සොයාගත්තා. ඉන් එක් ආගමක් වන ක්‍රිස්තියානි ආගම කොටස් 37,000කට බෙදී තිබෙනවා. මේ සෑම නමස්කාර ක්‍රමයක්ම දෙවි පිළිගනියි කියා ඔබ සිතනවාද? අපි කැමති ආකාරයට දෙවිට නමස්කාර කිරීම සුදුසුද?

දෙවිට නමස්කාර කරන ආකාරය තීරණය කළ යුත්තේ මිනිසුන් නොවෙයි. එමනිසා දෙවි අපෙන් අපේක්ෂා කරන දෙය දැනගැනීම සඳහා අපි දේවවචනය වන බයිබලය අධ්‍යයනය කළ යුතුයි. යේසුස් කළ යාච්ඤාවකදී දෙවිගේ වචනය ගැන ඔහු පැවසුවේ “ඔබේ වචනය සත්‍යතාවය” කියායි. (යොහන් 17:17) එමෙන්ම බයිබල් ලේඛකයෙක් වූ පාවුල්ද මෙසේ පැවසුවා. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය [දෙවිගේ බලයෙන්ය]. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.

යෙහෝවා දෙවි සෑම නමස්කාර ක්‍රමයක්ම පිළිගන්නේ නැති බව බයිබලයේ පෙන්නුම් කරනවා. පුරාණයේ දෙවි පිළිගත් නමස්කාරයක් හා හෙළාදුටු නමස්කාර ක්‍රමද තිබුණු බවට උදාහරණ තිබෙනවා. ඒවා හොඳින් සලකා බැලීමෙන් දෙවිව සතුටු කරන ආකාරයට නමස්කාර කිරීම සඳහා අපි කළ යුතු දේ හා නොකළ යුතු දේ දැනගැනීමට හැකි වෙනවා.

පුරාණ සිද්ධියක්

දෙවි අනාගතවක්තෘ මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට නීති මාලාවක් දුන්නා. ඒ නීතිමාලාවේ තමාට නමස්කාර කළ යුතු ආකාරය ගැන දෙවි සඳහන් කළා. සෙනඟ එම නීතිවලට කීකරුව කටයුතු කරමින් දෙවිට නමස්කාර කළ විට දෙවි ඔවුන්ට ආශීර්වාද කළා. (නික්මයාම 19:5, 6) නමුත් පසු කාලයේදී මේ සෙනඟ දෙවිට නමස්කාර කරනවා වෙනුවට අවට සිටි ජාතීන්ගේ ආගමික වත්පිළිවෙත් අනුගමනය කරන්න පටන්ගත්තා.

ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේ අනාගතවක්තෘ එසකියෙල් හා යෙරෙමියාගේ දවස්වල සිටි ඊශ්‍රායෙල්වරු දෙවිගේ නීතිය නොසලකා අවට ජාතීන් සමඟ කිට්ටු බැඳීම් ඇති කරගත්තා. එම ජාතීන්ගේ චාරිත්‍ර වාරිත්‍ර හා ආගමික උත්සවවලට හවුල් වීමෙන් සැබෑ නමස්කාරය කරන ගමන්ම බොරු නමස්කාරයෙත් යෙදුණා. බොහෝ ඊශ්‍රායෙල්වරුන් පැවසුවේ “අවට ජාතීන් හා දේශවල වැසියන් මෙන් අපි ලී ගල්වලින් නෙළූ දෙවිවරුන්ට වන්දනාමාන කරන්නෙමු” කියායි. (එසකියෙල් 20:32, නව ලොව පරිවර්තනය, NW; යෙරෙමියා 2:28) දෙවිට නමස්කාර කරන බව කියා සිටි මේ සෙනඟ “පිළිකුල්සහගත රූපවලට” වන්දනාමාන කරමින් තම දරුවන්ව පවා ගින්නෙන් පූජා කළා.—එසකියෙල් 23:37-39NW; යෙරෙමියා 19:3-5.

එවැනි නමස්කාර ක්‍රමයක් පුරාවිද්‍යාඥයන් හඳුන්වන්නේ මිශ්‍ර වන්දනාවක් ලෙසයි. එමෙන්ම එවැනි නමස්කාරයක් වැඩිදෙනා අතර ජනප්‍රිය වූවක් ලෙසත් හඳුන්වනවා. අද බොහෝ ආගම් තිබෙන නිසා ඒ සෑම ආගමක්ම පිළිගත යුතුයි කියා සමහර අය සිතනවා. ඒ නිසා ඔවුන් සිතන්නේ තම තමන්ට කැමති ආකාරයෙන් දෙවිට නමස්කාර කිරීමේ කිසිම වරදක් නැහැ කියායි. නමුත් එය සැබෑවක්ද? අතීතයේ සිටි දෙවිට පිටු පෑ ඊශ්‍රායෙල්වරුන් අතර ජනප්‍රිය වී තිබූ නමස්කාර ක්‍රමයේ යම් අංගයන් මඟ පෑදුවේ කුමකටද කියා සලකා බලන්න.

ඊශ්‍රායෙල්හි මිශ්‍ර වන්දනාව

ඊශ්‍රායෙල්වරුන් මිශ්‍ර වන්දනාවේ නියැලුණේ පූජනීය ස්ථාන ලෙස සැලකූ තැන්වලයි. එම ස්ථානවල පූජාසන, සුවඳ දුම් පූජාසන, ගල් කණු සහ කානානීය සශ්‍රිකත්වයේ දේවතාවිය වූ අෂේරාව නියෝජනය කළ ලීවලින් සෑදූ සංකේත තිබුණා. දෙවන රාජාවලිය 23:5, 8හි සඳහන් වන ආකාරයට ‘ගෙබා [උතුරු සීමාව] සිට බෙයර්-ෂෙබා [දකුණු සීමාව] දක්වා යූදා නුවරවල සහ යෙරුසලම අවට පූජනීය ස්ථාන’ තිබුණා. මින් පැහැදිලි වෙන්නේ යූදා දේශය පුරාම පූජනීය ස්ථාන තිබූ බවයි.

මෙම පූජනීය ස්ථානවල ඊශ්‍රායෙල්වරුන් “බාල්ට, හිරු සහ සඳුට, රාශි චක්‍රයට හා ග්‍රහ තාරකාවලට සුවඳ දුම් ඔප්පු කළා.” එමෙන්ම “යෙහෝවා දෙවිගේ ගෘහය තුළ සමලිංගික සේවනයේ යෙදුණු පිරිමින්” සඳහා නිවාසද තනා තිබුණා. තම දරුවන්වත් ‘ගින්නෙන් දවා මෝලෙක්ට පූජා කළා.’—2 රාජාවලිය 23:4-10NW.

පුරාවිද්‍යාඥයන් විසින් යූදා සහ යෙරුසලමේ නටබුන් වූ නිවෙස් අතර තිබූ මැටි රූප සියගණනක් සොයාගෙන තිබෙනවා. ඒවායින් බොහෝමයක් ළැම පෙදෙස අසාමාන්‍ය ලෙස විශාල කර දක්වා ඇති නිරුවත් ස්ත්‍රියකගේ මැටි රූපයි. ප්‍රවීණයන් පවසන්නේ මෙම රූප අෂ්ටාරොත් සහ අෂේරා දේවතාවියන්ව නියෝජනය කරන බවයි. “මෙම රූපවලට පිළිසිඳගැනීමේ හා දරුවන් බිහි කිරීමේ හැකියාව ලබා දිය හැකි බව” පුරාණයේ සිටි අය විශ්වාස කළ නිසා ඒවා තමන් ළඟ තබාගත්තා.

වන්දනාමාන කටයුතු සිදු කළ පූජනීය ස්ථාන ගැන ඊශ්‍රායෙල්වරුන්ගේ ආකල්පය වූයේ කුමක්ද? විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වූ ඊෆ්‍රායිම් ස්ටර්න් පැවසුවේ මෙම පූජනීය ස්ථාන වැඩි හරියක් “යාහ්වේට [යෙහෝවා දෙවිට] කැප කර” තිබෙන්න ඇති කියායි. ඒ අවට කරන ලද කැනීම්වලින් සොයාගත් පුරා වස්තූන්ගෙන් ඒ බව පෙනී යනවා. ඉන් එකක සඳහන් වුණේ “සමාරියේ යාහ්වේගෙන් හා ඔහුගේ අෂේරාගෙන් මම ඔබට ආශීර්වාද පතනවා” කියායි. තවත් සොයාගැනීමක “තේමානිය යාහ්වේගෙන් හා ඔහුගේ අෂේරාගෙන් මම ඔබට ආශීර්වාද පතනවා!” කියාද සඳහන් වුණා.

එම උදාහරණවලින් පැහැදිලි වෙන්නේ ඊශ්‍රායෙල්වරුන් ශුද්ධ නමස්කාරයට මිථ්‍යා ආගමික වත්පිළිවෙත් මිශ්‍ර කිරීමෙන් සැබෑ නමස්කාරය දූෂිත කළ ආකාරයයි. ඔවුන් සදාචාරමය වශයෙන් පහත වැටුණු අතර සත්‍ය නමස්කාරයත් දූෂ්‍ය කළා. දෙවි එය සැලකුවේ කෙසේද?

යෙහෝවා දෙවි දැක්වූ ප්‍රතිචාරය

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ පහත් නමස්කාර ක්‍රමය මොන තරම් හෙළාදුටුවාද කියා අනාගතවක්තෘ එසකියෙල් මාර්ගයෙන් හෙළි කළා. “ඔබ වාසය කළ සෑම නුවරක්ම පාළුවට ගොස් විනාශ වී යන අතර එහි තිබූ පූජනීය ස්ථානද නටබුන් වන්නේය. ඔබේ පූජාසන කඩා බිඳ දමනු ලබන්නේය. ඔබේ පිළිකුල්සහගත රූපද විනාශ කර, ඔබේ සුවඳ දුම් පූජාසන කඩා දමනු ලබන්නේය. ඔබ සාදාගත් සෑම දෙයක්ම සුනුවිසුනු වී යන්නේය.”—එසකියෙල් 6:6NW.

එම විනාශය සිදු වන්නේ කෙසේද කියා දෙවි කලින්ම හෙළි කළා. ‘මේ දේශයටත් එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත් විරුද්ධව මම මගේ සේවකයාද බැබිලෝනියේ රජද වන නෙබුකද්රෙෂර්ව’ එවන්නෙමි. ‘මා එසේ කරන්නේ. . . මේ මුළු දේශයම පාළු තැනක් බවට පත් කිරීමටයි.’ (යෙරෙමියා 25:9-11NW) එම වචන සැබෑ කරවමින් ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් යෙරුසලම් නගරය හා දේවමාලිගාව විනාශ කර දැමුවා.

කලින් අදහස් දැක්වූ මහාචාර්ය ස්ටර්න් යෙරුසලමේ විනාශය සම්බන්ධයෙන් මෙවැනි දෙයක් පවසනවා. පුරාවිද්‍යාත්මක කැනීම්වලින් “සොයාගත් ගින්නෙන් විනාශ වූ තාප්ප, ගෙවල් සහ වෙනත් දේවල්බයිබල් වාර්තාවේ සඳහන් දේට සාක්ෂි සපයනවා.” (2 රාජාවලිය 25:8; 2 ලේකම් 36:18, 19) ඔහු තවදුරටත් පැවසුවේ “අපි යෙරුසලමේ විනාශය සිදු වූ කාලයට සම්බන්ධ නටබුන් පරීක්ෂා කළොත් බයිබලයේ දී තිබෙන තොරතුරු කොතරම් නිවැරදිද කියා තහවුරු වෙන” බවයි.

අපට ගත හැකි පාඩම

මින් අපට ඉගෙනගත හැකි මූලිකම පාඩම වන්නේ බයිබලයේ සඳහන් සත්‍ය ඉගැන්වීම් මත පදනම් නමස්කාරයට වෙනත් ආගම්වල සම්ප්‍රදායන්, වත්පිළිවෙත් ඈඳාගන්නවාට දෙවි කොහෙත්ම කැමති නැති බවයි. එම කාරණය බයිබල් ලේඛකයෙක් වූ පාවුල් හොඳින් සිතට ගත්තා. ඔහු යුදෙව් පරිසිවරයෙක් ලෙස අධ්‍යාපනය ලැබූ කෙනෙක්. නමුත් පොරොන්දු වූ ගැලවුම්කරු වන්නේ යේසුස් ක්‍රිස්තුස් බව ඔහු පසුව තේරුම්ගත් විට කළේ කුමක්ද? “මට වාසියක්ව තිබුණු දේවල් ක්‍රිස්තුස් උදෙසා අවාසියක්යයි සලකමි” කියා ඔහු පැවසුවා. ඉන් අදහස් වෙන්නේ ඔහු ගත කරමින් සිටි ජීවිතය වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයෙක් වූ බවයි.—ෆිලිප්පි 3:5-7.

දේශනා කිරීම සඳහා බොහෝ සංචාරවල නිරත වූ පාවුල් විවිධ මිනිසුන්ගේ ආගමික සම්ප්‍රදායන් හා දර්ශනවාදී අදහස් ගැන හොඳින් දැනගෙන සිටියා. ඒ නිසයි කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ඔහු මෙවැනි දෙයක් පැවසුවේ. “ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද? තවද, ක්‍රිස්තුස් සහ බෙලියල් අතර ඇති එකමුතුකම කුමක්ද? නැත්නම්, ඇදහිලිවන්තයෙකුට නොඅදහන්නෙකු සමඟ ඇති කොටස කුමක්ද? දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර ඇති එකඟත්වය කුමක්ද? ‘එබැවින් ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න’ යයි යෙහෝවා කියන්නේය. ‘අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.’ ‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”—2 කොරින්ති 6:14-17.

දෙවි පිළිගන්නේ කුමනාකාරයේ නමස්කාරයක්ද කියා දැන් අපිට පැහැදිලියි. එබැවින් මෙම ප්‍රශ්න අපෙන්ම අසාගනිමු. ‘දෙවි ඇත්තටම පිළිගන්නේ කුමනාකාරයේ නමස්කාරයක්ද? දෙවිට ළං විය හැක්කේ කෙසේද? දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමට මා කළ යුත්තේ කුමක්ද?’

එම ප්‍රශ්නවලට මෙන්ම බයිබලය ආශ්‍රිත වෙනත් ප්‍රශ්නවලටත් පිළිතුරු දැනගැනීමට ඔබට උපකාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හැකියි. ඒ සඳහා ඔබේ පළාතේ සිටින සාක්ෂිකරුවන්ව හමුවන්න. නැත්නම් මෙම සඟරාවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න. එවිට අය කිරීමකින් තොරව ඔබට බයිබලය ගැන කියා දෙන්න ඔවුන් සැලසුම් යොදයි.

[10වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙලයේ ආරද්හි පිළිම නමස්කාර කළ පූජනීය ස්ථානයක්

[හිමිකම් විස්තර]

Garo Nalbandian

[10වන පිටුවේ පින්තූරය]

කැනීම්වලින් සොයාගන්නා ලද අෂ්ටාරොත් රූප

[හිමිකම් විස්තර]

Photograph © Israel Museum, Jerusalem; courtesy of Israel Antiquities Authority