Skip to content

පටුනට යන්න

සමාව දීමට සූදානම් දෙවි කෙනෙක්

සමාව දීමට සූදානම් දෙවි කෙනෙක්

දෙවිට ළං වෙන්න

සමාව දීමට සූදානම් දෙවි කෙනෙක්

යොහන් 21:15-17

“යෙහෝවා දෙවියනි, ඔබ යහපත්ය. සමාව දීමට කැමැත්තෙන් සිටින්නේය.” (ගීතාවලිය 86:5, නව ලොව පරිවර්තනය) එම හද දනවන වදන්වලින් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවි බොහෝ සෙයින් සමාව දීමට කැමති බවයි. එය පේතෘස්ගේ ජීවිතයේ සිදු වූ යම් සිද්ධියකින් පැහැදිලි වෙනවා.—යෙසායා 55:7.

පේතෘස් කියන්නේ යේසුස්ව කිට්ටුවෙන්ම ඇසුරු කළ කෙනෙක්. ඒ වුණත් විරුද්ධවාදීන් යේසුස්ට අසාධාරණ ලෙස චෝදනා කරමින් සිටියදී පේතෘස් ප්‍රසිද්ධියේම තුන් වතාවක් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසුවා. එය ඔහු අතින් සිදු වූ බරපතළ වරදක්. තුන්වෙනි වතාවට යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසූ විට යේසුස් ‘හැරී පේතෘස් දෙස බැලුවා.’ (ලූක් 22:55-61) ඒ අවස්ථාවේදී පේතෘස්ට කෙසේ හැඟෙන්න ඇද්ද? තමන් කළ වරදේ බරපතළකම වටහාගත් පේතෘස් ‘බොහෝ සෙයින් හැඬුවා.’ (මාක් 14:72) තමා කළ වරදට කවදාවත් දෙවිගෙන් සමාවක් ලැබෙන එකක් නැහැ කියා පසුතැවිලි වූ පේතෘස්ට හිතෙන්න ඇති.

නමුත් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ යේසුස් සමඟ කතා කිරීමෙන් පසු පේතෘස්ගේ එම සැකය දුරු වුණා. “ඔබ මට ප්‍රේම කරනවාද” කියා යේසුස් ඔහුගෙන් ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. ‘එසේය ස්වාමිනි, ඔබ කෙරෙහි මට සෙනෙහසක් තිබෙන බව ඔබ දන්නවා.’ පසුව යේසුස් මෙසේ පැවසුවා. “මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න.” යේසුස් නැවත වතාවක් කලින් ඇසූ ප්‍රශ්නයම පේතෘස්ගෙන් ඇසූ විට, පේතෘස් හැඟීම්බරව කලින් දුන් පිළිතුරම දුන්නා. එවිට යේසුස් “මාගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න” කියා ඔහුට පැවසුවා. තුන්වෙනි වතාවටත් යේසුස් “ඔබට මා කෙරෙහි සෙනෙහසක් තිබෙනවාද” කියා පේතෘස්ගෙන් ඇසූ විට ‘පේතෘස් ශෝක වී ස්වාමිනි, ඔබ සියල්ල දන්නවා. ඔබ කෙරෙහි මට සෙනෙහසක් තිබෙන බව ඔබ දන්නවා’ කියා පැවසුවා. එවිට යේසුස් “මාගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න” කියා පේතෘස්ට පැවසුවා.—යොහන් 21:15-17.

යේසුස්ට මිනිසුන්ගේ හදවත් කියවන්න පුළුවන්. (මාක් 2:8) එසේනම් පේතෘස් තමන්ට ප්‍රේම කරන බව හොඳින්ම දැනගෙනත් යේසුස් එම ප්‍රශ්න පේතෘස්ගෙන් ඇසුවේ ඇයි? එවැනි ප්‍රශ්න ඇසීමෙන් යේසුස් කෙරෙහි තිබූ ආදරය ප්‍රකාශ කරන්න ඔහුට තුන්වතාවක්ම අවස්ථාව ලැබුණා. ‘මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න. මාගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න. මාගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න’ කියා පැවසීමෙන් පසුතැවිලි වූ පේතෘස් කෙරෙහි ලොකු විශ්වාසයක් තිබෙන බව යේසුස් පෙන්නුවා. ඇත්තටම යේසුස් මෙහිදී කළේ තමන් ඉතා වටිනා ලෙස සැලකූ බැටළුවන් හා සමාන තම අනුගාමිකයන්ව බලාගැනීමේ වගකීම පේතෘස්ට පැවරීමයි. (යොහන් 10:14, 15) යේසුස්ට තමන් ගැන ලොකු විශ්වාසයක් තිබෙන බව දැනගන්න ලැබීමෙන් පේතෘස්ට මොන තරම් සහනයක් ලැබෙන්න ඇද්ද!

පසුතැවිලි වූ පේතෘස්ට යේසුස් සමාව දුන් බව පැහැදිලියි. යේසුස් විදහාපෑවේ යෙහෝවා දෙවිගේ ගුණාංග නිසා ඉන් පැහැදිලි වෙන්නේ පේතෘස්ගේ වරදට යෙහෝවා දෙවිත් සමාව දුන් බවයි. (යොහන් 5:19) දයාවන්ත යෙහෝවා දෙවි පසුතැවිලි වන පව්කාරයන්ට අදිමදි නොකර ‘සමාව දීමට කැමැත්තෙන් සිටිනවා.’ මෙය දැන සිටීම මොන තරම් සහනයක්ද?