Skip to content

පටුනට යන්න

ඉපැරණි ආරද් නගරයේ නොමැකුණු සටහන්

ඉපැරණි ආරද් නගරයේ නොමැකුණු සටහන්

ඉපැරණි ආරද් නගරයේ නොමැකුණු සටහන්

වැළලී ගිය නගරයක්, පූජනීය ස්ථානයක් සහ පෞරාණික වාර්තා. මේ සියල්ල ඇතුළු තවත් පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ දේවල් ඊශ්‍රායෙලයේ ආරද් නම් ප්‍රදේශයෙන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වුණා.

ජනගහනය 27,000කින් යුත් වර්තමාන ආරද් නගරය ගැන ඔබත් අසා ඇති. මෙය පිහිටා තිබෙන්නේ මළ මුහුදේ සිට බටහිර දෙසට වෙන්න පිහිටි යූදා පාළුකරයේයි. නමුත් බයිබලයේ සඳහන් වන ඉපැරණි ආරද් නගරය පිහිටා තිබුණේ වර්තමාන ආරද් නගරයේ සිට බටහිර දෙසට කිලෝමීටර අටක් පමණ දුරකිනුයි. පුරාවිද්‍යාඥයන් ඉතා වටිනාකමකින් යුත් නටබුන් හා වාර්තා සොයාගනු ලැබුවේ මේ ප්‍රදේශයෙනුයි.

සොයාගනු ලැබූ මෙම වාර්තා පිළියෙල කර තිබෙන්නේ මැටි පුවරු මතයි. අතීතයේ ලේඛන කටයුතුවලට මැටි පුවරු භාවිත කිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණා. ආරද් ප්‍රදේශයෙන් සොයාගත් මෙම මැටි පුවරු ඊශ්‍රායෙලයෙන් සොයාගන්නා ලද වැඩිම වටිනාකමකින් යුත් මැටි පුවරු බව සැලකෙනවා. මේවායේ ඇති වටිනාකම කුමක්ද?

මෙම මැටි පුවරුවලින් ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවන්ගේ කාලයේ සිට ක්‍රිස්තු පූර්ව 607 යූදා රාජ්‍යයේ විනාශය දක්වා සිදු වූ දේවල් හෙළි වෙනවා. මේ නිසා බයිබලයේ සඳහන් දේවල් නිවැරදි බව ඔප්පු කිරීමට මෙම මැටි පුවරු දායක වී තිබෙනවා. එමෙන්ම පුරාණ ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ නාමය සැලකුවේ කෙසේද කියාත් එයින් දැනගත හැකියි.

ආරද් නගරය සහ බයිබලය

මෙම නගරය හරහා විශාල වෙළඳ මාර්ගයක් පිහිටා තිබුණා. ඒ හේතුව නිසා බොහෝ අවස්ථාවල මෙම නගරය යටත් කරගෙන එය විනාශ කර තිබුණත් නැවතත් එම නගරය පෙර පරිදිම ගොඩනඟා තිබෙනවා. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් එය සනාථ කරනවා. නැවත නැවතත් එම නගරය ගොඩනැඟීම හේතුවෙන් එහි ප්‍රමාණය තවත් විශාල වී තිබෙනවා.

ආරද් නගරය ගැන බයිබලයෙහි එතරම් විස්තරයක් සපයා නැහැ. බයිබලයේ මුල්ම වතාවට එම නගරය ගැන සඳහන් වෙන්නේ ඊශ්‍රායෙල්වරුන් අවුරුදු 40ක් පුරා පාළුකරයේ ගමනාන්තයට පැමිණි අවස්ථාවේදීයි. මෝසෙස්ගේ ඥාති සහෝදරයා වූ ආරොන් මිය ගිය විට ඊශ්‍රායෙල්වරුන් සිටියේ පොරොන්දු දේශයේ දකුණු සීමාවට යාබදවයි. ආරද් නගරය පාලනය කළ කානානීය රජට ඊශ්‍රායෙල්වරුන්ව පෙනුණේ ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි ජාතියක් ලෙසයි. ඒ නිසා ඔහු ඒ සෙනඟට විරුද්ධව සටනක් දියත් කළා. නමුත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් ඊශ්‍රායෙල්වරු එම රජව පරාජය කළ අතර ආරද් නගරයත් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා. පෙනෙන ආකාරයට ඒ නගරයේ සිටි සමහර අය තම ජීවිත බේරාගෙන තිබෙනවා.—ගණන් කතාව 21:1-3.

ඉන් අවුරුදු කිහිපයකට පසු යොෂුවා සැලසුම්සහගත ලෙස ‘කඳුකරයේ හා නෙගෙබ් පළාතේ’ සිටි කානානිවරුන්ට විරුද්ධව සටන් කළා. ඒ අවස්ථාවේදී “ආරද්හි රජ” යොෂුවාට විරුද්ධව නැඟී සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඊශ්‍රායෙල්වරු කලින් එම නගරය විනාශ කර දැමුවත් යොෂුවාගේ කාලය වන විට එය නැවතත් ගොඩනඟා තිබූ බවයි. (යෝෂුවා 10:40; 12:14, නව ලොව පරිවර්තනය) පසු කාලයකදී ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ කඳවුරු බැඳ සිටි විට ඔවුන්ට එකතු වූ කේනිවරයෙක් වන හොබාබ්ගෙන් පැවතෙන්නන් ආරද් අවට පදිංචි වුණා.—විනිශ්චයකාරයෝ 1:16.

පුරාවිද්‍යාත්මක සොයාගැනීම්

බයිබලයේ සඳහන් වාර්තා නිවැරදි බව ඔප්පු කිරීමට ආරද්හි සොයාගැනීම් ප්‍රයෝජනවත් වී තිබෙනවා. උදාහරණයකට ආරද් නගරයෙන් පැරණි පවුරුවල නටබුන් හමු වී තිබෙනවා. මෙම පවුරු ඉදි කරන්න ඇත්තේ සලමොන් රජුගේ පාලන සමයේදී විය හැකියි. (1 රාජාවලිය 9:15-19) මේ ප්‍රදේශය අවට ගින්නක් ඇති වී තිබෙන බව සොයාගන්නා ලද එක් පවුරකින් හෙළි වී තිබෙනවා. එය සිදු වන්න ඇත්තේ ක්‍රි.පූ. 10වන ශතවර්ෂයේ මුල් කාලයේදී බව සැලකෙනවා. ඊජිප්තුවේ ෂීෂක් නම් රජ ආරද් ප්‍රදේශය ඇතුළු තවත් බොහෝ නගර යටත් කරගත්තේ මේ කාලයේදීම විය හැකියි. එනම් සලමොන් රජුගේ මරණයෙන් අවුරුදු පහකට පසුවයි. ෂීෂක් රජ ආරද් ඇතුළු තවත් නගර ගණනාවක් යටත් කරගත් බව සඳහන් කරන ගල් කැටයමක් ඊජිප්තුවේ කානාක් ප්‍රදේශයේ දක්නට තිබෙනවා.—2 ලේකම් 12:1-4.

සොයාගන්නා ලද මැටි පුවරු 200ක පමණ බයිබලයේ සඳහන් හෙබ්‍රෙව් නම් සඳහන් වීම බොහෝදෙනෙකුගේ උනන්දුවට කරුණක්. ඒ නම් අතර පෂ්හූර්, මෙරේමොත් සහ කෝරාගේ පුත්‍රයන්ගේ නම්ද ඇතුළත්. තවත් මැටි පුවරුවල සැබෑ දෙවිගේ පෞද්ගලික නාමය හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් කර තිබීම විශේෂ දෙයක්. පසු කාලවලදී බොහෝදෙනා දෙවිගේ නාමය උච්චාරණය කිරීම සහ ලිවීම අගෞරවනීය දෙයක් ලෙස සැලකුවා. නමුත් ආරද්හි සොයාගන්නා ලද කැණීම්වලින් ඔප්පු වන්නේ අතීතයේ සිටි අය එදිනෙදා ජීවිතයේ එකිනෙකාට සුබ පතද්දී හා ආශීර්වාද කරද්දී දෙවිගේ නාමය භාවිත කළ බවයි. උදාහරණයකට සොයාගන්නා ලද එක් පුවරුවක මෙසේ සඳහන් වුණා. “එලියාෂිබ් උතුමාණෙනි ඔබට යාහ්වේගේ [යෙහෝවා දෙවිගේ] පිහිටයි.”

මේ ලිපියේ ආරම්භයේදීම සඳහන් කළ ලෙස ආරද් නගරයේ පූජනීය ස්ථානයක නටබුන් පවා සොයාගෙන තිබෙනවා. මෙම ගොඩනැඟිල්ල ගැන විවිධ අය නොයෙක් අදහස් ඉදිරිපත් කරනවා. එහි පූජාසනයක්ද තිබෙනවා. එය සලමොන් රජ යෙරුසලමේ ඉදි කළ දේවමාලිගාව තරම් විශාල නොවුණත් සමහර පැතිවලින් ඊට යම් සමානකම් දක්වනවා. ආරද් නගරයේ එවැනි පූජනීය ස්ථානයක් ඉදි කළේ ඇයි? ඒ කවදාද? එහි නමස්කාරය සිදු වුණේ කෙසේද? ඊට නිසි පිළිතුරක් දීමට පුරාවිද්‍යාඥයන්ද අපොහොසත් වී තිබෙනවා.

තමා පිළිගන්නේ යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ ඔප්පු කළ සත්ව පූජාවන් හා එහි පැවැත්වූ වාර්ෂික මංගල්‍යයන් පමණක් බව යෙහෝවා දෙවි ඉතා පැහැදිලිව පවසා තිබුණා. (ද්විතීය කතාව 12:5; 2 ලේකම් 7:12) ඒ නිසා ආරද්හි පිහිටි පූජනීය ස්ථානය හා එහි සිදු වූ නමස්කාර පිළිවෙත් දෙවි පිළිගත්තේ නැහැ. බොහෝදුරට මෙය ඉදි වන්නට ඇත්තේ සැබෑ නමස්කාරයෙන් ජනයාව ඉවත් කිරීමේ අරමුණින් වෙනත් පූජාසන ඉදි කළ කාලයේදීම විය හැකියි. (එසකියෙල් 6:13) එය එසේ වූවා නම් ක්‍රි.පූ. අටවන සහ හත්වන සියවසේ සිටි හෙසකියා රජ හෝ යොෂියා රජ සැබෑ නමස්කාරය නැවත පිහිටුවීම සඳහා පියවර ගත් කාලයේදී ආරද්හි මෙම පූජනීය ස්ථානය විනාශ කර දමන්න ඇති.—2 ලේකම් 31:1; 34:3-5, 33.

ආරද්හි සොයාගන්නා ලද දේවලින් අපටත් වැදගත් පාඩම් ඉගෙනගත හැකියි. මෙම දේවල් මගින් බයිබලයේ නිවැරදිභාවය තහවුරු වෙනවා. එමෙන්ම සැබෑ නමස්කාරය වෙනුවට පිහිටුවා ගත් වෙනත් නමස්කාර ක්‍රමවල ආරම්භය හා අවසානය ගැනත් දිනපතා දෙවිගේ නාමය භාවිත කිරීමේ ඇති වැදගත්කම ගැනත් ඉන් පෙන්වා දෙනවා.

[23වන පිටුවේ සිතියම/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

යෙරුසලම

මළ මුහුද

ආරද්

ඉපැරණි ආරද්

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[24වන පිටුවේ පින්තූරය]

ෂීෂක් රජුගේ ජයග්‍රහනය ගැන කියන ගල් කැටයම

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[25වන පිටුවේ පින්තූරය]

මෙම මැටි පුවරුවේ සඳහන් තොරතුරු අතර “ඔබට යාහ්වේගේ [යෙහෝවා දෙවිගේ] පිහිටයි” කියාද සඳහන් වෙනවා

[හිමිකම් විස්තර]

Photograph © Israel Museum, Jerusalem; courtesy of Israel Antiquities Authority

[25වන පිටුවේ පින්තූරය]

ආරද්හි තිබූ පූජනීය ස්ථානයේ පූජාසනයක්ද දැකිය හැකියි

[25වන පිටුවේ පින්තූරය]

නැඟෙනහිර දෙසින් ආරද් නගරය පෙනෙන අයුරු

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Todd Bolen/​Bible Places.com