Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය භාවිත කිරීම වරදක්ද?

දෙවිගේ නාමය භාවිත කිරීම වරදක්ද?

දෙවිගේ නාමය භාවිත කිරීම වරදක්ද?

හෙබ්‍රෙව් ලියවිලිවල එනම් බයිබලයේ “පරණ ගිවිසුමේ” දෙවිගේ නාමය 7,000 වතාවක් පමණ සඳහන් වී තිබෙනවා. එම නාමය ලියනු ලැබුවේ හෙබ්‍රෙව් අක්ෂර සතරකිනුයි. (יהוה) එම අකුරු සතර සිංහලෙන් උච්චාරණය කරන්නේ යොද්, හේ, වාව්, හේ ලෙසයි.

බොහෝ කලකට ඉහතදී යුදෙව් ජාතිකයන් සිතුවේ දෙවිගේ නාමය භාවිත කිරීම වැරදියි කියායි. ඒ නිසා එම නාමය ඔවුන්ගේ ලියවිලිවලින් ඉවත් කර ඒ වෙනුවට ආදේශක නාම යොදන්න පටන්ගත්තා. නමුත් බොහෝ බයිබල් පරිවර්තනවල “යාහ්වේ” හෝ “යෙහෝවා” යන දෙවිගේ නාමය සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් උදාහරණයක් සලකා බලන්න. එක අවස්ථාවකදී මෝසෙස්ව ඊශ්‍රායෙල්වරුන් වෙතට යවන්න දෙවි තීරණය කළා. එවිට තමාව ඊශ්‍රායෙල්වරුන් වෙතට එව්වේ කවුද කියා ඔවුන් ඇසුවොත් තමා කිව යුත්තේ කුමක්ද කියා මෝසෙස් දෙවිගෙන් ඇසුවා. දෙවි එයට දුන් පිළිතුර ඉංග්‍රීසියෙන් ඇති කතෝලික ජෙරුසලම් බයිබලයේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “ඔබ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට පැවසිය යුත්තේ මෙයයි. ‘ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි එනම් ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේද දෙවි වන යාහ්වේ, මාව ඔබ වෙතට එව්වේය.’ සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.”—නික්මයාම 3:15.

එක් අවස්ථාවකදී දෙවිට කළ යාච්ඤාවක යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “මම ඔබේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමි.” ඉන් අපට පැහැදිලි වන්නේ යේසුස් පවා දෙවිගේ නාමය භාවිත කළ බවයි. එමෙන්ම යේසුස් ඉගැන්වූ ප්‍රසිද්ධ යාච්ඤාවක් වන පරමණ්ඩල යාච්ඤාව තුළත් දෙවිගේ නාමය භාවිත කිරීමේ වැදගත්කම ගැන ඔහු මෙසේ කාවැද්දුවා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.”—යොහන් 17:26; මතෙව් 6:9.

නමුත් 16වන බෙනඩික් පාප්වරයා ලියූ පොතක මෙවැනි දෙයක් සඳහන් වීම ගැන සමහරවිට ඔබ පුදුම වෙයි. “දෙවිගේ නාමයට අගෞරවයක් නොවන පිණිස ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ නාමය භාවිත නොකිරීම හොඳ දෙයක්. ඒ වුණත් ඊශ්‍රායෙල්වරුන් උතුම් කොට සැලකූ දෙවිගේ නාමය අද සිටින ඇතැම් බයිබල් පරිවර්තකයන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ නාමයක් ලෙස පරිවර්තනවලට ඇතුළත් කිරීම වැරදියි.”—Jesus of Nazareth නම් පොත.

දෙවිගේ නාමය භාවිත කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? යෙහෝවා දෙවිම මෙසේ පවසා තිබෙනවා. “සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්.” එසේනම් දෙවි පැවසූ දේට ඉහළින් යන්න අපිට හැකිද?

[30වන පිටුවේ පින්තූරය]

යේසුස් යාච්ඤා කරන විට දෙවිගේ නාමය භාවිත කළා