අගය කිරීමේ ඇති වටිනාකම
අගය කිරීමේ ඇති වටිනාකම
හිතවත් රාකෙල්,
මම අධෛර්යය වෙලා හිටපු වෙලාවේ මාව ශක්තිමත් කළාට ඔයාට හුඟක් ස්තුතියි. ඔයා කියපු කරපු දේවලින් මම කොච්චර ශක්තිමත් වුණාද කියලා සමහරවිට ඔයාවත් දන්නේ නැතුව ඇති.—ජෙනිෆර්.
ඔබ කළ යහපත් දෙයක් නිසා යම් කෙනෙක් ඔබට ස්තුති කර තිබෙනවාද? එවන් අවස්ථාවක ඔබට ලොකු සතුටක් දැනෙන්න ඇති. ඊට හේතුව අන් අය අපව අගය කරනවාට අපි කැමති වීමයි.—මතෙව් 25:19-23.
ස්තුති කිරීමෙන්, ස්තුති කරන පුද්ගලයා සහ එය ලබන පුද්ගලයා අතර තිබෙන බැඳීම ශක්තිමත් වෙනවා. අන් අයගේ යහපත් ක්‍රියා අගය කරන කෙනෙක් අනුකරණය කරන්නේ යේසුස්ගේ ආදර්ශයයි. යේසුස් අන් අයගේ යහපත් ක්‍රියා අගය කිරීමට අමතක කළේ නැහැ.—මාක් 14:3-9; ලූක් 21:1-4.
අන් අයගේ යහපත් ක්‍රියා අගය කිරීම අද බොහෝදෙනාගෙන් ගිලිහී යන දෙයක්. “අන්තිම දවස්වල” “ස්තුතිවන්ත නොවන” අය සිටින බව බයිබලයේ කලින්ම සඳහන් කර තිබෙනවා. (2 තිමෝති 3:1, 2) අපත් ඒ ගැන සැලකිලිමත් නොවුණොත් අපි තුළ තිබෙන අගය කිරීමේ ස්වභාවයත් නැති වී යා හැකියි.
අන් අයගේ යහපත් ක්‍රියා අගය කරන්න දරුවන්ට ඉගැන්වීම සඳහා දෙමව්පියන්ට කළ හැක්කේ කුමක්ද? අප අගය ප්‍රකාශ කළ යුත්තේ කාටද? අප අවට සිටින අය ස්තුතිවන්ත නොවුණත් අපි ඔවුන්ව අගය කළ යුත්තේ ඇයි?
පවුල තුළ
දරුවන් වෙනුවෙන් දෙමව්පියන් බොහෝ වෙහෙස මහන්සි වෙනවා. තමන් දරන වෙහෙස දරුවන් අගය නොකරන බව දෙමව්පියන්ට හැඟෙන්න පුළුවන්. එවැනි තත්වයකදී දෙමව්පියන්ට කළ හැක්කේ කුමක්ද? ඒ සඳහා උපකාරවත් වන කරුණු තුනක් සලකා බලමු.
(1) ආදර්ශය. වචනයෙන් උගන්වනවාට වඩා ආදර්ශයෙන් ඉගැන්වීම බලපෑමෙන් යුක්තයි. වෙහෙස මහන්සි වී වැඩ කළ මවකට ඇගේ දරුවන් අගය ප්‍රකාශ කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඇගේ පුත්‍රයෝ නැඟිට ඈට ප්‍රශංසා කරති.” එම දරුවන් එසේ කිරීමට ඉගෙනගත්තේ කාගෙන්ද? ඊට පිළිතුර පසු වගන්තියේ මේ විදිහට සඳහන් වෙනවා. “ඇගේ ස්වාමිපුරුෂයාද නැඟිට ඇයට ප්‍රශංසා කරයි.” (හිතෝපදේශ 31:28, නව ලොව පරිවර්තනය, NW) මින් පැහැදිලි වෙන්නේ දෙමව්පියන් එකිනෙකාට ප්‍රශංසා කරනවා දරුවන් දකින විට ඒ ආදර්ශය අනුකරණය කිරීමට දරුවනුත් පෙලඹෙන බවයි. එයින් පවුලේ අය අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා.
ස්ටීවන් නමැති පියා මෙවැනි දෙයක් පවසනවා. “මගේ බිරිඳ රෑ කෑම පිළියෙල කළාම මම ඇයට ස්තුතියි කියලා කියනවා. මට ඕන වුණේ අනික් අය කරන දේවල් අගය කිරීම සම්බන්ධයෙන් මගේ දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්නයි. මම එහෙම කරන එක දැකපු මගේ දරුවනුත් දැන් අනික් අය කරන යහපත් දේවල් අගය කරනවා.” ඔබේ සහකරු හෝ සහකාරිය නිතිපතා කරන දේවල් වෙනුවෙන් ඔබත් ඔබේ අගය ප්‍රකාශ කරනවාද? ඔබේ දරුවන් පවා යම් දේවල් කරද්දී ඔබ ඒ සඳහා ඔවුන්ට ස්තුතියි කියා පවසනවාද?
(2) පුහුණු කිරීම. අගය කිරීම සම්බන්ධයෙන් දරුවන්ගෙන් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වීමට නම් ඒ සඳහා ඔවුන්ව හොඳින් පුහුණු කළ යුතුයි. එය කළ හැක්කේ කෙසේද? ඒ සඳහා අතීතයේ සිටි ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් පැවසූ මේ දේ ක්‍රියාවට හිතෝපදේශ 15:28, NW.
නැංවීමට දරුවන්ට උපකාර කිරීම ඉතාමත් වැදගත්. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර සියල්ල හොඳින් සිතා බලයි.”—දරුවන්ට යම් ත්‍යාගයක් ලැබුණු විට එය ලබා දුන් තැනැත්තා ඒ සඳහා මොන තරම් වෙහෙසක් දරන්න ඇද්ද කියාත් කොතරම් සැලකිල්ලකින් ඒ දේ කරන්න ඇද්ද කියාත් සිතා බලන්න ඔවුන්ට උදව් කරන්න. දරුවන් මේ විදිහට කල්පනා කරන විට අන් අය කරන දේවල් අගය කරන්න ඔවුන් පෙලඹෙනවා. දරුවන් තිදෙනෙකුගේ මවක් වන මරියා පැවසූ මේ දේ සලකා බලන්න. “දරුවන්ට යම් ත්‍යාගයක් ලැබුණු විට එය ලබා දුන් තැනැත්තා දරුවාට කොතරම් ආදරයක් හා සැලකිල්ලක් පෙන්වා තිබෙනවාද කියන කාරණය පහදා දෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒත් මට නම් හිතෙන්නේ ඒ වෙනුවෙන් දරන වෑයම වටිනවා කියලයි.” එසේ කිරීමෙන් තමන්ට යමක් ලැබුණු විට එය අගය කළ යුත්තේ කෙසේද කියා පමණක් නොව එය අගය කළ යුතු හේතුවත් ඔවුන් ඉගෙනගන්නවා.
තමන්ට සෑම දෙයක්ම ලැබිය යුතුයි කියාත් එසේ ලැබීමට තමන් වටිනවා කියාත් දරුවන්ට හැඟිය හැකියි. නමුත් එය වැරදි බව තේරුම්ගැනීමට දෙමව්පියන් දරුවන්ට උපකාර කළ යුතුයි. * මේ සම්බන්ධයෙන් හිතෝපදේශ 29:21හි [NW] සඳහන් ප්‍රතිපත්තිය ඉතා වැදගත්. එය ලියා තිබෙන්නේ සේවකයන් සඳහා වුණත් එය දරුවන්ටත් අදාළයි. එහි සඳහන් වෙන්නේ මෙයයි. “සේවකයෙකුට බාල කාලයේ සිටම සියලු දේ දෙන්නේ නම්, පසු කාලයේදී ඔහු ඔබට කිසි ස්තුතිවන්තකමක් නොපෙන්වයි.”
කුඩා කාලයේ සිටම අගය ප්‍රකාශ කිරීම සඳහා දරුවන්ව පුහුණු කළ හැක්කේ කෙසේද? දරුවන් තිදෙනෙකුගේ මවක් වන ලින්ඩා මෙවැනි දෙයක් පැවසුවා. “කාට හරි ස්තුති කරලා ලියුමක් ලියද්දී දරුවන්ටත් ඒ ලියුමේ පොඩි චිත්‍රයක් අඳින්න නැත්නම් ඔවුන්ගේ නම් ලියන්න අපි උනන්දු කළා.” සමහරවිට ඔවුන්ගේ චිත්‍ර එතරම් සිත්ගන්නා ඒවා නොවුණත් ඔවුන්ගේ අකුරු එතරම් පැහැදිලි නැතත් එමගින් ස්තුති කිරීමේ ඇති වැදගත්කම දරුවන් ඉගෙනගත්තා.
(3) උත්සාහය අත් නොහරින්න. මිනිසුන් තුළ ආත්මාර්ථකාමී වීමේ නැඹුරුවාවක් තිබෙනවා. ඒ ස්වභාවය ස්තුතිවන්ත ආකල්පයක් විදහා පෙන්වීමට ලොකු බාධාවක්. (උත්පත්ති 8:21; මතෙව් 15:19) බයිබලයේ අපට මෙවැනි ආඥාවක් දී තිබෙනවා. ‘ඔබ ඔබේ මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත් වී, සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.’—එෆීස 4:23, 24.
අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීම සඳහා දරුවන්ට උපකාර කිරීම එතරම් ලෙහෙසි නොවන බව අද්දැකීම් ලත් දෙමව්පියන් දන්නවා. කලින් අදහස් දැක්වූ ස්ටීවන් මෙසේ පැවසුවා. “අපි මතක් කරලා දෙන්නේ නැතුව දරුවන් තනියෙන්ම ස්තුති කියන්න පුරුදු වෙන්න හුඟක් කල් ගියා.” නමුත් මේ යුවළ ඒ සඳහා දැරූ උත්සාහය අත්හැරියේ නැහැ. ස්ටීවන් තවදුරටත් ඒ ගැන මෙවන් දෙයක් පවසනවා. “අපි අපේ උත්සාහය අත්හැරියේ නැති නිසා දරුවන් ස්තුති කිරීමේ ඇති වැදගත්කම ඉගෙනගත්තා. දැන් ඒගොල්ලන් අනික් අයව අගය කරනවා දකිද්දී අපිට ලොකු ආඩම්බරයක් ඇති වෙනවා.”
මිතුරන් සහ අසල්වාසීන්
යම් යහපත් දෙයක් වෙනුවෙන් ස්තුති කරන්න අපි අපොහොසත් වෙන්නේ ඒ වෙනුවෙන් අගයක් නැති නිසාම නෙවෙයි. නමුත් ඊට හේතුව අමතක වීමයි. යම් දෙයක් සඳහා අප තුළ ඇති අගය ප්‍රකාශ කිරීම වැදගත්ද? ඊට පිළිතුර දැනගැනීම සඳහා යේසුස්ගේ කාලයේදී සිදු වූ දෙයක් සලකා බලමු.
යේසුස් යෙරුසලමට යමින් සිටියදී ඔහුට ලාදුරු රෝගීන් දසදෙනෙකුව මුණගැසුණා. ඒ සිද්ධිය ගැන බයිබලයේ මෙසේ වාර්තා වී තිබෙනවා. “ඔහු යෙරුසලමට යද්දී, ඔහු සමාරිය සහ ගලීලය මැදින් ගමන් කළේය. ඔහු එක්තරා ගමකට ඇතුල් වෙද්දී, ලාදුරු රෝගීන් දසදෙනෙකු ඔහු වෙතට පැමිණි නමුත් ඔවුහු ඈතින් සිටගෙන, ‘යේසුස්, ගුරුතුමෙනි, අපට අනුකම්පා කරන්න!’ යයි හඬ නඟා කීවෝය. ඔහු ඔවුන්ව දුටු විට, ‘ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිටින්න’ යයි ඔවුන්ට කීවේය. ඔවුහු පිටත්ව යද්දී පවිත්‍ර වූහ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහත් හඬින් දෙවිව මහිමයට පත් කරමින් නැවත හැරී ඇවිත්, යේසුස්ගේ පාමුල මුණින් වැටී ඔහුට ස්තුති කළේය. ඔහු සමරිතානුවරයෙක් විය.”—ලූක් 17:11-16.
යේසුස්ට තම ස්තුතිය පළ නොකළ අනිකුත් ලාදුරු රෝගීන් නවදෙනා ගැන යේසුස්ට හැඟුණේ කෙසේද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යේසුස් උත්තර දෙමින් මෙසේ කීවේය. “දසදෙනාම පවිත්‍ර වූවා නොවේද? එසේනම්, අනික් ලූක් 17:17, 18.
නවදෙනා කොහේද? වෙනත් ජාතියකට අයත් මේ මිනිසා හැර, දෙවිව මහිමයට පත් කිරීමට වෙන කිසිවෙකු ආවේ නැද්ද?”—සුවය ලැබූ අනෙකුත් ලාදුරු රෝගීන් නවදෙනා නරක අය නොවෙයි. ඔවුන්ට යේසුස් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා. ඒ නිසයි යෙරුසලමට ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිටින්න කියා යේසුස් පැවසූ විට ඔවුන් ඊට කීකරු වුණේ. යේසුස් ඔවුන් වෙනුවෙන් කළ දේ ගැන ඔවුන්ට ලොකු අගයක් තිබුණත් ඒ බව ප්‍රකාශ කරන්න ඔවුන් අසමත් වුණා. යේසුස් ඒ සම්බන්ධයෙන් සතුටු වුණේ නැහැ. අපි ගැන කුමක් කිව හැකිද? කෙනෙක් අප වෙනුවෙන් යම් යහපත් දෙයක් කළ විට ඉක්මනින්ම ඒ සඳහා අපේ අගය ප්‍රකාශ කිරීමට අපි පෙලඹෙනවාද?
බයිබලයේ සඳහන් වන ආකාරයට ‘ප්‍රේමය ඇති කෙනෙක් තමන්ගේම කාරණා සොයන්නේ නැහැ.’ (1 කොරින්ති 13:4, 5) ඒ අනුව අන් අයව අගය කිරීම ප්‍රේමය පෙන්වීමක් කියා පැවසිය හැකියි. ලාදුරු රෝගීන් පිළිබඳ සිද්ධියෙන් පැහැදිලි වන ආකාරයට යේසුස්ව ආදර්ශයට ගන්න කැමති අය අන් අයගේ ජාතිය, ආගම නොතකා සෑම කෙනෙකුටම ප්‍රේම කළ යුතුයි.
ඔබේ අසල්වාසීන්ට, රැකියා ස්ථානයේ අයට, පාසැලේ මිතුරන්ට, වෛද්‍යවරයාට හෝ ඔබට උපකාර කළ වෙනත් අයට අවසාන වතාවට ඔබ ස්තුති කළේ කවදාද? දවසක් හෝ දෙකක් ඇතුළත ඔබ අන් අයව කොපමණ වාර ගණනක් අගය කළාද කියා සටහන් කරගන්න. එසේ කිරීම අන් අයව අගය කිරීම අතින් දියුණු වීමට උපකාරවත් වෙයි.
“සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම” අපට ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්. (යාකොබ් 1:17) ඒ නිසා වැඩියෙන්ම අපේ ස්තුතිය ලබන්න වටින්නේ යෙහෝවා දෙවියි. ඔහු අප වෙනුවෙන් කර තිබෙන යහපත් දේවල් සඳහා ඔබ අවසාන වතාවට ඔහුට ස්තුති කළේ කවදාද?—1 තෙසලෝනික 5:17, 18.
අප ස්තුතිවන්ත විය යුත්තේ ඇයි?
අප අන් අය වෙනුවෙන් යහපත් ක්‍රියා කළත් ඔවුන් අපව අගය නොකරන්න පුළුවන්. නමුත් එවන් තත්වයකදී පවා අප අන් අයව අගය කළ යුතුයි. එසේ පැවසීමට එක් හේතුවක් සලකා බලන්න.
අන් අය අපට ස්තුති නොකළත් අපි ඔවුන්ට ස්තුති කිරීමෙන් සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව අනුකරණය කරන්න අපට හැකි වෙනවා. යෙහෝවා දෙවි මිනිසුන් වෙනුවෙන් යහපත් දේවල් රැසක් කර ඔහුගේ ප්‍රේමය පෙන්වා තිබුණත් බොහෝදෙනා ඔහුට ස්තුතිවන්ත වෙන්නේ නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි දිගටම යහපත් දේවල් කරනවා. (රෝම 5:8; 1 යොහන් 4:9, 10) බයිබලයේ සඳහන් වෙන්නේ “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය” කියායි. අපි ස්තුතිවන්ත නොවන මිනිසුන් අතරේ ජීවත් වුණත් දිගටම ස්තුතිවන්ත ආකල්පයක් ඇතුව සිටීමෙන් අපත් ‘ස්වර්ගයෙහි සිටින පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීමට’ හැකි වෙනවා.—මතෙව් 5:45.
[පාදසටහන]
^ 14 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත බොහෝ දෙමව්පියන් තම දරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. එහි 18වන පරිච්ඡේදයේ මාතෘකාව වන්නේ “ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?” යන්නයි.
[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දවසක් හෝ දෙකක් ඇතුළත ඔබ අන් අයව කොපමණ වාර ගණනක් අගය කළාද කියා සටහන් කරගන්න
[15වන පිටුවේ පින්තූරය]
අන් අයව අගය කිරීම සම්බන්ධයෙන් දරුවන්ට කදිම ආදර්ශයක් තබන්න
[15වන පිටුවේ පින්තූරය]
අන් අයව අගය කිරීම සඳහා දරුවන්ව පුහුණු කළ හැකියි