Skip to content

පටුනට යන්න

කිසිම දෙයකට “දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ” හැකිද?

කිසිම දෙයකට “දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ” හැකිද?

දෙවිට ළං වෙන්න

කිසිම දෙයකට “දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ” හැකිද?

රෝම 8:38, 39

ආදරය ලබන්න අකමැති කවුද? පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ආදරය ලැබෙද්දී අපට ලොකු සතුටක් දැනෙනවා. නමුත් ඔවුන් පවා අපේ සිත රිදවීමට ඉඩ තිබෙනවා. මේ නිසා මිනිසුන් අතර ඇති බැඳීම් නැති වී යා හැකියි. නමුත් අපට සෑමදාමත් ආදරය කරන කෙනෙක් සිටිනවා. ඒ යෙහෝවා දෙවියි. ඔහු තම සේවකයන්ට කොතරම් ප්‍රේම කරනවාද කියා බයිබල් ලේඛකයෙක් වූ පාවුල් රෝම 8:38, 39හි විස්තර කළා.

එහි සඳහන් වන ආකාරයට කිසිම දෙයකට හෝ කිසිම කෙනෙකුට ‘දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි’ බව පාවුල් විශ්වාස කළා. ඒ නිසයි “මට මේ දේ ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත” කියා ඔහු පැවසුවේ. පාවුල් “අපව” යන වචනය යොදාගෙන තිබෙන්නේ දෙවි තමන්ට නමස්කාර කරන සෑම කෙනෙකුටම ප්‍රේම කරන බව තහවුරු කිරීමටයි. දෙවිගේ ප්‍රේමයෙන් ඔහුගේ සේවකයන්ව වෙන් කළ නොහැකි පැති කිහිපයක් ගැන පාවුල් සඳහන් කළා. දැන් අපි ඒවායෙහි අර්ථය සලකා බලමු.

“මරණයටවත්, ජීවනයටවත්.” තමාට විශ්වාසවන්තව සිට මිය ගිය අයව දෙවි කෙදිනකවත් අමතක කරන්නේ නැහැ. ඊට හේතුව දෙවි ඔවුන්ට ප්‍රේම කිරීමයි. ඒ නිසා ඉදිරියේදී ඔවුන්ට නැවත ජීවිතය ලබා දී පාරාදීස පොළොවක විසීමට දෙවි අවස්ථාව සලසා දෙනවා. (යොහන් 5:28, 29; එළිදරව් 21:3, 4) එමෙන්ම තම සේවකයන් ජීවිතයේ මොන තරම් අමිහිරි දේවල් අද්දැක්කත් දෙවි ඔවුන්ට දක්වන ප්‍රේමය කිසිදාක අඩු කරන්නේ නැහැ.

“දේවදූතයන්ටවත්, ආණ්ඩුවලටවත්.” යම් දේවල් කිරීම සඳහා මිනිසුන්ට බල කිරීමට බලය හොබවන අයට හැකියි. නමුත් යෙහෝවා දෙවිට බල කිරීමට බලවතුන්ටවත් දේවදූතයන්ටවත් සාතන් නමැති යක්ෂයාටවත් හැකියාවක් නැහැ. (එළිදරව් 12:10) ඉන් පෙනී යන්නේ දෙවි තම සේවකයන්ට දක්වන ප්‍රේමයට බාධා කරන්න කිසිවෙකුටවත් බැරි බවයි. ආණ්ඩු දෙවිගේ සේවකයන්ට විරුද්ධවාදිකම් පෑවත් දෙවි ඔවුන්ට පෙන්වන ප්‍රේමය කිසිදිනෙක වෙනස් වෙන්නේ නැහැ.—1 කොරින්ති 4:13.

“දැන් තිබෙන දේවල්වලටවත්, පැමිණෙන්න තිබෙන දේවල්වලටවත්.” දෙවි තම සේවකයන්ට දක්වන ප්‍රේමය කාලයත් සමඟ අඩු වෙන්නේ නැහැ. වර්තමානයේදී හෝ අනාගතයේදී සිදු විය හැකි කිසිම දෙයකට අපව දෙවිගේ ප්‍රේමයෙන් වෙන් කළ නොහැකියි.

“බලයන්ටවත්.” පොළොවේ තිබෙන දේවල් සහ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන පාවුල් කලින් සඳහන් කළා. ඒවාට “දේවදූතයන්” සහ “ආණ්ඩු” ඇතුළත්. නමුත් මෙහිදී පාවුල් කතා කරන්නේ “බලයන්” ගැන පමණයි. එයින් ඔහු කුමක් අදහස් කළත් ඉන් එක් දෙයක් නම් පැහැදිලියි. එනම් ස්වර්ගයේ හෝ පොළොවේ තිබෙන කිසිම දෙයකට දෙවිගේ සේවකයන්ව ඔහුගේ ප්‍රේමයෙන් වෙන් කළ නොහැකි බවයි.

“උසටවත්, ගැඹුරටවත්.” තමාට නමස්කාර කරන අය කුමන තරාතිරමක සිටියත් යෙහෝවා දෙවි ඔවුන්ට එක සේ ප්‍රේම කරනවා.

“වෙන කිසි මැවිල්ලකටවත්.” පාවුල් පවසන මේ දේට යෙහෝවා දෙවිගේ සියලුම නිර්මාණයන් ඇතුළත් වෙනවා. ඔහු මෙයින් පෙන්නුම් කරන්නේ කිසිම දෙයකට යෙහෝවා දෙවිගේ ප්‍රේමයෙන් ඔහුගේ සේවකයන්ව වෙන් කිරීමට නොහැකි බවයි.

මිනිසුන් එකිනෙකාට දක්වන ආදරය වෙනස් වුණත් යෙහෝවා දෙවි තම සේවකයන්ට දක්වන ආදරය නම් කිසිදිනෙක වෙනස් වෙන්නේ නැහැ. එය සදාකාලිකයි. මෙය දැනගැනීමෙන් යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද?