Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්ව පාවා දීම වෙනුවෙන් යූදස්ට රිදී කාසි 30ක් ගෙව්වේ ඇයි?

යේසුස්ව පාවා දීම වෙනුවෙන් තමන්ට කොතරම් මුදලක් ගෙවනවාද කියා යූදස් ඉස්කාරියොත් නායක පූජකයන්ගෙන් ඇසුවා. එවිට ඔවුන් යූදස්ට “රිදී කාසි තිහක්” දීමට එකඟ වුණා. (මතෙව් 26:14, 15) ඔවුන් යේසුස්ට වෛර කරමින් යේසුස්ව කොතරම් සුළු කොට තැකුවාද කියා මින් පැහැදිලි වෙනවා.

යූදස්ට දෙන බවට එකඟ වූ කාසි බොහෝදුරට එවකට භාවිත කළ සම්මත මුදල් ඒකකය වූ රිදී ෂෙකෙල් විය හැකියි. රිදී ෂෙකෙල් 30ක වටිනාකම කොපමණද? මෝසෙස්ගේ නීතියේ සඳහන් වූ ලෙස එය දාසයෙකුගේ වටිනාකමට සමානයි. එමෙන්ම එයින් කුඩා බිම් කොටසක්ද මිල දී ගැනීමට හැකි වුණා.—නික්මයාම 21:32; මතෙව් 27:6, 7.

සෙකරියා නම් අනාගතවක්තෘවරයා දෙවිගේ සෙනඟව රැකබලා ගන්නා එඩේරෙක් ලෙස ක්‍රියා කළා. ඒ සඳහා තමන්ට ලැබිය යුතු මුදල ඔහු ඉල්ලූ විට එම සෙනඟ “රිදී කාසි තිහක්” කිරා ඔහුට ලබා දුන්නා. මෙසේ ඔවුන් පෙන්නුම් කළේ එම අනාගතවක්තෘවරයා දාසයෙකුට සමාන බවයි. ඒ නිසා යෙහෝවා දෙවි සෙකරියාට මෙසේ නියෝග කළා. “ඔවුන් මාව කොතරම් සුළු කොට සලකනවාද කියා ඔබ දුටුවෙහිද? ඔබට ලැබුණු රිදී ෂෙකෙල් භාණ්ඩාගාරයට වීසි කරන්න.” (සෙකරියා 11:12, 13, නව ලොව පරිවර්තනය, NW) දෙවි පැවසූ ලෙසම සෙකරියා කළා. එයින් අපට සිහිගැන්වෙන්නේ යේසුස්ව පාවා දීමෙන් තමන්ට ලැබුණු මුදල සම්බන්ධයෙන් යූදස් කළ දෙයයි.—මතෙව් 27:5.

බයිබලයේ සඳහන් කර තිබෙන “අත්හැරීමේ පත්‍රය” කුමක්ද?

මෝසෙස්ගේ නීතිය තුළ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “තමන් විවාහ කරගත් ස්ත්‍රියක් නොමනා ආකාරයකින් හැසිරෙන බව දකින පුරුෂයෙකුට ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න ඔහු තීරණය කළ හැකියි. ඔහු ඇගෙන් දික්කසාද වී ඇති බවට ලියවිල්ලක් පිළියෙල කර ඇයට දී ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.” (ද්විතීය කතාව 24:1NW) මෙවැනි ලියවිල්ලක අරමුණ කුමක්ද? එවැනි ලියවිල්ලක සඳහන් වුණේ මොනවාද කියා බයිබලයෙහි වාර්තා වී නැහැ. නමුත් අත්හරින ලද ස්ත්‍රියගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට එවැනි ලියවිල්ලක් දායක වූ බවට සැකයක් නැහැ.

වර්ෂ 1951-1952 අතරතුර කාලයේදී යුදා පාළුකරයේ වාඩි මුරාබාට් ප්‍රදේශයේ ගුහාවලින් පුරාණ ලියකියවිලි කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒවා අතර ක්‍රිස්තු වර්ෂ 71දී හෝ 72දී අරාමීය භාෂාවෙන් ලියැවුණු අත්හැරීමේ පත්‍රයක්ද තිබුණා. මාර්හෙෂ්වාන් නම් මාසයේ පළමුවෙනි දින සිදු වූ දෙයක් ගැන එහි සඳහන් වී තිබුණා. එනම් මසඩාවල විසූ නාක්සාන්ගේ පුත් ජෝසෙෆ්, හානාබ්ලාටාවල විසූ ජොනතන්ගේ දියණිය වන මීරියම්ව දික්කසාද කිරීම ගැනයි. එහි සඳහන් ලෙස ජෝසෙෆ් මීරියම්ගේ දෑවැද්ද නැවත ඇයට ලබා දුන්නා. එමෙන්ම ඇගේ බඩු මුට්ටුවලට යම් අලාභහානි සිදු වී තිබුණා නම් එහි වටිනාකම මෙන් සතර ගුණයක්ද ගෙවනු ලැබුවා. මෙම ලියවිල්ලෙහි ජෝසෙෆ් ඇතුළු තවත් සාක්ෂිකරුවන් තිදෙනෙක් අත්සන් කර තිබුණා. එම සාක්ෂිකරුවන් වූයේ මාල්කාගේ පුත් එලීසර්, මාල්කාගේ පුත් ජෝසෙෆ් සහ හානානාගේ පුත් එලිඒසර් යන අයයි. මෙසේ එම අත්හැරීමේ පත්‍රයෙන් මීරියම්ට තමන් කැමති යුදෙව්වෙකු සමඟ නැවත විවාහ වීමට නිදහස ලැබුණා.

[25වන පිටුවේ පින්තූරය]

යුදා පාළුකරයේ වාඩි මුරාබාට් ප්‍රදේශයේ ඇති ගුහාවන්

[25වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 71-72 කාලයට අයත් අත්හැරීම් පත්‍රය

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Caves: Todd Bolen/​Bible Places.com; certificate: Clara Amit, Courtesy of the Israel Antiquities Authority