Skip to content

පටුනට යන්න

“ගඟ ළඟින් දකුණට හැරෙන්න”

“ගඟ ළඟින් දකුණට හැරෙන්න”

නිකරගුවාවෙන් ලිපියක්

“ගඟ ළඟින් දකුණට හැරෙන්න”

“හොඳ වාහනයක් තිබුණොත් ඔයාට මඩේ එරෙන්නේ නැතුව ගමන යන්න පුළුවන් වෙයි. බැරි වෙලාවත් වාහනය මඩේ එරුණොත් ඒක ගොඩගන්න මොකක් හරි උපකරණයකුත් ගෙනියන්න. කෝකටත් වාහනයට වැඩිපුර තෙල් ටිකක් ගෙනියන එකත් හොඳයි. මතක ඇතුව කොකෝ ගඟ ළඟින් දකුණට හැරෙන්න.”

ඒ උපදෙස් මට ලැබුණේ මගේම ආගමේ යාළුවෙකුගෙන්. හැබැයි ඒ උපදෙස් මම යන ගමනට බාධාවක් වුණේ නැහැ. මම යන්න සූදානම් වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන දෙදින එක්රැස්වීමකටයි. ඒක පැවැත්වෙන්නේ නිකරගුවාවේ වාන්බ්ලාන් කියන ප්‍රදේශයේයි. මම අඟහරුවාදා උදෑසනින්ම මගේ ට්‍රක් රථයෙන් ගමන ඇරඹුවා.

පෑන්-ඇමරිකා අධිවේගී මාර්ගයෙන් ගමන්ගත් මම හිනෝටේගා නගරයෙන් වෙනත් පාරකට හැරුණා. ඒ ගමේ අයට නම් ඒ පාර කිසි කමකට නැති එකක්. ඒ පාරට හැරෙන්න කලින් දෙවිගේ ප්‍රාතිහාර්යය සහ නැවත නැඟිටීම කියලා නම් කර තිබුණු සාප්පු දෙකකුත් මම දැක්කා.

මේ පාර කඳු, පල්ලම් සහ වංගුවලින් පිරිලා. එක පැත්තක තිබුණේ ප්‍රපාතයක්. ඒ නිසා මම වාහනය පැදෙව්වේ හරිම හෙමින්. මේ පාරේ යද්දී මට තැනිතලා ප්‍රදේශයක් හමු වුණා. කඳු මුදුනේ පිහිටා තිබුණු ඒ තැනිතලාවේ එක පැත්තක තිබුණේ ලොකු වැවක්. මීදුමෙන් වැසී ගිය පාර අයිනේ ඕකිඩ් මල් පිපිලා තියෙනවා බලන්නත් ලස්සනයි.

එක තැනකදී මම වංගුවකින් වාහනය හරවනවාත් එක්කම බස් රථයක් හරිම වේගයෙන් ආවා. මම බේරුණේ අනූනවයෙන්. කලු දුම් පිට කරමින් පැමිණි ඒ බස් රථය කොච්චර වේගයෙන් ආවාද කියනවා නම් ඒකේ රෝද කැරකෙද්දී ගල් කැටත් විසි වුණා. නිකරගුවාවල ඉන්න බස් රියදුරන් ඒ අයගේ නිර්භීතකම පෙන්වන්න බස් රථයේ ඉදිරි වීදුරුවේ ගෝනුස්සා, පිඹුරා, දඩයක්කාරයා, ජයග්‍රාහකයා වැනි විවිධ නම් ලියලා තිබුණා.

දවල් 12ට විතර මම පාන්ටාස්මා ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටින විට අපූරු දර්ශන කිහිපයක් මගේ නෙත ගැටුණා. ඒ තමයි ලස්සන මිදුලක් එක්ක තිබුණු ලෑලි ගෙය, බංකුවක් මත ඉඳගෙන සිටි මහලු පුද්ගලයා, ගහක් යට නිදා සිටි බල්ලා සහ කරත්තයකට ගැට ගසා සිටි ගවයන් දෙදෙනා. ඊට අමතරව කුඩා නගරයක් හරහා යද්දී නිල් පාට නිල ඇඳුමෙන් සැරසී සිටි පාසැල් ළමුන් පිරිසක් පාසැලෙන් පිට වෙනවා දැක්කේ හරියට අලංකාරවත් මුහුදු රළක් වගෙයි.

මම කොකෝ ගඟ මුල්වතාවට දැක්කේ විවිලිවලට ගිය මොහොතෙයි. ඒ වෙලාවේ තිබුණේ ගිනියම් අව්වක්. මේ නගරයේ කොකෝ ගඟ හරිම ප්‍රසිද්ධයි. මට ලැබුණු උපදෙස්වලට අනුව වාන්බ්ලාන්වලට යන්න ඒ ගඟ ළඟින් මම දකුණට හැරුණා. මෙහෙ ඉඳන් ඒ ප්‍රදේශයට හැතැක්ම 23ක දුරක් තියෙනවා. යන්න තියෙන පාරත් ඒ තරම් හොඳ එකක් නෙවෙයි.

ඒ පාරේ ගලුයි වළවලුයි පිරිලා. දොළ පාරවල් අටක් නවයක් හරහා යද්දී වතුර දෙපැත්තට විසි වෙලා ගියා. පාරේ වළවල් තිබුණ නිසා මම වාහනය පැදෙව්වේ පාර අයිනෙන්. ඒ නිසා මට යන්න සිද්ධ වුණේ දූවිලි නාගෙනයි. අවසානයේදී හරිත වියනකින් වැසී ගිය වාන්බ්ලාන්වලට මම ආවා.

මේ ප්‍රදේශයේ අය සාමාන්‍යයෙන් පාන්දර 4:30ට විතර ඇහැරෙනවා. කුකුලන් හඬලද්දී මාත් උදෙන්ම අවධි වෙලා ටිකක් ඇවිදින්න ගියා. ඒ යන අතරේදී හැමූ සිසිල් සුළඟ ගතට ප්‍රබෝධයක් ගෙන ආවා. ඒත් එක්කම පාන් පුච්චන සුවඳකුත් මට දැනුණා.

නොයෙක් තැන්වල බිත්ති මත පාරාදීසයක දසුන් සිතුවම් කර තිබුණා. ඒ වගේම පාරේ තිබුණු කඩවල්වල සිසිල් බීම දැන්වීම් තිබෙනවා මම දැක්කා. පසුගිය ආණ්ඩු ක්‍රම මිනිසුන්ට දී තිබූ පොරොන්දු සිහිගන්වන පෝස්ටර්ද තැනින් තැන අළවා තිබුණා.

මට මුණගැසුණු අය මාත් එක්ක මිත්‍රශීලීව කතා කළා. හැබැයි අවටින් ගමන්ගත් අශ්වයන්ගේ හා කොටළුවන්ගේ ශබ්දය නිසා අපිට ටිකක් හයියෙන් කතා කරන්න සිද්ධ වුණා.

සිකුරාදා හවස් වෙද්දී දෙදින එක්රැස්වීමට සහාභාගි වීමට සෙනඟ එන්න පටන්ගත්තා. සමහර අය අශ්වයන් පිට හා වාහනවලින් ආවත් පයින් පැමිණි පිරිසක්ද සිටියා. ඒ අය අතර පැය හයක් තිස්සේ පයින් ආ දරුවන් කිහිපදෙනෙකුත් සිටියා. ගංගාවලින් එගොඩ වී එද්දී බිම්බෝම්බවලට හසුවීමේ අවධානමක් තිබුණත්, ඔවුන් බැස ආ දිය කඩිතිවල ලැඟුම්ගත් කූඩැල්ලන් සිටියත් නිර්භීතව ඒ දරුවන් මෙම ස්ථානයට ඇවිත් සිටියා. දුර බැහැර සිට පැමිණි සමහරුන්ට ඒ හැටි කෑමක් තිබුණෙත් නැහැ. මේ හැමෝම ඇවිත් තියෙන්නේ ඇයි?

ඔවුන් සියලුදෙනාම ආවේ අනාගතය සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබෙන බලාපොරොත්තුව තවත් ශක්තිමත් කරගැනීමටයි. ඒ වගේම බයිබලයේ තිබෙන උපදෙස් ඉගෙනගෙන දෙවිට ප්‍රසන්න වන ලෙස තම ජීවිත ගත කරන්නත් ඔවුන්ට ලොකු ආශාවක් තිබෙනවා.

සෙනසුරාදා උදෑසනින් එක්රැස්වීම ඇරඹුණා. තුන්සියයකට අධික පිරිසකට සෙවණ ලබා දුන්නේ තහඩු වහලක්. අපි ඉඳගත්තේ බංකු හා ප්ලාස්ටික් පුටුවලයි. එහා වත්තේ ගොවිපොළක් තිබුණු නිසා විටින්විට ඌරන්ගේ හා කුකුලන්ගේ ශබ්දයත් අපිට ඇසුණා.

දවල් වේගෙන එද්දී දරාගන්න අමාරු රස්නයක් තිබුණත් සෑමදෙනාම වැඩසටහනට හොඳ අවධානයක් දීගෙන සිටියා. කථිකයා බයිබල් පද කියවද්දී හැමෝම වගේ තමන්ගේ බයිබලය පෙරළා බැලුවා. එමෙන්ම ඔවුන් එක්රැස්වීම අතරවාරයේදී ගායනා කළ ගීතිකාවලටත් හවුල් වෙමින් යාච්ඤාවලටත් ගෞරවනීයව සවන් දුන්නා.

එක්රැස්වීම අවසන් වුණාට පස්සේ මම පොඩි අයත් එක්ක ටිකක් සෙල්ලම් කළා. මගේ පරිගණකයේ තිබුණු තරුවල සහ මන්දාකිණිවල පින්තූර මම පෙන්නුවාම ඔවුන් හුඟක් සතුටු වුණා. ඒ දරුවන්ගේ දෙමව්පියනුත් හිටියේ හරිම සතුටෙනුයි.

මේ දවස් දෙක හරිම ඉක්මනට ගෙවිලා ගියා. මෙහි පැමිණි සියලුදෙනාම ආපසු තමන්ගේ නිවෙස් බලා පිටත් වුණා. මමත් ඊළඟ දවසේ උදෑසනින්ම මගේ සොඳුරු මතකයන් සමඟ එහෙන් පිටත් වුණා. එහෙදී මට මුණගැසුණු මිත්‍රයන්ව නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇති දෙයින් සෑහිමට පත් වී දෙවි කෙරෙහි විශ්වාසය තබා ජීවත්වීමේ තියෙන වටිනාකම මම ඒ අයගෙන් ඉගෙනගත්තා.

[17වන පිටුවේ පින්තූර]

එක්රැස්වීමට සහභාගි වෙන්න සමහරු සැතපුම් ගණනක් දුර ගෙවාගෙන වාන්බ්ලාන්වලට පැමිණියා