Skip to content

පටුනට යන්න

ජීවිතය කොතරම් වටිනවාද!

ජීවිතය කොතරම් වටිනවාද!

ජීවිතය කොතරම් වටිනවාද!

දිනය 2007 අප්‍රියෙල් 16වනදායි. මම සිටියේ වර්ජිනියාවේ එක් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක පිහිටි මහල් හතරකින් යුත් ගොඩනැඟිල්ලක තුන්වන මහලෙයි. එදින මට යළිත් වතාවක් සිහි ගැන්වුණේ එක දවසක් හෝ ජීවත් වීමට ලැබීම මොන තරම් වටිනවාද යන කාරණයයි.

එදින මම යම් ලියවිලි වගයක් එකතු කරගැනීමට දෙවන මහලට යෑමට සූදානම් වුණා. ඒ අවස්ථාවේදී කාර්මික අංශයේ මහාචාර්යවරයෙක් ඇවිත් කිව්වා ඔහුගේ පරිගණකයේ යම් දෝෂයක් ඇති වී තිබෙන නිසා ටිකකට ඇවිත් එය හදලා දෙන්න කියලා. ඊට පස්සේ අපි දෙන්නා ඔහුගේ කාර්යාලයට ඇතුල් වෙනවාත් සමඟම දෙවන මහලෙන් එක දිගටම වෙඩි හඬවල් ඇසෙන්න පටන්ගත්තා. මොනවද මේ වෙන්නේ කියලා අපිට හිතාගන්න බැරි වුණ නිසා අපි ඉක්මනටම කාමරයට ගිහින් දොර වහගත්තා. අපිට හිතුණා අපේ ජීවිත අනතුරේ තියෙනවා කියලා. මම ඒ වෙලාවේ කාමරයේ මුල්ලකට වෙලා යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලුවා.

ඒ අවස්ථාවේදී මීට අවුරුදු 15කට පෙර සිදු වූ සිද්ධියක් මට මතක් වුණා. ඒ වෙද්දී මම වැඩ කරමින් සිටියේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකයි. මාත් එක්ක වැඩ කරමින් සිටි මගේ යාළුවාගේ අතේ තිබුණු පෙට්‍රල් භාජනය නොසිතූ ලෙස ගිනි ගත්තා. ඔහු කලබල වෙලා අතේ තිබුණු ඒ භාජනය විසි කළා. ඒක කෙළින්ම ඇවිත් වැදුණේ මගේ මුහුණෙයි. මගේ මුහුණ භයානක විදිහට පිච්චුණා. මාස තුනහමාරක් තිස්සේ මට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න සිදු වුණා. ඒ කාලයේ ජීවිතයත් මරණයත් අතර මම ගෙන ගිය සටන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මාස පහකට පස්සේ සුවය ලබා මට ආපහු ගෙදර යන්න ලැබුණු එක ගැන මම සතුටු වුණා. ජීවත් වීමට ලැබෙන හැම මොහොතක්ම කොයි තරම් වටිනවාද කියලා මම ඒ සිද්ධියෙන් ඉගෙනගත්තා. ඒ වගේම මට ජීවිතය ලබා දුන් දෙවිට උපරිමයෙන් සේවය කරන්නත් එය මාව පෙලඹුවා.—ගීතාවලිය 90:12; යෙසායා 43:10.

මේ අනතුරෙන් පස්සේ මම කරමින් සිටි රැකියාවේ නැවතත් නියැලෙන්න මට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මම පරිගණක ක්ෂේත්‍රයේ යම් පුහුණුවක් ලැබුවා. මට වර්ජිනියා විශ්වවිද්‍යාලයේ රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණේ ඒ නිසයි.

එක්සත් ජනපදයේ මෙතෙක් සිදු වී ඇති දරුණුතම ඝාතන පෙළ සිදු වන්නේ අපි සිටි මහලට පහත මහලේ බව ඒ වෙද්දී අපි දැනගෙන සිටියේ නැහැ. විනාඩි 20කට පමණ පසු පොලිසියෙන් පැමිණෙද්දී ඝාතකයා අහිංසක ජීවිත 32ක් විනාශ කරමින් තමාගේ ජීවිතයත් විනාශ කරගෙන තිබුණා. පොලිසියේ උපකාරය ඇතුව අපි ආරක්ෂිත ස්ථානයකට ගියා.

මේ ඛේදජනක සිද්ධියෙන් ජීවිතය කොතරම් අවිනිශ්චිතද කියා මම තේරුම්ගත්තා. (යාකොබ් 4:14) ඒ නිසා අපිට ජීවිතය ලබා දුන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ජීවත් වීමට ලැබෙන සෑම මොහොතක්ම ඔහුගෙන් ලැබී තිබෙන වටිනා ත්‍යාගයක් ලෙස සැලකීම කොතරම් වැදගත්ද!—ගීතාවලිය 23:4; 91:2.

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/​The Roanoke Times, Alan Kim