Skip to content

පටුනට යන්න

දෙවිව හඳුනාගනිමු

දෙවිව හඳුනාගනිමු

දෙවිව හඳුනාගනිමු

යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූ ආදර්ශ යාච්ඤාව අද බොහෝදෙනාට කටපාඩමින් කිව හැකියි. (මතෙව් 6:9-13) ඔවුන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම දෙවිව හඳුන්වන්නේ “අපගේ පියාණෙනි” කියායි. නමුත් එම පියාණන්ව හොඳින් හඳුනනවා කියා පැවසිය හැක්කේ ඔවුන්ගෙන් කීයෙන් කීදෙනාටද?

ඔබ දෙවිව කොතරම් හොඳින් හඳුනනවාද? ඔබගේ දුක සැප බෙදාගත හැකි ආකාරයේ මිත්‍රත්වයක් ඔබට දෙවි සමඟ තිබෙනවාද? දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට අතුළත් වන්නේ කුමක්ද?

“ඔහුගේ නාමය යෙහෝවා”

කුඩා ළදරුවෙකුට තම පියාව දුටු සැණින් හඳුනාගත හැකි වුණත් ඔහුගේ පියා මොන වගේ කෙනෙක්ද කියා දන්නේ නැහැ. නමුත් දරුවා ටිකෙන් ටික වැඩෙද්දී පියාගේ නම මෙන්ම පියාගේ පෞද්ගලිකත්වය ගැනත් දැනගන්නවා. ඒ නිසා කාලයත් සමඟම ඔහුට පියා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපි සියලුදෙනාටම ජීවිතය දුන් දෙවි ගැන කුමක් කිව හැකිද? ඔහුගේ නම සහ එහි අර්ථය ඔබ දන්නවාද?

අද බොහෝදෙනෙක් “දෙවිගේ නාමයට ගෞරව වේවා” කියා යාච්ඤා කළත් “එම නාමය කුමක්ද” කියා දන්නේ නැහැ. තරු පිරි අහස, මනරම් කඳු, වර්ණවත් කොරල්පර වැනි දේවල් දෙවි කෙනෙකු සිටින බවට සාක්ෂි සපයනවා. නමුත් ඒ කිසිම දෙයකට දෙවිගේ නාමය කුමක්ද කියා හෙළි කළ නොහැකියි. එය දැනගැනීමට නම් අප බයිබලය අධ්‍යයනය කළ යුතුයි. එහි සඳහන් වන්නේ “ඔහුගේ නාමය යෙහෝවා” කියායි.—නික්මයාම 15:3.

යෙහෝවා යන දෙවිගේ නාමයට ගැඹුරු අර්ථයක් තිබෙනවා. එයින් දෙවිගේ පෞද්ගලිකත්වය හෙළි වන නිසා අපි එම නාමයේ අර්ථය දැනගන්නවාට දෙවි කැමතියි. ඒ නාමයේ අර්ථය වන්නේ “තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තා” යන්නයි. එනම් ඔහුගේ අරමුණු ඉටු කිරීම සඳහා ඔහුට ඕනෑම තත්වයකට අනුව හැඩගැසිය හැකි බවයි. එය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. පියෙක් තම පවුලේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සපයන්නෙක්, උපදේශකයෙක්, විනිසුරුවෙක්, ආරක්ෂකයෙක් හා ගුරුවරයෙක් වැනි විවිධ තත්වයන්ට අනුව හැඩගැසෙනවා. ඒ හා සමානව තමන්ට පක්ෂපාත අයට ආශීර්වාද කිරීම සඳහා යෙහෝවා දෙවිත් ඕනෑම තත්වයකට අනුව හැඩගැසෙනවා.

දෙවිගේ නාමයේ අර්ථයට අනුව ඔහු විවිධ තත්වයන්ට අනුව හැඩගැසෙන්නේ කෙසේද කියා අපි දැන් සලකා බලමු. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහුට තවත් ළංවීම සඳහා කළ යුතු දේ කුමක්ද කියා ඔබට පැහැදිලි වේවි.

“ප්‍රේමයේද සමාදානයේද දෙවි”

බයිබල් ලේඛකයෙකු වූ පාවුල් අපේ නිර්මාතෘව “ප්‍රේමයේද සමාදානයේද දෙවි” කියා හැඳින්වූවා. (2 කොරින්ති 13:11) ඊට හේතුව යේසුස් මෙසේ පවසා තිබීමයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) දෙවි මනුෂ්‍යයන්ට බෙහෙවින් ප්‍රේම කරන නිසා ඔහු කෙරෙහි ඇදහිල්ල තබන අයට සදාකාල ජීවනය ලබාගැනීමට අවස්ථාව සලසා දුන්නා. එසේ කළේ ජීවිතය පූජා කිරීමට තම ප්‍රේමණීය පුත්‍රයාව පොළොවට එවීමෙනුයි. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය” කියා බයිබලයෙහි සඳහන් වන්නේ ඒ නිසයි. (රෝම 6:23) මෙවැනි ප්‍රේමයක් දෙවි අපට පෙන්වා තිබෙන නිසා ඔහුට ළංවීමට අප පෙලඹිය යුතු නැද්ද?

යෙහෝවා දෙවි මුළු මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේම කරන අතර ඔහුට සේවය කරන අයට පෞද්ගලික සැලකිල්ලක් දක්වනවා. පුරාණයේ දෙවිට අකීකරු වූ ඊශ්‍රායෙල් සෙනඟට මෝසෙස් මෙසේ පැවසුවා. “කිසිවක් වටහා නොගන්නා අඥාන ජනයෙනි, ඔබ යෙහෝවා දෙවිට මෙලෙස සලකන්නේ මන්ද? ඔබව බිහි කළ පියාණන් මෙන්ම ඔබව ශක්තිමත් ලෙස ඇති දැඩි කළ තැනැත්තා ඔහු නොවේද?” (ද්විතීය කතාව 32:6, නව ලොව පරිවර්තනය, NW) එම වදන්වලින් අදහස් කරන දේ ඔබට අවබෝධ වුණාද? ඊශ්‍රායෙල් සෙනඟ කොතරම් අකීකරු වුණත් පියෙක් දරුවන්ට සලකන්නා සේ යෙහෝවා දෙවි ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවශ්‍ය දේවල් ඇතුළුව අනිකුත් සියලුම අවශ්‍යතාවන් දෙවි ඔවුන්ට සැපයුවා.

අප සෑම කෙනෙක්ම ජීවිතයේ විවිධ කම්කටොලුවලට මුහුණ දෙන නිසා කලකිරෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපේ තත්වය හොඳින් තේරුම්ගන්නා කෙනෙක් අපට උපකාර කරනවාට අපි කැමතියි. අපට එලෙස උපකාර කළ හැකි කෙනෙක් සිටිනවාද? තමන් ප්‍රේමණීය උපදේශකයෙක් මෙන්ම සැලකිලිමත් කෙනෙක් බව දෙවි බයිබලය මාර්ගයෙන් ඔප්පු කර තිබෙනවා. මිනිසුන් විවිධ දුෂ්කරතා අද්දකින හේතුව ගැනත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද කියාත් බයිබලයෙහි පැහැදිලි කර තිබෙනවා. දරුවෙක් යම් කරදරයකට මුහුණ දෙන විට පියා ඉක්මනින්ම දරුවාට උපකාර කිරීමට පෙලඹෙනවා. ඒ හා සමානව අපි ජීවිතයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවිත් අපට උපකාර කිරීම සඳහා පියවර ගන්නවා. එයින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි අපට කොතරම් ප්‍රේම කරනවාද යන්නයි. යෙහෝවා දෙවි තමා කෙරෙහි විශ්වාසය තබන අයට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින අතර ඒ සඳහා ඔහුට හැකියාවද තිබෙනවා.—යෙසායා 59:1.

අපේ අයැදීම්වලට සවන් දීමෙනුත් දෙවි අපට ප්‍රේම කරන බව පෙන්නුම් කර තිබෙනවා. ඔහුව “යාච්ඤා අසන තැනැත්තා” ලෙස බයිබලයේ හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 65:2NW) බයිබලයෙහි අපට මෙසේ දිරිගන්වා තිබෙනවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7) දෙවිට යාච්ඤා කිරීමෙන් හා බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් අපටත් “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” භුක්ති විඳිය හැකියි.

“සියල්ල දන්නා දෙවි”

යෙහෝවා දෙවිව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “දැනුමෙන් පූර්ණ තැනත්තා” ලෙසයි. “සියල්ල දන්නා දෙවි” ලෙස අපව හොඳින් තේරුම්ගන්නත් අපේ අවශ්‍යතා මොනවාද කියා හඳුනාගන්නත් දෙවිට හැකියි. (යෝබ් 36:4; 1 සාමුවෙල් 2:3NW) තම සේවකයා වූ මෝසෙස් මාර්ගයෙන් දෙවි මෙවැන්නක් පැවසුවා. ‘මිනිසාගේ ජීවිතය රඳන්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන දේවල් මතයි.’ (ද්විතීය කතාව 8:3, NW; මතෙව් 4:4) මින් පැහැදිලි වන්නේ සැබෑ සතුට අත් කරගැනීමට ධන සම්පත් තිබීම ප්‍රමාණවත් නොවන බවයි.

අපේ නිර්මාතෘ බයිබලය තුළින් අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. අපි බයිබලය කියවා එහි ඇති උපදෙස් අදාළ කරගන්නවා නම් අපිට ප්‍රයෝජන රැසක් අත් කරගත හැකියි. උදාහරණයකට සුසෑනා නම් කාන්තාව ඇගේ විවාහ ජීවිතය ගැන මෙවැනි දෙයක් පැවසුවා. “අපේ විවාහ ජීවිතය සාර්ථක වී තිබෙන්නේ අපි පවුලක් විදිහට බයිබලය අධ්‍යයනය කරමින් ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙමින් ඉගෙනගන්නා දේවල් අනික් අයත් සමඟ බෙදාගන්නා නිසයි. අපි දෙන්නම දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන නිසා අපි දෙන්නාගෙම අරමුණු එක සමානයි.”

දෙවි දී තිබෙන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න ඔබත් කැමතිද? නිතිපතා බයිබලය අධ්‍යයනය කර එහි ඇති මඟ පෙන්වීම් ඔබ අදාළ කරගන්නවා නම් ඔබටත් දෙවිගෙන් බොහෝ ආශීර්වාද ලබාගත හැකියි.—හෙබ්‍රෙව් 12:9.

“ගැලවීමේ දෙවි”

අද අපි ජීවත් වන්නේ ප්‍රශ්න ගැටලුවලින් පිරි ලොවකයි. ඒ නිසා හෙට දවසේ කුමක් වෙයිද කියා අපි කාටවත් කියන්න බැහැ. යුධමය වාතාවරණයක ජීවත් වන අපි බලා සිටින්නේ සාමය උදා වන තුරුයි. එමෙන්ම ප්‍රචණ්ඩත්වය, අපරාධ, ආර්ථික ගැටලු සහ ත්‍රස්තවාදය නිසා මිනිසුන් සිටින්නේ අසරණ තත්වයකයි. වෙන කිසිදාකටත් වඩා මිනිසුන්ට මේ කාලයේදී රැකවරණය අවශ්‍ය වී තිබෙනවා. ඇත්තටම එය ලබා දිය හැක්කේ කාටද?

“යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ තුළට දුව ගොස් ආරක්ෂාව ලබයි.” (හිතෝපදේශ 18:10NW) දෙවිගේ නාමය දැනගෙන එහි අර්ථය අවබෝධ කරගැනීම අපට මහත් සහනයක්. ඊට හේතුව යෙහෝවා දෙවිට තම සෙනඟ වෙනුවෙන් ඕනෑම තත්වයකට අනුව හැඩගැසී ඔවුන්ට උපකාර කළ හැකි බව එම නාමයේ අර්ථයෙන් හෙළි වන නිසයි. උදාහරණයකට අතීතයේදී යෙහෝවා දෙවි පාරාවෝගේ අශ්ව රථද, ඔහුගේ දක්ෂතම යුධ භටයන්වද විනාශ කර තම සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත්තා. එයින් ඔප්පු වුණේ තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව ගලවාගැනීමට යෙහෝවා දෙවිට හැකි බවයි. දෙවි අනාගතයේදී ඒ ආකාරයෙන්ම තම සෙනඟගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරයි කියා අපට නිසැක විය හැකියි.—නික්මයාම 15:1-4.

අපේ අනාගතය රඳා පවතින්නේ ගැලවුම්කරු ලෙස යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීම මතයි. අතීතයේ සිටි දාවිත් රජ දෙවිට තමාව ගලවාගැනීමට හැකියාව තිබෙන බව විශ්වාස කරමින් මෙසේ පැවසුවා. “ඔබ මට ගැලවීම සලසා දෙන දෙවිය.” (ගීතාවලිය 25:5NW) එමෙන්ම යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස්ද පැවසුවේ “දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය” කියායි.—2 පේතෘස් 2:9.

යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අයට දෙවි මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “ඔහු මාගේ නාමය දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.” (ගීතාවලිය 91:14NW) යෙහෝවා දෙවිගේ එම වදන් කොතරම් සත්‍යයද කියා ඔහුට සේවය කරන බොහෝදෙනා අද්දැක තිබෙනවා. උදාහරණයක් ලෙස මේ අද්දැකීම සලකා බලන්න. පෝලන්තයේ සිටින හෙන්රික් නොයෙකුත් පීඩා කරදර මැද වසර 70ක් දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ඔහුට වයස අවුරුදු 16දී ඔහුගේ පියාව ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පාවා නොදීම නිසා ඔස්ච්විට්ස්වල සිර කඳවුරකට යවනු ලැබූ අතර පසුව හෙන්රික්වත් ඔහුගේ සහෝදරයාවත් බාල දරුවන් වෙනුවෙන් තිබුණු සිර කඳවුරකට යවනු ලැබුවා. එතැන් සිට ඔහුට විවිධ සිර කඳවුරුවල ඉන්න සිදු වුණා. ඒ කාලය ගැන ඔහු දැන් මෙසේ පවසනවා. “ඒ පීඩාකාරී කාලවලදී යෙහෝවා දෙවි කවදාවත් මාව තනි කළේ නැහැ. මරණය අබියස සිටි අවස්ථාවලදී පවා විශ්වාසවන්තව සිටීමට ඔහු මට උපකාර කළා.” ඇත්තෙන්ම යෙහෝවා දෙවි තමන්ට පක්ෂපාතව සිටින සේවකයන්ට විවිධ පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.

ඉදිරියේදීත් යෙහෝවා දෙවි තමා කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාවම ආරක්ෂා කරනවා. ඒ ගැන යෙහෝවා දෙවිම මෙසේ පවසනවා. “මම යෙහෝවා දෙවිය. එකම මිදුම්කරු මමයි.” (යෙසායා 43:11NW) “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” සිදු වන විට ඔහු දුෂ්ට මිනිසුන්ව මේ පොළොවෙන් විනාශ කර දමා ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කරනවා. (එළිදරව් 16:14, 16; හිතෝපදේශ 2:21, 22) යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන්ට මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “නිහතමානි අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී ඇති සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11NW.

“දෙවිගේ දරුවන්”

අනාගතවක්තෘ මලාකිගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිව තම පියා ලෙස සැලකුවේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිට පූජාවන් ඔප්පු කළත් ඒවායෙහි කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඔබේ පියා වන මට ගෞරව නොකරන්නේ මන්ද?”—මලාකි 1:6NW.

පුරාණ ඊශ්‍රායෙල්වරුන් කළ වැරදි ක්‍රියා අනුගමනය නොකර ඒ වෙනුවට යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට ළංවීමට උත්සාහ කරන්න. බයිබලයේද සඳහන් වෙන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” කියායි.—යාකොබ් 4:8.

යෙහෝවා දෙවිව ඔබගේ පියා ලෙස පිළිගන්නවා නම් එයින් ඔබට යම් වගකීමක්ද පැවරෙනවා. ඔබ නිරතුරුවම යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ක්‍රියා කළොත් ඔහු කිසිම දිනක ඔබව තනි කරන්නේ නැහැ. ‘මරණය, වැලපීම, හැඬීම, වේදනාව’ තවත් නැති කාලයක ජීවත් වීමට ඔහු ඔබට අවස්ථාව ලබා දෙනවා. (එළිදරව් 21:4) ඒ කාලයේදී මුළු මිනිස් වර්ගයාම පාපයෙන් සහ මරණයෙන් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබනවා.—රෝම 8:21.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා යන දෙවිගේ නාමය අපි දැනගන්නවාට දෙවි කැමතියි. ඔහුගේ නාමයේ අර්ථය වන්නේ “තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තා” යන්නයි

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පීඩාකාරී කාලවලදී යෙහෝවා දෙවි කවදාවත් මාව තනි කළේ නැහැ.”—හෙන්රික්

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපේ විවාහ ජීවිතය සාර්ථක වී තිබෙන්නේ අපි පවුලක් විදිහට බයිබලය අධ්‍යයනය කරමින් ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙමින් ඉගෙනගන්නා දේවල් අනික් අයත් සමඟ බෙදාගන්නා නිසය.”—සුසෑනා