Skip to content

පටුනට යන්න

“දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා”

“දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා”

“දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා”

යාකෝප් නෝයිෆෙල්ඩ්

“මොනවා වුණත් දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා.” ඒ වදන් මගේ මනසේ තදින්ම කෙටිලා තිබුණු නිසා මම දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන්න අසල්වැසි ගමකට ගියා. එහෙට යන්න මට සැතපුම් තුනක් ඇවිදින්න සිද්ධ වුණා. ඒත් මුල්ම ගෙදරට ගිහින් දේශනා කරන්න මට භය හිතුණා. ඒ නිසා මම දෙවිට යාච්ඤා කරලා දේශනා කරන්න අවශ්‍ය ශක්තිය ඉල්ලුවා. ඊට පස්සේ මට භය නැතුව ශුභාරංචිය ගැන කතා කරන්න පුළුවන් වුණා.

පැරගුවට ගිහින් දේශනා කරන්න මට සිද්ධ වුණේ ඇයි කියලා මම කියන්නම්. ඒත් ඊට කලින් මේ කතාවේ සුල මුල ගැන කියන්න ඉඩ දෙන්න. වර්ෂ 1700 ගණන්වලදී ජර්මනියෙන් පැමිණි මෙනනිවරු ලෙස හඳුන්වන ක්‍රිස්තියානි කණ්ඩායමක් යුක්රේනයට ඇවිත් කුඩා ජනපද පිහිටුවාගත්තා. මමත් ඉපදුණේ එවැනි ජනපදයකයි. ඒ 1923 නොවැම්බර් මාසයේදීයි. මේ අයට තමන්ගේම පාලනයක් ගෙන යන්නත් හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්නත් තමන්ගේම ආගම අදහන්නත් නිදහස දී තිබුණා. නමුත් තම ආගමික විශ්වාසයන් අන් අයට පැවසීම තහනම් කර තිබුණා.

කොමියුනිස්ට් පාලනය ඇරඹීමත් සමඟම ඒ නිදහස නැති වුණා. වර්ෂ 1920 අගභාගයේදී යුක්රේනයේ පදිංචි වී සිටි මෙනනිවරුන්ගේ වගා බිම් රජය යටතට ගත්තා. එමෙන්ම රජයට සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කරන තුරු කිසිම කෙනෙකුට ආහාර ලබා දුන්නේ නැහැ. කෙනෙක් රජයට විරුද්ධව කතා කළා නම් ඔහුට කෲර ලෙස සැලකුවා. වර්ෂ 1930 ගණන්වල සෝවියට් සංගමයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් රාත්‍රියේදී ඇවිත් පිරිමි අයව පැහැරගෙන ගියා. අන්තිමේදී හුඟක් ගම්මානවල ඉතුරු වුණේ පිරිමි අය කිහිපදෙනෙක් පමණයි. ඔය විදිහට තමයි මට 1938දී මගේ තාත්තවත් අහිමි වුණේ. ඒ වෙද්දී මට වයස අවුරුදු 14යි. මම එදා ඉඳලා අද වෙනතුරු මගේ තාත්තව දැක්කේ නැහැ. ඉන් අවුරුදු දෙකකට පසුව මගේ අයියවත් පැහැරගෙන ගියා.

වර්ෂ 1941දී හිට්ලර්ගේ හමුදාව යුක්රේනය අත් පත් කරගත්තා. මේ නිසා අපිට කොමියුනිස්ට් පාලනයෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා. ඒත් හිටි හැටියේ අපේ ගමේ හිටපු යුදෙව් පවුල් අටක් අතුරුදහන් වුණා. මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා මම කල්පනා කළා.

අවංකකම නිසා මම බේරුණා

වර්ෂ 1943දී ජර්මානු හමුදාව යුධමය කටයුතු සඳහා මගේ පවුලේ අය ඇතුළු යුක්රේනයේ ජීවත් වූ ජර්මානුවන්ව රැගෙන ගියා. ඒ වෙද්දී මම හිට්ලර්ගේ හමුදාවට බැඳිලා රොමේනියාවේ සේවය කළා. මෙහෙම ඉද්දී මගේ ජීවිතයේ සිදු වුණු එක පුංචි දෙයක් නිසා මගේ මුළු අනාගතයම වෙනස් වුණා.

මම හමුදාවේ සේවය කරද්දී මගේ අංශ භාර නිලධාරියාට ඕනේ වුණා මම කොච්චර අවංකද කියලා දැනගන්න. ඒ නිසා දවසක් එයා මට කිව්වා එයාගේ නිල ඇඳුම ලොන්ඩරියට ගෙනියන්න කියලා. ඒ ඇඳුමේ එක සාක්කුවක සල්ලි වගයක් තිබුණා. මම ඒ සල්ලි ආපහු එයාට දුන්නහම එයා කිව්වා සාක්කුවේ සල්ලි තිබුණේ නැහැ කියලා. ඒත් මම කිව්වා ඒ සල්ලි එයාගේ සාක්කුවේ තිබුණා කියලා. මම ඒ අවස්ථාවේදී අවංකව කටයුතු කළ නිසා මට උසස් වීමක් ලැබුණා. වාර්තා පිළියෙල කිරීම, මුදල් භාරව කටයුතු කිරීම සහ යුධ භටයන්ට පැවරුම් ලබා දීම වැනි දේවල් ඒ තනතුරට අයිති වුණා.

දවසක් රාත්‍රියේදී හදිසියේම අපේ කඳවුරට කඩා වැදුණු රුසියානු හමුදාව කඳවුරේ හිටපු අයව අල්ලාගත්තා. හැබැයි ඒ වෙලාවේ රාජකාරී කටයුත්තකට මම කඳවුරෙන් පිට ගිහිනුයි හිටියේ. මම දන්න විදිහට එදා කිසිම කෙනෙක් බේරුණේ නැහැ. ඒත් මම බේරුණේ අවංකව කටයුතු කිරීමෙන් ලැබුණු අලුත් පැවරුම නිසයි.

වර්ෂ 1944දී මට දින නියමයක් නොමැතිව නිවාඩු ලැබුණා. ඒ නිසා මම අම්මව බලන්න ගෙදර ගියා. ඒ අතරතුර කාලයේදී මම මේසන් බාස් කෙනෙක් යටතේ වැඩ ඉගෙනගත්තා. ඒකෙන් ලැබුණු පුහුණුව මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. වර්ෂ 1945 අප්‍රියෙල් මාසයේදී ඇමරිකානු හමුදාව අපේ නගරය අත් පත් කරගත්තා. ඊට මාසයකට විතර පස්සේ යුද්ධය නතර වුණ නිසා දීප්තිමත් අනාගතයක් උදා වෙයි කියලා අපිට හිතුණා.

ජූනි මාසයේ එක් දවසක ගම පුරාම නිවේදනයක් නිකුත් කරමින් ‘ඇමරිකානු හමුදාව ඊයේ රාත්‍රියේ ගිය බවත්, රුසියානු හමුදාව අද උදෑසන 11:00ට පැමිණෙන බවත්’ දැනුම් දුන්නා. අපි තේරුම්ගත්තා ආපහු අපි කොමියුනිස්ට් පාලනයට යටත් වෙන්න යනවා කියලා. අපේ බලාපොරොත්තු සුන් වුණ නිසා මායි මගේ ඥාති සහෝදරයෙකුයි මෙහෙන් පැනලා යන්න සැලසුම් කළා. ඊටපස්සේ අපි ඇමරිකානු පාලන ප්‍රදේශයට ගියා. නොවැම්බර් මාසයේදී අපි ආපහු ඇවිත් රුසියානු හමුදා පාලනය යටතේ තිබූ ප්‍රදේශයට ඇතුල් වෙලා ලොකු අවධානමක් මැද්දේ අපේ පවුලේ අයවත් එහෙන් එක්කගෙන ගියා.

“බයිබලයත් එක්ක සසඳලා බලන්න”

අපි පදිංචි වුණේ බටහිර ජර්මනියෙයි. ඒ කාලයේදී මට බයිබලය අධ්‍යයනය කරන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා ඉරිදා දවස්වලට මම නිස්කලංක තැනකට ගිහින් බයිබලය කියවන්න පටන්ගත්තා. ඒත් බයිබලයේ තියෙන්නේ අතීත සිද්ධීන් නිසා ඒවා මට අදාළ වෙන එකක් නැහැයි කියලා මම හිතුවා. බව්තීස්ම වෙන්න තිබුණු ආශාව නිසා මම ආගම උගන්වන පන්තිවලටත් ගියා. හැබැයි දවසක් මම කියවපු පොතක මෙහෙම දෙයක් තිබුණා. “පියාණන් දෙවිය, පුත්‍රයාණන් දෙවිය, ශුද්ධාත්මයාණන් දෙවිය.” ඊටපස්සේ “දෙවිවරු තිදෙනෙක් සිටිනවාද” යන ප්‍රශ්නයට මෙවැනි පිළිතුරක් දී තිබුණා. “ඒ තුන්දෙනාම එක්කෙනෙක්.” මම කල්පනා කළා එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඒ ගැන පූජකවරයාගෙන් ඇහුවම ඔහු මෙහෙම කිව්වා. “ඔය ගැන ඕනෑවට වඩා හිතන්න එපා. සමහර අය ඕවා ගැන වැඩියෙන් හිතන්න ගිහින් මානසික රෝගීන් වෙලා තියෙනවා.” ඒ වෙලාවෙම බව්තීස්ම වෙන්න තිබුණු අදහස මම අත්හැරියා.

ටික දවසකට පස්සේ මට ඇහුණා කවුදෝ අමුත්තෙක් මගේ නැන්දගේ දුව එක්ක කතා කරනවා. මමත් ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඔහු ආගමික ප්‍රතිපත්ති පාවා නොදීම නිසා හුඟක් පීඩාවලට මුහුණ දීලා තිබුණා. එයාගේ නම ඒරිච් නිකොලයිට්සිග්. එයා මගෙන් ඇහුවා බයිබලය අධ්‍යයනය කරන්න කැමතිද කියලා. මම කැමතියි කියලා කිව්වාම ඒරිච් කිව්වා එයා උගන්වන හැම දෙයක්ම සත්‍යය බව මගේම බයිබලයෙන් ඔප්පු කරලා පෙන්වන්නම් කියලා.

සති කිහිපයකට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වපු සමුළුවකට ඒරිච් මාවත් එක්කගෙන ගියා. සමුළුවේ ඉදිරිපත් කළ කතාවලට සවන් දුන්නහම මට පුදුම හිතුණා. ඒ නිසා මම හැම බයිබල් පදයක්ම ලියාගත්තා. වැඩි කල් යන්න කලින් මම තේරුම්ගත්තා බයිබලය අධ්‍යයනය කරලා දැනුම ලබාගැනීමත් සමඟම ලොකු වගකීමකුත් මට පැවරෙනවා කියලා. ඒ නිසා මම තීරණය කළා බයිබලය අධ්‍යයනය කිරීම නතර කරන්න. ඒ වගේම එක සත්‍යය ආගමක් විතරයි තියෙන්නේ කියලා තේරුම්ගන්නත් මට අමාරු වුණා. මේ නිසා කලින් ගිය පල්ලියටම ආයෙත් යන්න මම තීරණය කළා. මේක දැනගත්ත ඒරිච් මට මෙහෙම උපදෙසක් දුන්නා. “ඔයා ඉගෙනගන්න දේවල් බයිබලයත් එක්ක සසඳලා බලන්න.”

මම කලින් හිටපු ආගමේ පූජකවරුන්ව මුණගැහෙන්න ගියේ දෙවතාවයි. මට තේරුණා ඒ අය සත්‍යය උගන්වන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි ඔවුන් උගන්වන්නේ මොනවද කියලා ඔවුන්වත් හරිහැටි දැනගෙන හිටියේ නැහැ. මම බයිබලයේ සමහර කාරණා ගැන ප්‍රශ්න අහලා පූජකවරුන්ට ලිපි ලිව්වා. ඒ අයගෙන් එක්කෙනෙක් මට මේ විදිහේ පිළිතුරක් එව්වා. “ඔයාට බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්න කිසිම අයිතියක් නැහැ.”

ඒ වෙද්දී මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු ගෑනු ළමයා මට කිව්වා ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන එක නතර කරන්නේ නැතුව මාව බලන්න එන්න එපා කියලා. ඒකට හේතුව ඇගේ දෙමව්පියන් සාක්ෂිකරුවන්ට තදින්ම විරුද්ධ වීමයි. මේ වෙනකොට සත්‍යය ආගම මොකක්ද කියලා මට හොඳටම වැටහිලයි තිබුණේ. ඒ නිසා මම තීරණය කළා ආයෙත් එයාව බලන්න යන්නේ නැහැ කියලා.

ටික දවසකට පස්සේ ඒරිච් මාව බලන්න ආවා. එයා මගෙන් ඇහුවා ලබන සතියේ බව්තීස්ම වෙන්න කැමතිද කියලා. සාක්ෂිකරුවන් උගන්වන්නේ සත්‍යය දේවල් බව මට හොඳටම වැටහිලා තිබුණු නිසාත් යෙහෝවා දෙවිට සේවය කරන්න මට ලොකු වුවමනාවක් තිබුණු නිසාත් මම ඒකට එකඟ වුණා. ඒ නිසා 1948 මැයි මාසයේදී මම බව්තීස්ම වුණා.

මම බව්තීස්ම වෙලා වැඩි කල් යන්න කලින් අපේ පවුලේ අය තීරණය කළා පැරගුවට පදිංචියට යන්න. හැබැයි බයිබලය ගැන තවත් ඉගෙනගන්න මට ලොකු ආශාවක් තිබුණු නිසා මම එහෙට යන්න කැමති වුණේ නැහැ. ඒත් මගේ අම්මට ලොකු වුවමනාවක් තිබුණා මාවත් එහෙට එක්කන් යන්න. මම වීස්බඩින්වල තිබුණු සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ගිය අවස්ථාවකදී ඕගස්ට් පේටර්ස්ව මුණගැහුණා. මට පවුලේ අයව බලාගන්න තියෙන වගකීම ගැන පැහැදිලි කළාට පස්සේ එයා මේ වගේ උපදෙසකුත් දුන්නා. “මොනවා වුණත් දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා. ඔයා ඒ දේ අමතක කළොත් ක්‍රිස්තියානියයි කියාගන්නා අයගේ තත්වයට ඔයත් පත් වෙයි.” එදා තමයි දේශනා සේවයේ තියෙන වටිනාකම මගේ හිතට තදින්ම කාවැදුණේ.—ක්‍රියා 20:20, 21.

“බොරු අනාගතවක්තෘවරයෙක්”

ටික කාලෙකට පස්සේ මගේ පවුලේ අය දකුණු ඇමරිකාවට ගියා. අපි පදිංචි වුණේ පැරගුවේ ග්‍රැන් චාකෝ කියන ප්‍රදේශයෙයි. සති දෙකකට පස්සේ ඒ ළඟ පාත තිබුණු ගමකට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න මම පිටත් වුණා. වැඩි කල් යන්න කලින් අලුතින් ආපු අය අතරේ “බොරු අනාගතවක්තෘවරයෙකුත්” ඉන්නවා කියලා ගම පුරාම කට කතාවක් පැතිරුණා.

පිටරටින් ඇවිත් පදිංචි වෙලා හිටපු හුඟක් පවුල් මෙහේ හිටිය නිසා ඒ හැම පවුලකටම ගෙයක් අවශ්‍යය වුණා. මම කලින් මේසන් වැඩ ඉගෙනගෙන තිබුණු එක මට මෙහෙදී ප්‍රයෝජනවත් වුණා. මේ විදිහට මාස හයක් විතර මට මේසන් වැඩ කරන්න අවස්ථාව ලැබුණු නිසා මම මිනිසුන් එක්ක ශුභාරංචිය ගැනත් කතා කළා. ඒත් මිනිසුන් ශුභාරංචියට ඇහුම්කන් දුන්නේ ඒ අයගේ ගෙවල් හදාගන්න කල් විතරයි.

කාලයත් සමඟ ජර්මනියේ හිටපු සරණාගතයන් වැඩි පිරිසක්ව පැරගුවට ගෙනාවා. ඒ අතර කාටරිනා ෂෙලන්බර්ග් කියන තරුණියද සිටියා. ඇය සාක්ෂිකරුවන්ව ඇසුරු කර තිබූ අතර සත්‍යය ගැනත් ඇයට පැහැදිලි අවබෝධයක් තිබුණා. ඇය බව්තීස්ම වී සිටියේ නැතත් නැවෙන් එද්දී තමන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියෙක් ලෙස හඳුන්වා දී තිබුණා. ඒ නිසා ජර්මානුවන් අතරේ ඉන්න ඇයට අවසර දුන්නේ නැහැ. මෙලෙස තනි වූ ඇයට ගෘහ සේවිකාවක් ලෙස වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එහිදී ඇය ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන සාක්ෂිකරුවන්ව හමු වී බව්තීස්මය දක්වා දියුණු වුණා. වර්ෂ 1950දී මම ඇය සමඟ විවාහ වුණා. එදා ඉඳන් අද වනතුරු ඇය මට ලොකු ශක්තියක් වී තිබෙනවා.

ටික කාලෙකට පස්සේ මම එකතු කරලා තිබුණු සල්ලිවලින් කරත්තයකුයි අශ්වයන් දෙන්නෙකුවයි ගත්තා. ඒකෙන් තමයි මම දේශනා සේවයේ ගියේ. දේශනා සේවයේ යන හැම වතාවකදීම ඕගස්ට් පේටර්ස් කියපු දේ මට මතක් වුණා. මේ වෙද්දී සාක්ෂිකාරියක් වෙලා හිටය මගේ නංගිත් අපිත් එක්ක දේශනා සේවයේ යන්න හවුල් වුණා. සමහර දවස්වලට ගමනට පැය හතරක් විතර ගත වෙන නිසා අපි පාන්දර හතරට විතර අවදි වෙනවා. ඊට පස්සේ අපි පැය දෙක තුනක් දේශනා සේවයේ ගිහින් ආපහු ගෙදර එනවා.

සාක්ෂිකරුවන් රැස්වීම්වලදී ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කරනවා කියලා මට දැනගන්න ලැබුණත් ඒවා මෙහෙයවන්නේ කොහොමද කියලා මම හරිහැටි දැනගෙන හිටියේ නැහැ. කොහොමවුණත් මට හිතුණු විදිහට මම දේවරාජ්‍යය ගැන කතාවක් ඉදිරිපත් කළා. ඒ රැස්වීමට අටදෙනෙක් සහභාගි වුණා. ඒ වුණාට සමහර ආගමික පූජකවරුන් ඒකට විරුද්ධ වුණා. ඒ නිසා ඔවුන් සෙනඟව එකතු කරගෙන ගෙවල් ගාණේ ගිහින් අපි බෙදා දුන්න බයිබලය මත පදනම් පොත් පත් නැවතත් එකතු කරගන්න සැලසුම් කළා. මින් ඉදිරියට අපිත් එක්ක කතා බහ කරන්න එපා කියලත් මිනිසුන්ට අවවාද කර තිබුණා.

අපේ කොට්ඨාසය භාරව සිටි පරිපාලකයා සහ කැනඩාවෙන් පැමිණි පූජකවරුන් දෙදෙනෙක් මාව ගෙන්වලා පැය ගාණක් තිස්සේ මගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ අයගෙන් එක්කෙනෙක් මට මෙහෙම කිව්වා. “ඔයාට කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඒත් ඔයාගේ විශ්වාසයන් අනික් අයට කියන්නේ නැහැ කියලා අපිට පොරොන්දු වෙන්න.” හැබැයි මම ඒකට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඒ අය මට කිව්වා මේ “ඇදහිලිවන්තයන්” අතරට “බොරු අනාගතවක්තෘවරයෙක්” ඕනේ නැති නිසා මේ ප්‍රදේශයෙන් පිට වෙලා යන්න කියලා. මම ඒ යෝජනාවටත් එකඟ වුණේ නැති නිසා මටයි මගේ පවුලේ අයටයි වෙන ප්‍රදේශයකට යන්න අවශ්‍ය මුදල් දෙන්නත් ඔවුන් ඉදිරිපත් වුණා. ඒ වුණත් මම එහෙන් යන්න කැමති වුණේ නැහැ.

වර්ෂ 1953දී මම අසුන්සියොන්වල පැවැත්වූ සමුළුවකට ගියා. එහෙදී නිව් යෝක් නගරයේ පිහිටි සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කළ නේතන් නෝර් සමඟ කතා කරන්න මට අවස්ථාව ලැබුණා. මම හිටපු පළාතේ ශුභාරංචියට එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු නිසා පැරගුවේ අගනුවරට ගිහින් එහේ සාක්ෂිකරුවන් කිහිපදෙනත් එක්ක සේවය කරන්න කියලා ඔහු මට යෝජනා කළා.

දෙවිගේ කැමැත්තට මුල් තැන දීම

ඒ දවස්වල පැරගුවේ සාක්ෂිකරුවන් 35දෙනෙක් විතර හිටියා. අලුත් නගරයට යන එක ගැන මම කාටරිනාට කිව්වාම ලොකු නගරයකට යන්න එයා ඒ තරම් කැමති වුණේ නැහැ. ඒ වුණත් පස්සේ එයා ඒකට කැමති වුණා. වර්ෂ 1954දී මමයි කාටරිනායි ගඩොල්වලින් අපිටම කියලා ගෙයක් හදාගත්තා. අපි එහෙදී එක රැස්වීමක්වත් අතපසු කළේ නැහැ. සෑම සති අන්තයකදීම අපි මිනිසුන් සමඟ ශුභාරංචිය ගැන කතා කළා.

එහෙදී මට සාක්ෂිකරුවන්ගේ සභාවන් බැහැදකින අවේක්ෂකයෙකුගේ සහයකයා ලෙස කටයුතු කිරීමේ වරප්‍රසාදය ලැබුණා. මේ අවේක්ෂකයා පැරගුවේ ජර්මානු භාෂාව කතා කරන ප්‍රදේශවලට ගියාම මම ඔහුගේ පරිවර්තකයා විදිහට කටයුතු කළා. ඒ වගේම ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් ඉදිරිපත් කළ කතාව ජර්මානු භාෂාවට පරිවර්තනය කිරීමේ පැවරුමකුත් මට ලැබුණා. ඒ වෙද්දී මම ස්පාඤ්ඤ භාෂාව ටිකක් දැනගෙන හිටියත් ඒ පැවරුම තමයි මට මෙතෙක් ලැබිලා තියෙන අමාරුම පැවරුම වුණේ.

මගේ බිරිඳගේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසා 1957දී අපි කැනඩාවේ පදිංචියට ගියා. එහේ ටික කාලයක් ඉඳලා 1963දී අපි එක්සත් ජනපදයේ පදිංචියට ගියා. අපි කොහේ ගියත් දේවරාජ්‍යයට මුල් තැන දීලා කටයුතු කළා. (මතෙව් 6:33) තරුණ වයසේදීම මට බයිබලය ගැන ඉගෙනගන්න අවස්ථාව ලබා දීම ගැන මම යෙහෝවා දෙවිට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා. බයිබලය අධ්‍යයනය කරලා මම ලබාගෙන තිබෙන දැනුමෙන් මම අදටත් ප්‍රයෝජන ගන්නවා.

බයිබලයේ තිබෙන අනර්ඝ සත්‍යයන් අන් අයට කියා දීමට ලැබුණු ප්‍රස්තාව මම සලකන්නේ මහත් වරප්‍රසාදයක් හැටියටයි. මගේ දරුවනුත් මුණුපුරු මිණිපිරියනුත් කුඩා අවදියේ සිට බයිබලය අධ්‍යයනය කිරීමෙන් ප්‍රයෝජන ලබනවා දැකීම මට ලොකු සතුටක්. ඒ හැමදෙනාම පිළිපදින්නේ “මොනවා වුණත් දේශනා සේවයේ යන්න අමතක කරන්න එපා” කියලා ඕගස්ට් පේටර්ස් මට දුන්න උපදෙසයි.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මගේ දරුවනුත් මුණුපුරු මිණිපිරියනුත් කුඩා අවදියේ සිට බයිබලය අධ්‍යයනය කිරීමෙන් ප්‍රයෝජන ලබනවා දැකීම මට ලොකු සතුටක්

[20, 21වන පිටුවේ පින්තූර]

මායි කාටරිනායි විවාහ වෙන්න ටික දවසකට පෙර

[21වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1952දී අපේ පළමුවෙනි දරුවා සමඟ

[23වන පිටුවේ පින්තූරය]

මගේ දරු මුණුපුරු මිණිපිරියන් සමඟ

[හිමිකම් විස්තර]

Photo by Keith Trammel © 2000

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo by Keith Trammel © 2000