Skip to content

පටුනට යන්න

මිහිතලය අර්බුදයකට ලක් වී

මිහිතලය අර්බුදයකට ලක් වී

මිහිතලය අර්බුදයකට ලක් වී

සාක්ෂිවලින් පෙනී යන්නේ පෘථිවියේ උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වන බවයි. ඇලස්කාවේ වෙරළ තීරයේ පිහිටා තිබෙන නිව්ටොක් ගම්මානය ඊට කදිම සාක්ෂියක්. එම ගම්මානය පිහිටා තිබෙන්නේ අයිස් තට්ටුවක් මතයි. ඒ අයිස් තට්ටුව කෙමෙන් කෙමෙන් දියවෙමින් පවතින නිසා මතුපිටින් ඇති පස් මඩ බවට පත් වෙනවා. එහි ගම්වැසියෙක් වූ ෆ්‍රෑන්ක් මෙසේ පැවසුවා. “මට නම් මෙහේ තවත් ජීවත් වෙන්න බැහැ. මේක තනිකර මඩ ගොඩක්.” එමෙන්ම තව අවුරුදු දහයක් ඇතුළත මේ ගම්මානය මුහුදෙන් යට වී යා හැකි බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

දේශගුණික විපර්යාසයන් ගැන සොයා බලන එක් ආයතනයක් පැවසුවේ “මිහිතලය උණුසුම් වෙනවා යන කාරණය සැබෑවක්” බවයි. අද ලොව පුරාම නියඟයන් හා සුළි සුළං ඇති වන්නේත් පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන්නේත් දේශගුණික විපර්යාසයන් නිසා බව විද්‍යාඥයන් පවසනවා. අපේ පෘථිවියට කුමක් සිදු වෙයිද? එය යහපත් තත්වයකට පත් වෙයිද?—එම ආයතනය Intergovernmental Panel on Climate Change (IPCC).

පරීක්ෂණවලට ලක් වූ පෘථිවිය

රෝහලක සිටින රෝගියෙකුව විවිධ පරීක්ෂණවලට ලක් කරනවා හා සමානව අපේ පෘථිවියත් විවිධ පරීක්ෂණවලට ලක් වෙනවා. උදාහරණයකට දිය වෙන ග්ලැසියර සම්බන්ධයෙන් සොයා බැලීමට චන්ද්‍රිකා තාක්ෂණයද ගැඹුරු මුහුදේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමට උෂ්ණත්වය මනින උපකරණද යොදාගන්නවා. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මගින් වර්ෂාපතනය ගැන තොරතුරු රැස් කරනු ලබන අතර වායුගෝලයේ තිබෙන වායූන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ගුවන් යානාද යොදාගනු ලබනවා. එම පරීක්ෂණවලින් ලබාගන්නා සියලුම දත්ත සුපිරි පරිගණකවලට ඇතුළත් කිරීමෙන් පසු ඉදිරි වසර දහය හෝ සියය ඇතුළතදී සිදු වන්නේ කුමක්ද කියා ගණනය කිරීමට ඔවුන්ට හැකියි.

ඒ සියල්ලෙන් අනාවරණය වී තිබෙන්නේ කුමක්ද? වායුගෝලයට මුදාහරින වායූන් (හරිතාගාර වායූන්) පෘථිවියට තර්ජනයක් වී ඇති බව ඇතැමුන් පවසනවා. වර්ෂ 2006දී පමණක් “කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 32ක් වායුගෝලයට මුදාහැර තිබෙනවා” කියා ටයිම් සඟරාවේ සඳහන් වුණා. මෙවැනි වායූන් වායුගෝලයේ රැඳෙන නිසා පෘථිවියෙන් ඉහළ යන තාපයට වායුගෝලයෙන් පිටවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙය හරිතාගාරයක් තුළ සිදු වන ක්‍රියාවලියට සමාන කළ හැකියි. සාමාන්‍යයෙන් හරිතාගාරයක ඇති වීදුරු ආවරණය නිසා ඇතුළේ තිබෙන උෂ්ණත්වය පිට වී යන්නේ නැහැ. අද පෘථිවියේද ඇති වී තිබෙන්නේ ඒ හා සමාන තත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඉහත සඳහන් කළ ආයතනය (IPCC) පවසන ආකාරයට දිගටම වායුගෝලයට මෙලෙස වායූන් මුදාහැරියහොත් “පෘථිවියේ දේශගුණය සම්පූර්ණයෙන් වෙනස් විය හැකියි.” එහි ප්‍රතිඵලයක් ලෙස දැන් අද්දකිනවාටත් වඩා දරුණු තත්වයකට ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙයි. සමහරුන් සිතන්නේ වායුගෝලයට මුදාහැරිය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කළොත් මේ ප්‍රශ්නය විසඳිය හැකි බවයි. එසේ කළත් “පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම සහ [එහි ප්‍රතිඵලයක් ලෙස] මුහුදු මට්ටම ඉහළ යෑම තව ශතවර්ෂ ගණනාවක් ඉදිරියටත් සිදු වෙයි” කියා සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

විසඳුම කොහෙන්ද?

දේශගුණය ගැන හැදෑරීම සිතන තරම් පහසු දෙයක් නොවෙයි. “උදාහරණයකට පොළොවේ උෂ්ණත්වය වැඩි වන විට වලාකුළුවලට සිදු වන්නේ කුමක්ද? වායුගෝලයේ ඉහළින්ම පිහිටා ඇති උෂ්ණත්වය උරාගන්නා වලාකුළු වැඩි වී, සූර්යාලෝකය වළක්වන ගන වලාවන් අඩු වී යයිද?” මේ ප්‍රශ්නය අසා තිබුණේ පරිසරය ගැන අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියක තිබූ පොතකයි. නමුත් ‘විද්‍යාඥයන්ටවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි’ බව එහි සඳහන් වුණා.—Earth Observatory.

බයිබලයේ සඳහන් වන ආකාරයට “වලා පටලයන්” ඇතුළු “අහසත් පොළොවත් සෑදූ” තැනැත්තා වන්නේ යෙහෝවා දෙවියි. (උත්පත්ති 14:19; හිතෝපදේශ 8:28, නව ලොව පරිවර්තනය, NW) ඔහු “වලාකුළුවලට ප්‍රඥාව දුන්නා” කියා බයිබලයේ කාව්‍යමය ආකාරයට සඳහන් වී තිබෙනවා. මේ අනුව විද්‍යාවටවත් හරිහැටි අවබෝධ කරගත නොහැකි කාරණා යෙහෝවා දෙවි දන්නවා.—යෝබ් 38:36.

මීට වසර 2,700කට පමණ පෙර සිටම බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වී තිබුණා. “වැස්ස පොළොවට වැටී ගස් වැල් පෝෂණය කරන තෙක් ආපසු අහසට නැඟී යන්නේ නැත.” (යෙසායා 55:10NW) එම වදන්වලින් ජල චක්‍රය ගැන ඉතා පැහැදිලිව විස්තර කර තිබෙනවා. වලාකුළුවල තිබෙන ජලවාෂ්ප වර්ෂාව ලෙස “පොළොවට වැටී” ඉන්පසු සූර්ය රශ්මිය නිසා නැවතත් වාෂ්ප වී ‘අහසට නැඟී යනවා.’ මේ ආකාරයට ජල චක්‍රය නොකැඩී සිදු වෙනවා. වෙනත් කිසිදු පොතක පෘථිවියේ දේශගුණය ගැන තොරතුරු හෙළි කිරීමට පෙර යෙහෝවා දෙවි බයිබලය තුළින් ඒ දේවල් හෙළි කළා. මෙයින් පෙනී යන්නේ පෘථිවිය නිර්මාණය කළ දෙවිට එහි සැකැස්ම ගැන මනා අවබෝධයක් ඇති බවයි. පෘථිවියේ දේශගුණික තත්වයන් දැඩි සේ වෙනස් වී තිබෙන මෙවන් අවධියක සුදුසුම දේ වන්නේ ‘සුළඟත්’ ‘වැස්සත්’ නිර්මාණය කළ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමයි.—ආමොස් 4:13; යෝබ් 38:28.

පෘථිවිය නිර්මාණය කර ඇති හේතුව

ඉදිරියේදී පෘථිවියට සිදු විය හැකි දේ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ඒ වුණත් වෙන කිසිම ග්‍රහලෝකයකට වඩා පෘථිවිය අද්විතීය බවට නම් කිසිම සැකයක් නැහැ. එහි පුදුමාකාර ජෛව විවිධත්වයක් තිබෙනවා. පෘථිවිය ජීවීන්ට කදිම නිවහනක් වී තිබෙන්නේ ඇයි? ඊට බලපාන හේතු කිහිපයක් තිබෙන බව විද්‍යාඥයන් පවසනවා. ඉන් හේතු තුනක් සලකා බලමු. පෘථිවියේ ඇති තරම් ජලය තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ සූර්යාගේ සිට යෝග්‍ය දුරකිනුයි. ජීවීන්ට ගැළපෙන ආකාරයේ වායු සංයුතියක්ද එහි තිබෙනවා.

ඉහත ඡේදයේ සඳහන් කළ එම සාධක තුන ඇතුව දෙවි මේ පෘථිවිය නිර්මාණය කළ බව බයිබලයේ සඳහන් වී තිබීම ගැන ඔබ පුදුම වෙයි. දෙවි එක තැනකට ජලය රැස් කර ඒ ‘ජලය මුහුද කියා හැඳින්වූ’ බව බයිබලයේ පළමු පොත වන උත්පත්ති 1:10හි [NW]සඳහන් වෙනවා. එමෙන්ම “දෙවි, ‘ආලෝකය ඇති වේවා’” කියා පැවසූ බවත් එම පොතේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:3NW) අපේ පෘථිවිය සූර්යයාගේ සිට ඉතා නිවැරදි දුරකින් පිහිටා තිබෙන නිසා එහි සියලුම ජලය වාෂ්ප වී යන්නේ නැහැ.

උත්පත්ති 1:6හි සඳහන් වෙන්නේ දෙවි “අවකාශය” හෙවත් වායුගෝලය සෑදුවා කියායි. එමෙන්ම දෙවි තණකොළද පැළෑටිද ගස් කොළන්ද ඒ ඒ වර්ග ලෙස නිර්මාණය කළ බවත් එහි සඳහන් වෙනවා. (උත්පත්ති 1:11, 12) මිනිසුන්ටත් සතුන්ටත් තම ජීවිත පවත්වාගෙන යෑමට අවශ්‍ය ඔක්සිජන් වායුව ලැබී තිබෙන්නේ ඒ නිසයි.

මෙතරම් ජල ප්‍රමාණයක් ඇතුව පෘථිවිය නිර්මාණය කිරීමෙන්, එය සූර්යයාගේ සිට නිශ්චිත දුර ප්‍රමාණයකින් තැබීමෙන් සහ එහි ජීවීන්ට ගැළපෙන ආකාරයේ වායු සංයුතියක් තිබීමෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි යම් අරමුණක් ඇතුව පෘථිවිය නිර්මාණය කර තිබෙන බවයි. ඒ නිසයි දෙවි ‘පොළොව පාළු ස්ථානයක් වීමට නොව වාසය සඳහා’ නිර්මාණය කළ බව බයිබලයේ සඳහන් වෙන්නේ. (යෙසායා 45:18NW) එමෙන්ම “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. නමුත් පොළොව ඔහු මනුෂ්‍යයන්ට දුන්නේය” කියාත් එහි සඳහන් වෙනවා. (ගීතාවලිය 115:16NW) මින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි මේ පෘථිවිය මිනිසුන්ගේ වාසය පිණිස නිර්මාණය කළ බවයි.

බයිබලයේ සඳහන් වන ආකාරයට යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළව පදිංචි කළේ පාරාදීසයක් බඳු ඒදන් උයනෙයි. පසුව එම උයන බලාගනිමින් එහි වගා කරන්න කියා දෙවි ඔවුන්ට පැවසුවා. (උත්පත්ති 2:15NW) එමෙන්ම “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරවන්න” කියාත් දෙවි ඔවුන්ට පැවසුවා. (උත්පත්ති 1:28NW) මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කර එහි සදාකාලයටම ජීවත් වීමේ අවස්ථාව ඔවුන් හමුවේ තිබුණා. එය මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

නමුත් කනගාටුදායක ලෙස එම යුවළ දෙවිට අකීකරු වෙමින් තමන්ට රිසි සේ කටයුතු කිරීමට තීරණය කළා. අද සිටින බොහෝදෙනාද කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. (උත්පත්ති 3:1-6) මිනිසුන් පොළොවේ වගා කරමින් එය රැකබලා ගන්නවා වෙනුවට මහා පරිමාණයෙන් එය ‘විනාශ කරමින්’ සිටිනවා. (එළිදරව් 11:18) අද දින මෙවන් තත්වයක් පැවතුණත් පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ වෙනස් නොවන බව අපට ස්ථිරයි. බයිබලයේ අපට පොරොන්දු වී තිබෙන්නේ මෙසේයි. දෙවි “පොළොව ස්ථිරව පිහිටුවා ඇත. එය කිසිදා නොසෙල්වෙන ලෙස සාදා ඇත.” (ගීතාවලිය 104:5NW) එමෙන්ම යේසුස්ද මෙවැනි දෙයක් පැවසුවා. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5) මෙය සිදු වන්නේ කෙසේද?

දීප්තිමත් අනාගතයක්

එක්සත් ජනපදයේ සිටි ජනාධිපතිවරයෙක් පැවසුවේ “දේශගුණයේ සිදු වී තිබෙන ප්‍රබල වෙනස් වීම් මුළු පොළොවටම තර්ජනයක්” වී ඇති බවයි. මෙම ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි කියා ඔබ සිතන්නේ නැද්ද? මෙයට විසඳුමක් ලබා දිය හැක්කේ දේවරාජ්‍යයට පමණයි. ඒ නිසයි “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා යාච්ඤා කිරීමට යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූයේ. (මතෙව් 6:9, 10) බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට දේවරාජ්‍යය මේ මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. එමඟින් “සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර” දමන බවත් “පොළොව විනාශ කරන අයව විනාශ කර” දමන බවත් බයිබලයෙහි සඳහන් වෙනවා. (දානියෙල් 2:44NW; එළිදරව් 11:18) පොළොව නාස්ති කරමින් එහි සම්පත් විනාශ කරන අය දෙවිට වග කිව යුතුයි.

නමුත් දැනටමත් විනාශ වී තිබෙන අපේ පෘථිවියට කුමක් සිදු වෙයිද? යේසුස් පොළොවේ සිටියදී තම බලය පාවිච්චි කරමින් සුළඟ සහ මුහුද පාලනය කළා. එමෙන්ම දරුණු චණ්ඩ මාරුත පවා ඔහු නිශ්චල කළා. (මාක් 4:35-41) මේ වන විට “ස්වාමිවරුන්ගේ ස්වාමියා” සහ “රජවරුන්ගේ රජු” ලෙස ස්වර්ගයේ රජකම් කරන යේසුස්ට පොළොව සහ එහි ඇති සියල්ල පාලනය කිරීමට පෙරටත් වඩා බලය තිබෙනවා. (එළිදරව් 17:14) යේසුස් තම පාලනය තුළින් කිරීමට නියමිත දේ විස්තර කළේ ‘නැවත-මැවීමක්’ නැතහොත් සියල්ල අලුත් කිරීමක් ලෙසයි. (මතෙව් 19:28) මුළු පොළොවම ඒදන් උයන හා සමාන තත්වයකට ගෙන ඒම සඳහා යේසුස් සියල්ල අලුත් කරනවා. ඉන්පසුව දේවරාජ්‍යය මගින් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනවා.—ලූක් 23:43.

යේසුස් පැවසුවේ “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය” කියායි. (මතෙව් 24:14) ඒ නිසා ඔබටත් එම රාජ්‍යයෙන් ප්‍රයෝජන ගත හැකියි. දේවරාජ්‍යයේ ශුභාරංචිය පිළිගත් අය ඉන් මහඟු ප්‍රයෝජන ලබා තිබෙනවා. සමහරු නරක පුරුදුවලින් මිදී සන්තෝෂවත් පවුල් ජීවිත ගත කරන අතර තවත් අය ජාතිවාදී ආකල්ප දරනවා වෙනුවට ප්‍රේමයෙන් කටයුතු කරනවා. එවැනි ප්‍රයෝජන ලබා දීමට වෙන කිසිම ආණ්ඩුවක් සමත් වී තිබෙනවාද? රටවල් 235කට වඩා වැඩි සංඛ්‍යාවක වෙසෙන මිලියන හතක පමණ ජනකායක් එක්සත් කිරීමට හැකි වී තිබෙන්නේ දේවරාජ්‍යයට පමණයි. දේවරාජ්‍යයට පක්ෂපාත වන අය බලාපොරොත්තුවෙන් සිටින්නේ අනාගතයේදී පාරාදීස පොළොවක් මත ජීවත් වීමටයි.

පෘථිවියට තිබෙන්නේ ඉතා දීප්තිමත් අනාගතයක්. ඔබේ අනාගතයත් එසේමද?

[27වන පිටුවේ පින්තූරය]

වෙනත් පොත් පත්වල ජල චක්‍රය ගැන සඳහන් වීමට සියවස් ගණනාවකට පෙර බයිබලයේ ඒ ගැන සඳහන් වුණා

[28වන පිටුවේ පින්තූරය]

“ඔහු සුළඟට තරවටු කරමින්, ‘නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න!’ කියා පැවසීය. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලතාවක් ඇති විය.”

[29වන පිටුවේ පින්තූරය]

මුළු පෘථිවියම පාරාදීසයක් බවට පත් වූ දාට පොළොවට සිදු වී තිබෙන හානිය නැති වී යනවා

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Godo-Foto