Skip to content

පටුනට යන්න

අනාගතය ගැන පැවසිය හැක්කේ කාටද?

අනාගතය ගැන පැවසිය හැක්කේ කාටද?

අනාගතය ගැන පැවසිය හැක්කේ කාටද?

‘එකම දෙවි මමයි. මා අවසානයේදී සිදු වන දේ කලින් කියන, තවමත් සිදු වී නැති දේවල් බොහෝ කාලයකට ප්‍රථමයෙන් පවසන, තැනැත්තාණන්ය.’—යෙසායා 46:9, 10, නව ලොව පරිවර්තනය, NW.

දේශපාලන, සමාජීය සහ ආර්ථික කාරණා ගැන සොයා බලන අය අනාගතය ගැන දැනගැනීමට නොයෙක් අධ්‍යයනයන් කරනවා. තවත් අය තම අනාගතය ගැන දැනගැනීම සඳහාජ්‍යෝතිශාස්ත්‍රයේ පිහිට පතනවා. නමුත් ඔවුන්ට සතුටුදායක පිළිතුරක් ලැබී නැහැ. එසේනම් අපට අනාගතය ගැන දැනගැනීමට මඟක් නැද්ද? අනාගතය ගැන නිවැරදිව පැවසිය හැකි කෙනෙක් සිටිනවාද?

අනාගතය ගැන නිවැරදිව පැවසීමට යෙහෝවා දෙවිට හැකියාව තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට කාලයක් පුරා බැබිලෝනියේ වහලුන්ව සිටි ඊශ්‍රායෙල් ජනයා නිදහස ලබා නැවත යෙරුසලමට ගොස් දේවමාලිගාව ඉදි කරන බව යෙසායා මාර්ගයෙන් දෙවි පැවසුවා. එම අනාවැකිය කොතරම් නිවැරදිද? බැබිලෝනිය පරාජය කරනු ලබන්නේ සයිරස් රජු බව අවුරුදු 200කට පමණ පෙර යෙසායා පැවසුවා. ඒ සඳහා සයිරස් රජ බැබිලෝනියට ආරක්ෂාව සැලසූ යුප්‍රටීස් ගඟ වෙනත් දිශාවකට හරවන බවත් යෙසායා අනාවැකි පළ කළා. එමෙන්ම පහසුවෙන් නුවර අල්ලාගැනීමට හැකි වන ලෙස එහි දොරටු නොසැලකිලිමත්ව විවෘතව තිබෙනු ඇති බවත් ඔහු පැවසුවා.—යෙසායා 44:24–45:7.

යෙහෝවා දෙවිට අනාගතය ගැන නිවැරදිව පැවසිය හැකි අතර මනුෂ්‍යයන්ට එම හැකියාව නැහැ. ඒ නිසා එක් ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් මෙසේ පැවසුවා. “හෙට දවස ගැන පුරසාරම් නොකියන්න. මන්ද දවසක් ඇතුළත කුමක් සිදු වෙයිද කියා ඔබ දන්නේ නැත.” (හිතෝපදේශ 27:1NW) මේ අනුව මනුෂ්‍යයන්ට තමන්ගේ අනාගතය ගැනවත් පැවසිය නොහැකි බව පැහැදිලියි. යෙහෝවා දෙවිට පමණක් අනාගතය ගැන පැවසිය හැක්කේ ඇයි? යෙහෝවා දෙවි සියල්ල නිර්මාණය කළ නිසා මිනිසුන්ගේ නැඹුරුවාවන් ඔහුට හොඳින් තේරුම්ගත හැකියි. මේ නිසා එක් එක් පුද්ගලයාගේ අනාගතය දකින්න ඔහුට පුළුවන්. එමෙන්ම යම් දේවලින් සිදු විය හැකි ඵල විපාක වෙනස් කිරීමටත් දෙවිට පුදුමාකාර හැකියාවක් තිබෙනවා. යෙහෝවා දෙවි තමා ගැනම මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “මාගේ සේවකයන් කියන අනාවැකි ඉටු වීමට සලස්වන්නේ මමයි. මාගේ සේවකයන් කියන සෑම දෙයක්ම අකුරක් නෑර ඉටු වීමට සලස්වන්නේ මමයි.” (යෙසායා 44:26NW) ඇත්තෙන්ම එවැනි දෙයක් පැවසිය හැක්කේ යෙහෝවා දෙවිට පමණයි.

යෙසායා නම් අනාගතවක්තෘවරයා ජීවත් වූයේ යේසුස් හෙවත් ගැලවුම්කරු ඉපදීමට අවුරුදු 700කටත් වඩා වැඩි කාලයකට ඉහතදීයි. ඒ වුණත් ගැලවුම්කරු සම්බන්ධයෙන් යෙසායා අනාවැකි පැවසුවා. නමුත් 18වන සියවසේ සිටි බයිබල් විවේචකයන් පැවසුවේ යේසුස් සම්බන්ධයෙන් යෙසායා පැවසූ දේවල් ලියැවී තිබෙන්නේ ඒ දේවල් සිදු වූ පසුව බවයි. මෙසේ ඔවුන් යෙසායාගේ ලියවිල්ලේ විශ්වාසවන්තභාවය ගැන ප්‍රශ්න මතු කළා. නමුත් 1947දී එම චෝදනා සියල්ලම බොරු බව ඔප්පු වුණා. ඒ මළ මුහුද අසල ගුහාවක තිබී යෙසායාගේ ලියවිල්ලේ පිටපතක් සහ තවත් පැරණි පිටපත් කිහිපයක් සොයාගැනීමත් සමඟයි. බයිබල් විශාරදයන් පවසන්නේ සොයාගන්නා ලද එම පිටපත යේසුස්ගේ උපතට අවුරුදු 100කට පමණ පෙර සකසා ඇති බවයි. මෙයින් ඔප්පු වන්නේ අනාගතය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් දේවල් සත්‍යය බවයි.

යෙසායා ඇතුළු වෙනත් බයිබල් ලේඛකයන්ට තමන්ගේම දැනුමෙන් අනාවැකි පැවසීමට හැකියාවක් නැහැ. ඒ වෙනුවට ඔවුන් අනාවැකි පැවසුවේ දෙවිගේ බලයේ උපකාරයෙනුයි. (2 පේතෘස් 1:21) ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්න යන්නේ යේසුස්ගේ ජීවිතය සම්බන්ධයෙන් යෙසායා පැවසූ අනාවැකි ගැනයි. ඉන්පසු යේසුස් හා ඔහුගේ අනුගාමිකයන් අපේ කාලය ගැනත් ඉන් ඉදිරියට සිදු වන දේ ගැනත් පැවසූ අනාවැකි කිහිපයක් අපි සලකා බලමු.