Skip to content

පටුනට යන්න

අනාගතය ගැන සඳහන් අනාවැකි

අනාගතය ගැන සඳහන් අනාවැකි

අනාගතය ගැන සඳහන් අනාවැකි

අපේ අනාගතය ගැනත් පොළොවට ඉදිරියේදී සිදුවීමට නියමිත දේ ගැනත් බයිබල් ලේඛකයෙකු වූ පේතෘස් මෙවැන්නක් පැවසුවා. “ඔහුගේ [දෙවිගේ] පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13) “අලුත් අහසක් හා අලුත් පොළොවක්” සම්බන්ධයෙන් ඉහත සඳහන් අදහස අනාවැකියක් ලෙස මුලින්ම පැවසුවේ යෙසායා විසිනුයි. (යෙසායා 65:17; 66:22) එය පේතෘස් උපුටා දැක්වීමෙන් පෙනී යන්නේ ඔහුගේ කාලය වන විට එම අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වී තිබුණේ නැති බවයි.

යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන්ද ක්‍රිස්තු වර්ෂ 96දී පමණ “අලුත් පොළොව” ගැන සඳහන් කළා. ඒත් සමඟම යොහන් දේවරාජ්‍යයෙන් ලැබෙන්න යන ආශීර්වාද ගැනත් පැවසුවා. (එළිදරව් 21:1-4) දේවරාජ්‍යය මේ පොළොව පාලනය කිරීමට පෙර පොළොවේ තත්වය ගැන යේසුස් හා පාවුල් කී අනාවැකි මේ කාලයේදී ඉටු වන ආකාරය අපි කලින් ලිපියේ සලකා බැලුවා. ඒ නිසා දේවරාජ්‍යය ඉතා ළඟදීම මේ පොළොව මත විශාල වෙනස්කම් කරයි කියා අපිට බලාපොරොත්තු විය හැකියි. ඒ කාලයේදී මේ පොළොව මත සිදු වන දේවල් ගැන යෙසායා පැවසූ අනාවැකි දැන් අපි සලකා බලමු.

අලුත් පොළොවේ ආශීර්වාද

ලෝක ව්‍යාප්ත සාමය හා සියලුදෙනා එක්සත්ව දෙවිට නමස්කාර කිරීම. “ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:2-4, නව ලොව පරිවර්තනය, NW.

මිනිසුන් හා සතුන් අතර සාමය. ‘ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත් එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වෙති. වසු පැටියත් තරුණ කේසර සිංහයාත් තර වස්සාත් එකට ලගින්නෝය. උන් සියල්ලන්ව බලාගන්නේ කුඩා දරුවෙක්ය. එළදෙනත් වැළහින්නියත් එකට තණ කන්නෝය. උන්ගේ පැටවුන්ද එකට ලගින්නෝය. සිංහයාද ගොනා මෙන් පිදුරු කන්නෝය. මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හානියක් කරන්නේවත් විනාශකාරීව කටයුතු කරන්නේවත් නැත. මන්ද මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙයි.’—යෙසායා 11:6-9NW.

ඇති තරම් ආහාර. ‘ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි තම කන්දේදී සියලු ජනයා සඳහා දිව පිනවන රසවත්ම කෑම සහිත විශාල භෝජන සංග්‍රහයක් සූදානම් කරන්නේය.’—යෙසායා 25:6NW.

මරණය තවත් නැහැ. “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය. ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය. යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත.”—යෙසායා 25:8NW.

මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙනවා. ‘මරණ නින්දෙහි සැතපී සිටින සෙනඟ යළි නැඟිටින්නෝය. පොළොව එහි මළවුන්ව පිටතට දමනු ඇත.’—යෙසායා 26:19NW.

යේසුස් යුක්තියෙන් විනිශ්චය කරනවා. “ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින් ඔහු දඬුවම් නොකරන්නේය. ඔහු දිළිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත් පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.”—යෙසායා 11:3, 4NW.

අන්ධ අයත් බිහිරි අයත් සුවය ලබනවා. “ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය.”—යෙසායා 35:5NW.

නිසරු බිම් සරුසාර බිම් බවට පත් වෙනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය සෙව්වන්දි මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය. දේශය පුරාම මල් හටගනියි. ප්‍රීති ඝෝෂා හා සතුටු ගී නද රැව් පිළිරැව් දෙයි.”—යෙසායා 35:1, 2NW.

මුළු ලෝකයම අලුත් වෙනවා. ‘මම අලුත් අහසක්ද [ස්වර්ගයේ පිහිටි අලුත් පාලන ක්‍රමයක්] අලුත් පොළොවක්ද [අලුත් ධර්මිෂ්ඨ මිනිස් සමාජයක්] මවමි. පළමු දේ නැවත මතක් වන්නේ නැත. මම මවන දේ ගැන හැමදාටම සතුටින් ඉපිල යන්න.’ ‘ඔවුහු [දේවරාජ්‍යයේ යටත්වැසියන්] ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදි වතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ නිවෙස් වෙන අය අයිති කරගන්නේ නැත. ඔවුන් වගා කළ කෙත්වතුවල අස්වැන්න වෙන කෙනෙකු භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟගේ ජීවිතය වෘක්ෂයක් හා සමානයි. මා තෝරාගත් අය තම අතින් උපයන දේ මුළුමනින්ම භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ මහන්සිය අපතේ නොයයි. ඔවුන්ගේ දරුවන්ටද කිසි අනතුරක් සිදු නොවෙයි. මන්ද ඔවුන් යෙහෝවා දෙවි වන මම ආශීර්වාද කර තිබෙන අයගේ දරුවෝ වෙති. ඔවුන්ගෙන් පැවත එන අයද ඔවුන් සමඟ සිටියි. ඔවුන් අඬගසන්න පෙරම මම ඔවුන්ට උත්තර දෙමි. ඔවුන් කතා කරන විට මම ඇහුම්කන් දෙමි.’ ‘මා සාදන අලුත් අහසත් අලුත් පොළොවත් සදහටම පවතින්නාක් මෙන් ඔබේ පරම්පාරවත් ඔබේ නාමයත් සදහටම පවතියි කියා යෙහෝවා දෙවි පවසයි.’—යෙසායා 65:17-25; 66:22NW.

දීප්තිමත් අනාගතයක්

අනාගතයේදී ලැබෙන්න යන ආශීර්වාද ගැන පවසා ඇත්තේ යෙසායා පමණක් නොවෙයි. යෙහෝවා දෙවි දේවරාජ්‍යයේ රජු වන යේසුස්ව යොදාගෙන කිරීමට නියමිත මවිතකර දේවල් ගැන අනාවැකි බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. * යෙහෝවා දෙවි මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන කාලයේදී එහි ජීවත් වීමට ඔබත් කැමතිද? ඒ සඳහා අනාගතය සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ අරමුණු ගැන බයිබලයෙන් සොයා බලන්න. එමෙන්ම එවන් ආශීර්වාද භුක්තිවිඳීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද කියාත් බයිබලයෙන් ඉගෙනගන්න. ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

[පාදසටහන]

^ 15 ඡේ. දේවරාජ්‍යය ගැනත් එය පොළොව තුළ සිදු කරනු ලබන විශාල වෙනස්කම් ගැනත් වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 76 සිට 85 දක්වා පිටු බලන්න.

[8වන පිටුවේ පින්තූරය]

මිනිසුන් අතරත් මිනිසුන් හා සතුන් අතරත් සාමය පවතිනවා

[9වන පිටුවේ පින්තූරය]

මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙනවා

[10වන පිටුවේ පින්තූරය]

මුළු පොළොවම පාරාදීසයක් වෙනවා