Skip to content

පටුනට යන්න

අපේ කාලය ගැන සඳහන් අනාවැකි

අපේ කාලය ගැන සඳහන් අනාවැකි

අපේ කාලය ගැන සඳහන් අනාවැකි

දේවරාජ්‍යය මේ පොළොවට සාමය හා සෞභාග්‍යය උදා කරන බවට බයිබලයේ සඳහන් වෙනවා. (දානියෙල් 2:44) යේසුස් තම අනුගාමිකයන්ට “ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යාච්ඤා කිරීමට ඉගැන්වූයේ ඒ නිසයි. (මතෙව් 6:10) දේවරාජ්‍යය පොළොව පාලනය කිරීමට ආසන්න කාලයේදී මේ පොළොව මත සිදු වන භයානක දේවල් ගැන යේසුස් අනාවැකියක් පැවසුවා. දැන් අපි ඒ ගැන සලකා බලමු. එවිට යේසුස් පැවසූ අනාවැකිය අද ඉටු වන ආකාරය ඔබට පැහැදිලි වෙයි.

යුද්ධ. “ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:7) වර්ෂ 1914දී පළමුවන ලෝක මහා යුද්ධය ආරම්භ වීමට පෙර පැවති යුද්ධ බොහෝවිට සීමා වුණේ එක් ප්‍රදේශයකට පමණයි. නමුත් පළමුවන ලෝක මහා යුද්ධය ලොව රටවල් බොහොමයකට පැතිරී ගියා. එම යුද්ධයට මිනිසුන් කිසි දිනක දැක නොතිබූ අවි ආයුධ භාවිත කෙරුණා. උදාහරණයකට ගුවන් යානාවලින් ගොස් සාමාන්‍ය ජනයා ජීවත් වූ ස්ථානවලට බෝම්බ හෙළීම සඳහන් කළ හැකියි. මේ යුද්ධයට සෙබළුන් මිලියන 65ක් පමණ හවුල් වුණා. ඔවුන්ගෙන් ජීවිතක්ෂයට පත් වුණු හෝ තුවාල ලැබූ සංඛ්‍යාව අඩක් පමණ වුණා. නමුත් යුද්ධ එතැනින් අවසන් වුණේ නැහැ. ඒවා අද දක්වාම පවතිනවා. එක් ඉතිහාසඥයෙක් පැවසුවේ දෙවන ලෝක මහා යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ගේ සහ සාමාන්‍ය ජනයාගේ සංඛ්‍යාව “කිසිදාක ගණන් කර අවසන් කරන්න බැරි වෙයි” කියායි.

සාගත. ‘ආහාර හිඟකම් සිදු වෙනවා’ කියාත් යේසුස් පැවසුවා. (මතෙව් 24:7) “ලොව මිනිසුන් මිලියන 854ක් එනම් ලෝක ජනගහනයෙන් සියයට 14ක් ආහාර නොමැතිව දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වෙනවා” කියා 2005දී සයන්ස් සඟරාවේ සඳහන් වුණා. එමෙන්ම 2007දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසුවේ රටවල් 33කට තම රටවැසියන් සඳහා අවශ්‍ය ආහාර ලබා දීමට හැකියාවක් නැති බවයි. ලොව ආහාර නිෂ්පාදනයේ වර්ධනයක් තිබුණද අද ආහාර හිඟයක් පවතින්නේ ඇයි? ඊට එක් හේතුවක් නම් මිනිසුන් ආහාරයට ගන්නා ධාන්‍ය එතනෝල් ලෙස හඳුන්වන ඉන්ධනය නිපදවීමට යොදාගැනීමයි. “සුඛෝපභෝගී වාහනයක තෙල් ටැංකිය පිරවීම සඳහා අවශ්‍ය එතනෝල් ලබාගැනීමට එක් පුද්ගලයෙක් වර්ෂයක් පුරා ආහාරයට ගන්නා ධාන්‍ය ප්‍රමාණය අවශ්‍ය වෙනවා” කියා දකුණු අප්‍රිකාවේ ද විට්නස් නම් පුවත්පතේ සඳහන් වුණා. අද දින දියුණු රටවල සිටින අය පවා ආහාර මිල දී ගැනීමට විශාල මුදලක් වැය කරනවා. ඒ නිසා මුදල් වැය කළ යුත්තේ ආහාර සඳහාද නැත්නම් බෙහෙත් වැනි වෙනත් අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන්ද කියා තීරණය කිරීමට ඔවුන්ට සිදු වී තිබෙනවා.

භූමිකම්පා. ‘මහත් භූමිකම්පා ඇති වන්නේය’ කියාත් යේසුස් පැවසුවා. (ලූක් 21:11) වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී මිනිසුන් විශාල ප්‍රමාණයක් භූමිකම්පා නිසා මිය යන බව ඔබටත් වැටහී ඇති. භූමිකම්පා පිළිබඳව අධ්‍යයනය කරන එක් ඉන්දියානු ජාතිකයෙක් වන රාජේන්ද්‍ර 2007දී මෙවැනි ප්‍රකාශයක් කළා. “ලොව පුරාම භූමිකම්පා සිදුවීම්වල වැඩිවීමක් අද දක්නට තිබෙනවා. නමුත් එයට හේතුව කුමක්ද කියා කවුරුත් දන්නේ නැහැ.” භූමිකම්පා සිදුවීමේ අවධානමක් තිබෙන ප්‍රදේශවල ජනගහනය වර්ධනය වන නිසා භූමිකම්පාවලින් මිය යන සංඛ්‍යාව ඉහළ යනවා. වර්ෂ 2004දී ඉන්දියන් සාගරයේ හටගත් භූමිකම්පාව නිසා ඇති වූ සුනාමි ව්‍යසනය “ගත වූ වසර 500 ඇතුළතදී සිදු වූ විශාලතම ව්‍යසනයයි. එමෙන්ම එය මුළු ඉතිහාසය පුරාවටම වාර්තා වී ඇති දෙවෙනි භයානකම ව්‍යසනය” බවත් එක් සමීක්ෂණයකින් හෙළි වුණා.

වසංගත. මේ කාලයේදී ‘වසංගත ඇති වන්නේය’ කියාත් යේසුස් පැවසුවා. (ලූක් 21:11) ලොව පුරාම මිනිසුන් මින් පෙර අසා නොතිබූ ආකාරයේ රෝගවලින් පෙළෙන අතර ඒවා සුව කිරීමට නිසි ප්‍රතිකාර ක්‍රමවත් මේ වන තුරු සොයාගෙන නැහැ. උදාහරණයකට මැලේරියා වසංගතය මර්දනය කිරීමට ජාත්‍යන්තර වශයෙන් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණත් ඉන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. මෙතෙක් හඳුනාගෙන ඇති රෝග ඇතුළුව ක්ෂය රෝගය නිසාත් මිලියන ගණන් මිනිසුන් මිය ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට “ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට මේ වන විට ක්ෂය රෝගය වැලඳී තිබෙනවා.” එම සංවිධානය තවදුරටත් පැවසුවේ ඒඩ්ස් ඇතුළු වෙනත් රෝග නිසා ප්‍රතිශක්තිය දුර්වල වී ඇති අයට ක්ෂය රෝගය වැලඳීමේ වැඩි අවධානමක් තිබෙන බවයි. සෑම තත්පරයකදීම එක් අයෙක් ක්ෂය රෝගයට ගොදුරු වන බවත් සමහර අවස්ථාවලදී ප්‍රතිකාරවලින් පවා එය මර්දනය කිරීම අසීරු බවත් පෙනී ගොස් තිබෙනවා. නිව් සයන්ටිස්ට් සඟරාවේ සඳහන් වුණේ 2007දී ක්ෂය රෝගයට ගොදුරු වූ යුරෝපීය ජාතිකයෙකුට ලබා දුන් “කිසිම ප්‍රතිකාරයකින් ඵලක් වුණේ නැති” බවයි.

සමාජයේ පිරිහීම. ‘නීති විරෝධී ක්‍රියා වැඩි වෙන බැවින්’ බොහෝදෙනාගේ ‘ප්‍රේමය පිරිහෙන’ බවත් යේසුස් පැවසුවා. (මතෙව් 24:12) යේසුස් පැවසූ ඒ දේ හා සමාන දෙයක් බයිබල් ලේඛකයෙක් වූ පාවුල්ද පැවසුවා. මේ දුෂ්ට සමාජය විනාශ වීමට පෙර කටයුතු කිරීමට අසීරු කාලයක් පවතින බව ඔහු සඳහන් කළා. ඔහු එය හැඳින්වූයේ “අන්තිම දවස්” ලෙසයි. එම කාලය තුළ ජීවත් වන අය මෙවැනි ගුණාංග විදහා පෙන්වන බවත් ඔහු පැවසුවා. “මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය.” (2 තිමෝති 3:1-5) වෙන කිසිදාකටත් වඩා වැඩියෙන් මෙවැනි ගුණාංග විදහාපාන අය අද දින සිටිනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද?

ලෝක තත්වය තව තවත් දරුණු අතට හැරීමට දායක වී තිබෙන දේශපාලනමය හා සමාජීය කාරණා සියල්ලක්ම යේසුස් සහ පාවුල් සඳහන් කරන්නේ නැහැ. ඒ වුණත් අප අවට සිදු වන දේවල් හා මිනිසුන්ගේ පිරිහුණු ගුණාංග ගැන ඔවුන් පැවසූ අනාවැකි සත්‍යය බව අපට අද පැහැදිලිව පෙනෙනවා. අනාගතය ගැන පැවසිය හැක්කේ කුමක්ද? ගැලවුම්කරු වන යේසුස් සම්බන්ධයෙන් ඉතා නිවැරදිව අනාවැකි පැවසූ යෙසායා, දේවරාජ්‍යය පොළොව මත සිදු කරන විශාල වෙනස්කම් ගැනත් අනාවැකි පැවසුවා. එවැනි අනාවැකි කිහිපයක් ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[6වන පිටුවේ පින්තූරය]

‘ජාතියක් ජාතියකට විරුද්ධව නැඟී සිටිනු ඇත’

[7වන පිටුවේ පින්තූරය]

‘වසංගත ඇති වන්නේය’

[හිමිකම් විස්තර]

© WHO/​P. Virot