ආදම් පව් කළේ ඇයි?
පාඨකයන් අසයි
ආදම් පව් කළේ ඇයි?
යෙහෝවා දෙවිගේ නිර්මාණ තුළ කිසිම අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. (ද්විතීය කතාව 32:3, 4; ගීතාවලිය 18:30; මාක් 10:18) යෙහෝවා දෙවි ආදම්වත් නිර්මාණය කළේ ඒ ආකාරයටයි. දෙවි ඔහුට නිදහස් කැමැත්ත එනම් තීරණ ගැනීමේ නිදහස දී තිබුණා. ඒ අනුව තමා දෙවිට කීකරු වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට ආදම්ට අයිතිය තිබුණා.
දෙවි ආදම්ව නිර්මාණය කළේ කුමන අරමුණක් ඇතුවද? දෙවිට අවශ්‍ය වුණේ ආදම් මාර්ගයෙන් බුද්ධිමත් මිනිසුන් බිහි කර ඔවුන්ගෙන් මේ පොළොව පුරවන්නයි. මොවුන් දෙවිට දක්වන ප්‍රේමය නිසා කැමැත්තෙන්ම ඔහුගේ නීතිවලට කීකරු වෙනවා දකින්න දෙවි ආශා කළා. (ද්විතීය කතාව 10:12, 13; 30:19, 20) දෙවි ආදම්ව නිර්මාණය කළේ තමා කියන දේ පමණක් කළ හැකි කෙනෙකු ලෙස නම් ඔහුට නිදහස් කැමැත්ත ලබා දීමෙන් ඵලක් තිබෙනවාද? ආදම් නිදහස් කැමැත්ත වැරදි විදිහට යොදාගෙන තම භාර්යාව හා එකතු වී දෙවි කන්න එපා කියා පවසා තිබූ “යහපත සහ අයහපත දැනගැන්මේ ගසෙන්” ගෙඩි ගෙන කෑවා. එසේ කිරීමෙන් ඔවුන් දෙවිට අකීකරු වුණා.—උත්පත්ති 2:17, නව ලොව පරිවර්තනය, NW; 3:1-6.
ඉන් අදහස් වෙන්නේ හරි වැරැද්ද අතර වෙනස හඳුනාගත නොහැකි පුද්ගලයෙක් ලෙස දෙවි ආදම්ව නිර්මාණය කළ බවද? දෙවි ආදම් ඇතුළුව තමන් පොළොවේ නිර්මාණය කළ සියල්ල දෙස බලා ඒවා “ඉතා හොඳ තත්වයක” තිබෙනවා කියා පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:31, NW) එසේනම් ඔහු දෙවිට අකීකරු වුණේ දෙවි ඔහුව නිර්මාණය කළ ආකාරයේ යම් දෝෂයක් නිසා නොවන බව පැහැදිලියි. ඒ වෙනුවට ආදම් හිතා මතාම දෙවිට අකීකරු වුණා. (උත්පත්ති 3:17-19) මෙසේ තමා දෙවිට ප්‍රේම කරන බව පෙන්වීමට ආදම්ට හැකි වුණේ නැහැ.
මේ ගැනත් සිතන්න. යේසුස් පොළොවේ සිටියදී ඔහු සෑම අතින්ම ආදම්ට සමාන වුණා. එසේ පැවසිය හැක්කේ දෙවි කිසිම අඩු පාඩුවක් නැතුව ඔවුන් දෙදෙනාවම නිර්මාණය කළ නිසයි. (ලූක් 1:30, 31; 2:21; 3:23, 38) නමුත් දැඩි පීඩාකාරී තත්වයන් යටතේදී පවා යේසුස් නිදහස් කැමැත්ත මත දෙවිට කීකරු වීමට තීරණය කළා. නමුත් ආදම් තම නිදහස් කැමැත්ත යොදාගෙන දෙවිට අකීකරු වෙන්න තීරණය කළා. මේ අනුව දෙවිට අකීකරු වීමේ වරදට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ ආදම් විසින්මයි.
එසේනම් ආදම් දෙවිට අකීකරු වෙන්න තීරණය කළේ ඇයි? එසේ කිරීමෙන් දෙවිට සමාන විය හැකියි කියා සිතමින් ඔහු ‘රැවටුණේ නැහැ.’ (1 තිමෝති 2:14) නමුත් ඔහු තම බිරිඳගේ කීමට එකඟ වූ අතර දෙවිව සතුටු කරනවාට වඩා තම බිරිඳව සතුටු කිරීමේ ආශාවක් ඔහු තුළ තිබුණා. ආදම්ට දෙවි කෙරෙහි අවංක ප්‍රේමයක් තිබුණේ නැති නිසා වැරදි දේවල් කිරීමට පැමිණි බලපෑම් හමුවේ දෙවිට කීකරුව සිටින්න ඔහුට හැකි වුණේ නැහැ. එමෙන්ම දෙවිට අකීකරු වීමෙන් තමන්ට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය පලුදු විය හැකි බව ඔහු අමතක කර තිබුණා.
ආදම් කළ පාපය ඔහුගේ දරුවන්ටත් ඔවුන්ගෙන් පැවතෙන සියල්ලන්ටත් උරුම වුණා. ආදම්ට හා සමානව දෙවි අපටත් නිදහස් කැමැත්ත දී තිබෙනවා. අපේ නමස්කාරයත් කීකරුකමත් ලැබීමට වටිනා දෙවි අපි වෙනුවෙන් කර තිබෙන සෑම යහපත් දෙයක් ගැනම සිතමින් ඔහු කෙරෙහි සැබෑ ප්‍රේමයක් වර්ධනය කරගනිමු.—ගීතාවලිය 63:6; මතෙව් 22:36, 37.