Skip to content

පටුනට යන්න

ඇය ගැඹුරින් කල්පනා කළා

ඇය ගැඹුරින් කල්පනා කළා

ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු

ඇය ගැඹුරින් කල්පනා කළා

මරියා තරමක් අපහසුවෙන් බූරුවෙකු පිට පැය ගාණක් තිස්සේ ගමන් කරනවා. ඇයට ඉදිරියෙන් ගමන් කරන්නේ ඇගේ ස්වාමිපුරුෂයා වන යෝසෙප්. මේ දෙදෙනා දැන් යන්නේ දුර ඈත පිහිටි බෙත්ලෙහෙම් නගරයටයි. මේ ගමන අතරතුරේදීත් කුසේ සිටින දරුවා දඟලනවා මරියාට දැනෙනවා.

මේ වන විට මරියා සිටින්නේ දරුවාව බිහි කරන්න ආසන්න කාලයේයි. බයිබලයේද සඳහන් වන්නේ “ඈ ගැබ්බරව සිටියා” කියායි. (ලූක් 2:5) ඔවුන් කෙත් යායවල් පසු කරගෙන යන විට, ගැබ්බරව සිටින මවක් කොහේද මේ යන්නේ කියා වැඩ කරමින් සිටි ගොවීන් කල්පනා කරන්න ඇති. මරියා තමා පදිංචි වි සිටින නාසරෙත්හි සිට මෙවැනි දුර ගමනක් යෑමට හේතුව කුමක්ද?

මරියා කුසේ දරාගෙන සිටින්නේ දෙවිගේ පුත්‍රයාවයි. අනාගතයේදී ගැලවුම්කරු වන්නේ මේ දරුවායි. (ලූක් 1:35) දරුවාව බිහි කරන කාලය ළඟා වෙත්ම එම ගමන යෑමේ අවශ්‍යතාව මතු වුණා. මේ ගමනේදී ඇගේ ඇදහිල්ලට අභියෝග කළ යම් දේවලට මුහුණ දෙන්නත් ඇයට සිදු වුණා. එවැනි තත්වයන් හමුවේ ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටීමට ඇයට හැකි වුණේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

බෙත්ලෙහෙම වෙත

මෙවැනි දුර බැහැර ගමනක් යන්න සිදු වී තිබෙන්නේ යෝසෙප්ට සහ මරියාට පමණක් නොවෙයි. ඊට හේතුව රෝම පාලකයා වූ සීසර් ඔගස්ටස් සෑම කෙනෙකුටම තම උපන් ගමට ගොස් ලියාපදිංචි වෙන්න කියා නියෝගයක් නිකුත් කර තිබීමයි. එම නියෝගයට යෝසෙප් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෝසෙප්ද, දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් වූ බැවින්, ගලීලයේ නාසරෙත් නුවරින් පිට වී යුදයේ පිහිටි දාවිත්ගේ නුවරට ගියේය. එය බෙත්ලෙහෙම ලෙස හැඳින්විය.”—ලූක් 2:1-4.

ගැලවුම්කරු උපත ලැබීමට වසර 700කට පමණ පෙර ඔහු උපදින්නේ බෙත්ලෙහෙමේ බව අනාවැකියක සඳහන් වුණා. මේ අනුව මෙවන් කාලයක සෑම කෙනෙකුටම තම ගම්වලට ගොස් ලියාපදිංචි වෙන ලෙසට සීසර් නිකුත් කළ නියෝගය අනාවැකියක ඉටුවීමට මඟ විවර කළා. නමුත් නාසරෙත් සිට කිලෝමීටර් 11ක් පමණ දුරකින් බෙත්ලෙහෙම කියා හැඳින්වූ තවත් නගරයක් තිබුණා. නමුත් එම අනාවැකියේ පැහැදිලිව සඳහන් වී තිබුණේ ගැලවුම්කරු “බෙත්ලෙහෙම් එෆ්‍රාතා” යන නගරයේ උපත ලබන බවයි. නාසරෙත් නගරයේ සිට බෙත්ලෙහෙම් එෆ්‍රාතා නගරයට තිබෙන දුර කිලෝමීටර් 150ක් පමණ වන අතර එයත් කඳු බෑවුම්වලින් යුක්තයි. (මීකා 5:2, නව ලොව පරිවර්තනය, NW) යෝසෙප් සහ මරියා අයත් වුණේ බෙත්ලෙහෙම් එෆ්‍රාතාවලටයි. ඊට හේතුව ඔවුන්ගේ මුතුන්මිත්තා වූ දාවිත් රජ ඒ නගරයේ උපත ලැබීමයි.

මරියා සිටින තත්වය හා බලන විට මෙම ගමන තරමක් දුෂ්කරයි. වියළි කාලය අවසන් වී වැසි කාලය ඇරඹී තිබෙන නිසා ඉඳ හිට මද වැසි පවා ඇති වෙනවා. එමෙන්ම බෙත්ලෙහෙම පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 760ක් පමණ ඉහළිනුයි. මේ නිසා ඔවුන්ට මේ ගමනේදී කඳු නඟිමින් යන්න සිදු වෙනවා. මරියා සිටි තත්වයට අනුව ඇයට විටින්විට විවේකය අවශ්‍ය වූ නිසා මේ ගමනට වැඩි කාලයක් ගත වෙන්න ඇති. සාමාන්‍යයෙන් තරුණ මවක් කැමති වන්නේ දරුවා බිහි කරන්න ආසන්න කාලයේදී තමන්ගේ දෙමව්පියන් සමඟ සිටින්නයි. ඊට හේතුව ඇයට පවුලේ අයගෙන් උපකාර ලැබෙන නිසයි. එවන් තත්වයන් හමුවේ පවා මරියා මේ ගමන යෑමට කැමති වුණේ ඇයි?

බයිබල් ලේඛකයෙකු වූ ලූක් පවසන ආකාරයට යෝසෙප් මේ ගමන යන්නේ “පොරොන්දු වූ පරිදි ඔහුට විවාහ කර දී තිබූ මරියා සමඟ එහිදී ලියාපදිංචි” වීම සඳහායි. (ලූක් 2:4, 5) මරියා එම ගමන යෑමට හේතුව ඉහත පදයෙන් පැහැදිලි වෙනවා. ඇය යෝසෙප්ව සැලකුවේ පවුලේ මූලිකයා ලෙසයි. ඒ නිසා දෙවි ඉදිරියේ ස්වාමිපුරුෂයාට සහයෝගය දැක්වීමේ වගකීම තමාට තිබෙන බව මරියා වටහාගෙන තිබුණා. * මේ කාරණයේදී මරියා ස්වාමිපුරුෂයාට කීකරු වීමෙන් පෙන්නුම් කළේ ඇයට ශක්තිමත් ඇදහිල්ලක් තිබූ බවයි.

මේ ගමන යෑම සඳහා මරියාට තවත් හේතු තිබුණාද? ගැලවුම්කරු උපත ලබන්නේ බෙත්ලෙහෙමේ කියා ඇය දැන සිටියාද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් එවකට සිටි යුදෙව් ආගමික නායකයන් හා සාමාන්‍ය ජනයා ඒ ගැන දැන සිටි නිසා මරියාද එම කාරණය ගැන දැන සිටියා කියා සිතිය හැකියි. (මතෙව් 2:1-7; යොහන් 7:40-42) එමෙන්ම ඇයට ශුද්ධ ලියවිල්ල ගැනත් හොඳ අවබෝධයක් තිබුණා. (ලූක් 1:46-55) මරියා මෙම ගමන යන්න තීරණය කළේ ස්වාමිපුරුෂයාට සහ රජයේ නීතියට කීකරු විය යුතු නිසා විය හැකියි. එසේ නැතිනම් දෙවිගේ අනාවැකිය ඉටු කළ යුතු නිසා විය හැකියි. ඒ කුමන හේතුවක් නිසා ඇය මේ ගමන යන්න තීරණය කළත් නිහතමානිකම සහ කීකරුකම සම්බන්ධයෙන් ඇය තබන්නේ කදිම ආදර්ශයක්. එවැනි ආකල්පයක් ඇතුව කටයුතු කරන ස්ත්‍රීන්ව හා පුරුෂයන්ව යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කරනවා. අකීකරුකම දසත පැතුරුණු ලොවක ජීවත් වන අපට කීකරුකම සම්බන්ධයෙන් මරියා තබන්නේ මොන තරම් වටිනා ආදර්ශයක්ද!

ගැලවුම්කරු උපත ලබයි

බෙත්ලෙහෙම් නගරය දකිද්දී මරියාට ලොකු සහනයක් දැනෙන්න ඇති. ඔලීව වතු පසු කරගෙන කන්ද නඟින විට ඔවුන්ට බෙත්ලෙහෙම් නගරයේ ඉතිහාසය මතකයට නැඟෙන්නත් ඇති. මීකා නම් අනාගතවක්තෘවරයා පවසා තිබූ ආකාරයට බෙත්ලෙහෙම කියන්නේ යුදා නගර අතර තිබෙන කුඩා නගරයක්. නමුත් ඊට බොහෝ කලකට පෙර බෝවස්, නයෝමි සහ දාවිත් වැනි අය උපත ලැබුවේ මේ කුඩා නගරයේයි.

යෝසෙප් සහ මරියා බෙත්ලෙහෙමට යන විටත් එහි ලියාපදිංචි වීම සඳහා පැමිණ සිටි ජනයා නිසා ඔවුන්ට නවාතැන් ගැනීමට ස්ථානයක් ලැබුණේ නැහැ. * ඒ නිසා ඔවුන්ට රාත්‍රිය ගත කරන්න සිදු වුණේ ගව මඩුවකයි. නමුත් මේ අවස්ථාවේදී මරියා කලින් අද්දැක නොතිබූ ආකාරයේ වේදනාවක් අද්දකිනවා. මෙය දකින යෝසෙප් මොන තරම් කලබල වෙන්න ඇතිද? ගව මඩුවකදී එවන් තත්වයකට මුහුණ දීම කොතරම් අසීරුද?

මරියා දරුවාව බිහි කරන අවස්ථාවේ අද්දුටු වේදනාව ඕනෑම මවකට තේරුම්ගත හැකියි. ඊට අවුරුදු 4,000කට පමණ පෙර යෙහෝවා දෙවි පවසා තිබුණේ මුල්ම මිනිස් යුවළ දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස මවක් වේදනාසහගතව දරුවන් බිහි කරන බවයි. (උත්පත්ති 3:16) දරුවාව බිහි කරන අවස්ථාවේදී මරියා අද්දුටු වේදනාව ගැන ලූක් කිසිවක් සඳහන් කර නැහැ. ඔහු සඳහන් කරන්නේ ඇය ‘තම කුලුඳුල් පුත්‍රයා බිහි කළා’ කියා පමණයි. (ලූක් 2:7) මේ දරුවාට අමතරව මරියාට තවත් දරුවන් හයදෙනෙක්වත් සිටින්න ඇති. (මාක් 6:3) නමුත් ඇගේ “කුලුඳුල් පුත්‍රයා” ඒ සෑම දරුවෙකුටම වඩා සුවිශේෂී කෙනෙක් වුණා. ඊට හේතුව එම දරුවා යෙහෝවා දෙවිගේ කුලුඳුල් පුත්‍රයා මෙන්ම ඔහුගේ “මුළු මැවිල්ලේම කුලුඳුලා” වීමයි.—කොලොස්සි 1:15.

මරියා දරුවාව බිහි කර ‘ඔහුව රෙදි පටිවලින් ඔතා ගව ඔරුවක තැබුවා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:7) නත්තල් සමයේදී රඟ දක්වන නාට්‍යවල සහ එම සිද්ධිය අලළා ඇඳ තිබෙන චිත්‍රවල එම අවස්ථාවේ සැබෑ තත්වය පෙන්නුම් කර නැහැ. නමුත් ඇත්තටම එහි තිබුණේ මොන වගේ වාතාවරණයක්ද කියා සිතා බලන්න. මරියා දරුවාව නිදි කළේ සතුන්ට කෑම දීම සඳහා සාදා තිබූ ගව ඔරුවකයි. ඔවුන් සිටි ගව මඩුවේ හොඳ වාතාශ්‍රයක් සහ සනීපාරක්ෂාවක් තිබුණා කියා සිතන්න බැහැ. කිසිම මවක් එවැනි ස්ථානයක දරුවෙක් බිහි කරන්න කැමති වෙයිද? සාමාන්‍යයෙන් දෙමව්පියන් කැමති වන්නේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්නයි. එසේනම් දෙවිගේ පුත්‍රයාට හොඳම දේ ලබා දෙන්න මරියාට සහ යෝසෙප්ට ඊටත් වඩා කොතරම් ලොකු ආශාවක් තියෙන්න ඇතිද?

දරුවා වෙනුවෙන් කළ නොහැකි දේවල් ගැන සිතමින් දුක් වෙනවා වෙනුවට ඔවුන් හැකි උපරිමයෙන් දරුවාට සැලකුවා. උදාහරණයකට මරියා දරුවාට අවශ්‍ය උණුසුම ලබා දීම සඳහා ඔහුව රෙදිවලින් ඔතා සුරක්ෂිතව ගව ඔරුවක තැබුවා. ඇය දරුවා ගැන කොතරම් සැලකිලිමත් වුණාද කියා ඉන් පැහැදිලියි. දරුවා වෙනුවෙන් කළ හැකි හොඳම දේ වන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා දරුවාට උපකාර කිරීම බව ඔවුන් තේරුම්ගත්තා. (ද්විතීය කතාව 6:6-8) අද දින සිටින ඥානවන්ත දෙමව්පියන්ද උත්සාහ කරන්නේ දෙවිගේ නමස්කාරයට මුල් තැන දීම සඳහා දරුවන්ව පුහුණු කිරීමටයි.

දිරිගැන්වීම් ලබමින්

මේ අතරවාරයේදී දරුවාව බැලීම සඳහා අමුත්තන් පිරිසක් ගව මඩුව වෙත පැමිණෙනවා. ඒ වෙන කවුරුත් නොව එඬේරුන්. ඔවුන් පැමිණෙන්නේ පුදුමාකාර ප්‍රීතියකින් හා කුතුහලයකිනුයි. ඔවුන් රාත්‍රියේදී බැටළුවන්ව බලාගනිමින් සිටින විට නොසිතූ ලෙස දේවදූතයෙක් ඔවුන් වෙත පැමිණ ගැලවුම්කරු බෙත්ලෙහෙමේ උපත ලබා සිටින බවත් ඔහුව ගව ඔරුවක තබා තිබෙන බවත් පැවසුවා. * ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ තේජස එම දේවදූතයා වටා විහිදී ගියා. ඒත් එක්කම තවත් පුදුමාකාර දෙයක් සිදු වුණා. දේවදූත සමූහයක් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන ආකාරයත් එඬේරුන් දුටුවා. ඔවුන් මේ සියල්ල මරියාටත් යෝසෙප්ටත් පැවසුවා.

දේවදූතයා පැවසූ ආකාරයටම අලුත උපන් දරුවා ගව ඔරුවක සිටිනවා දැකීමෙන් එඬේරුන් පුදුම වෙන්න ඇති. දේවදූතයා තමන්ට පැවසූ දේවල් ඔවුන් රහසක්ව තබාගත්තේ නැහැ. ඒ වෙනුවට ඔවුන් “තමුන්ට පැවසූ දේ දැන්වූ” අතර ‘එය ඇසූ සියලුදෙනාම, එඬේරුන් තමන්ට කී දේවල් ගැන මවිත වුණා.’ (ලූක් 2:17, 18) එදා සිටි ආගමික නායකයන් එඬේරුන්ව සැලකුවේ පහත් අය හැටියටයි. නමුත් යෙහෝවා දෙවි මෙම නිහතමානී ඇදහිලිවන්ත එඬේරුන්ව ඒ ආකාරයෙන් සැලකුවේ නැහැ. එඬේරුන්ගේ පැමිණීම මරියාට දිරිගැන්වීමක් වුණේ කෙසේද?

දරු ප්‍රසූතියෙන් පසු මරියා සිටින්නේ තරමක් අපහසුවෙනුයි. ඒ වුණත් ඇය එඬේරුන් පැවසූ දේවලට උනන්දුවෙන් සවන් දුන්නා. ඒ විතරක් නෙවෙයි ඇය “මේ වදන් සියල්ල සිතෙහි සුරකිමින් මේ දේවල අර්ථය ගැන කල්පනා කළා.” (ලූක් 2:19) මෙයින් පෙනී යන්නේ මරියා දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන කාන්තාවක් බවයි. දේවදූතයා පැවසූ දේ ඉතා වැදගත් බව ඇය දැන සිටියා. ඊට හේතුව තමා බිහි කළ දරුවා කවුද කියාත් ඔහුගේ ඇති වැදගත්කම කුමක්ද කියාත් මරියා හොඳින් අවබෝධ කරගැනීම දෙවි ඇගෙන් බලාපොරොත්තු වීමයි. ඒ නිසා එඬේරුන් පැවසූ දේවලට නිකම්ම සවන් දෙනවා වෙනුවට ඒ දේවල් ඇගේ සිතේ තබාගත්තා. ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලයේදී ඒ ගැන ගැඹුරින් සිතා බලන්න ඇයට හැකි වුණා. මරියාට ශක්තිමත් ඇදහිල්ලක් තිබුණේ ඇය ඒ කාරණා ගැන ගැඹුරින් කල්පනා කළ නිසයි.

අපට මරියාගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? යෙහෝවා දෙවි බයිබලය තුළ වටිනා තොරතුරු රැසක් ඇතුළත් කර තිබෙනවා. ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් අපි එම තොරතුරුවලට හොඳින් අවධානය දිය යුතුයි. එසේ කිරීමට නම් බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන පොතක් ලෙස සලකා එය නිතිපතා කියවීම අවශ්‍යයි. (2 තිමෝති 3:16) එයින් ඉගෙනගන්නා තොරතුරු අපේ ජීවිතයට අදාළ කරගත හැක්කේ කෙසේද කියා කල්පනා කර බලා ඒවා අදාළ කරගත යුතුයි. එසේ කරනවා නම් අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරගැනීමට එය උපකාරවත් වෙනවා.

තව තවත් දිරිගැන්වීම් ලබමින්

මෝසෙස්ගේ නීතියට අනුව මරියා සහ යෝසෙප් දරුවාට දවස් අටක් සම්පූර්ණ වූ විට ඔහුව චර්මච්ඡේදනය කළා. ඉන්පසු කලින් පවසා තිබූ පරිදි දරුවාට යේසුස් යන නම තැබුවා. (ලූක් 1:31) හතළිස්වෙනි දවසේදී සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි යෙරුසලමේ දේවමාලිගාවට දරුවාව රැගෙන ගොස් පවිත්‍ර වීමේ පූජාවක් ඔප්පු කළා. ඒ සඳහා ඔවුන් කොබෙයියන් හෝ පරවියන් දෙදෙනෙකුව පූජා කරන්න ඇති. ඔවුන් එසේ කළේ දිලිඳු අයට එවැනි පූජා ඔප්පු කිරීමට අවසර තිබූ නිසයි. කොහොමවුණත් තමන්ට බැටළු වස්සෙකුව පූජා කිරීමට නොහැකි වීම ගැන මරියා සහ යෝසෙප් ලැජ්ජා වුණේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී ඔවුන්ට කදිම දිරිගැන්වීමක් ලැබුණා.—ලූක් 2:21-24.

දේවමාලිගාවේ සිටි මහලු සිමියොන් පැවසූ දේවලින් මරියා තවත් ශක්තිමත් වුණා. ඔහු මිය යන්න පෙර ගැලවුම්කරුව දකින බව දෙවි ඔහුට පොරොන්දු වී තිබුණා. පොරොන්දු වූ ඒ ගැලවුම්කරු යේසුස් බව දෙවි ඔහුට හෙළි කළා. පසුව සිමියොන් මරියාට පැවසුවේ යම් දවසක කඩුවක් හදවත පසාරු කරගෙන යනවා හා සමාන වේදනාවක් ඇය අද්දකින බවයි. (ලූක් 2:25-35) එම වදන් හද කම්පිත කරවනසුලු වුණත් වසර 30කින් සිදුවීමට නියමිත දේකට මුහුණ දීමට එය මරියාට ශක්තියක් වුණා. ඉන්පසු මහලු අනාගතවක්තෘවරියක් වූ ආනා යේසුස්ව දැකීමෙන් පසු යෙරුසලමට ගැලවීම ලබා දෙන තැනැත්තා උපත ලබා ඇති බව අන් අයට පැවසුවා. මරියා ඒ සියලු වදන් ඇගේ සිතට ගත්තා.—ලූක් 2:36-38.

යෝසෙප් සහ මරියා යේසුස්ව දේවමාලිගාවට රැගෙන යෑමෙන් මොන තරම් ප්‍රයෝජන ලැබුවාද! ජීවිත කාලය පුරාවටම දේවමාලිගාවට යෑමට අවශ්‍ය අඩිතාලම එමඟින් ඔහුට ලැබුණා. යෝසෙප් සහ මරියා දේවමාලිගාවේදී තමන්ගේ උපරිමය දෙවි වෙනුවෙන් කළා. එමෙන්ම එහිදී ඔවුන්ට දිරිගන්වනසුලු වදන්වලට සවන් දීමේ අවස්ථාවත් ලැබුණා. මරියා දේවමාලිගාවෙන් පිටව යද්දී ඇගේ සිතේ බොහෝ තොරතුරු රැඳී තිබුණා. පසු කාලයේදී මරියා එම තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කර අන් අයටත් ඒ දේවල් ගැන පැවසුවා.

මරියාගේ ආදර්ශය අනුගමනය කරන දෙමව්පියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටිනවා. ඔවුන් තම දරුවන්ව නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට ගෙන යනවා. එහිදී ඔවුන් අන් අයව දිරිගන්වමින් තමන්ට හැකි උපරිමයෙන් දෙවිට සේවය කරනවා. ඔවුන් රැස්වීම් අවසන් වී පිටව යන්නේ හද පිරි සතුටින්. එමෙන්ම රැස්වීම්වලින් ඉගෙනගන්නා වටිනා තොරතුරු ඔවුන් අන් අයටත් පවසනවා. එම රැස්වීම්වලට ඔවුන් හා එක්වන්න කියා අපි ඔබටත් ආරාධනා කරන්න කැමතියි. එසේ කිරීමෙන් මරියා මෙන් ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගන්න ඔබටත් හැකි වෙයි.

[පාදසටහන්වල]

^ 10 ඡේ. මරියා එලිසබෙත්ව හමුවීමට ගිය ගමන සහ යෝසෙප් සමඟ බෙත්ලෙහෙමට යන ගමන අතර ඇති වෙනස සලකා බලන්න. ලූක් 1:39හි සඳහන් වෙන්නේ “මරියා නැඟිට, කඳුකරයේ පිහිටි, යූදාහි නුවරකට ඉක්මනින්ම ගොස්” එලිසබෙත්ව මුණගැසුණා කියායි. ඒ ගමන ගිය අවස්ථාවේදී මරියා යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙන සිටියත් විවාහ වී සිටියේ නැති නිසා ඇය ඒ ගමන යන්න ඇත්තේ යෝසෙප්ගේ අනුදැනුම නොමැතිව විය හැකියි. නමුත් ඔවුන් විවාහ වූ පසුව බෙත්ලෙහෙම බලා යන මේ ගමනේ සිද්ධීන් වාර්තා කර තිබෙන්නේ යෝසෙප්ව මුල් කරගෙනයි.

^ 14 ඡේ. නගරයකට පැමිණෙන අමුත්තන්ට නවාතැන් සැපයීම අතීතයේ සිරිතක්ව පැවතුණා.

^ 19 ඡේ. එඬේරුන් තම බැටළුවන් සමඟ රාත්‍රියේ එළිමහනේ සිටීමෙන් පෙනී යන්නේ යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේදී සිදු නොවූ බවයි. ඊට හේතුව එම මාසයේ පවතින්නේ සීත කාලගුණයක් නිසා සාමාන්‍යයෙන් එඬේරුන් තම බැටළුවන්ව නිවෙස් කිට්ටුවෙන්ම ගාල් කර තැබීමයි. මේ නිසා යේසුස්ගේ උපත සිදු වී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ මුල්භාගයේදී කියා සිතිය හැකියි.

[25වන පිටුවේ පින්තූරය]

පොරොන්දු වූ ගැලවුම්කරුව දැකගැනීමේ වරප්‍රසාදය සිමියොන්ට ලැබුණා