ඔබ දැන සිටියාද?
ඔබ දැන සිටියාද?
යුදෙව්වන් සබත පැවැත්වීම සවස් වරුවෙන් ආරම්භ කළේ ඇයි?
සබත් දවස ගැන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුවන්ට මෙවැනි නීතියක් දී තිබුණා. ‘එදින ඔබ වෙන කිසි වැඩක් නොකළ යුතුයි. එය ඔබ වෙන කිසි වැඩක් නොකර මුළු දවසම විවේකයෙන් ගත කළ යුතු සබත් දවසකි. සවස සිට පසුවදා සවස දක්වා සබත පැවැත්විය යුතුයි.’ (ලෙවී කතාව 23:28, 32, නව ලොව පරිවර්තනය, NW) ඉන් පෙනී යන්නේ සෑම දවසක්ම ගණන්ගෙන තිබෙන්නේ හිරු බැස යෑමෙන් පසුව බවයි. මේ අනුව යුදෙව්වන් හිරු බැස යෑමේ සිට ඊළඟ දවසේ හිරු බැස යෑම දක්වා කාලය එක් දවසක් ලෙස සැලකුවා.
ඔවුන් ඒ ආකාරයට දවසක් ගණනය කළේ යෙහෝවා දෙවිම හඳුන්වා දුන් ක්‍රමයකට අනුවයි. දෙවි සෑම දෙයක්ම නිර්මාණය කළ කාල පරිච්ඡේදය බයිබලයේ වෙන් වෙන්ව දවස් ලෙස විස්තර කර තිබෙනවා. ඒ සෑම සංකේතාත්මක දවසක්ම ආරම්භ වූයේ ‘සවස් යාමයෙන්.’ උදාහරණයකට පළමු දවස ගැන බයිබලයෙහි මෙසේ සඳහන් වෙනවා. “සවස් විය. උදය විය. ඒ පළමුවන දවසය.”—උත්පත්ති 1:5, 8, 13, 19, 23, 31, NW.
මේ ආකාරයට දවසක් ගණනය කළේ යුදෙව්වන් පමණක් නොවෙයි. ඇතන්ස්වරුන්, නියුමිඩියානුවන් හා ෆිනීෂියානුවන්ද දවසක් ගණනය කළේ ඒ ආකාරයටයි. නමුත් බැබිලෝනිවරුගේ දවස ඇරඹුණේ හිරු උදාවත් සමඟයි. අනික් අතට ඊජිප්තුවරුන් හා රෝමවරුන් දවසක් ගණනය කළේ මධ්‍යම රාත්‍රියේ සිට ඊළඟ මධ්‍යම රාත්‍රිය දක්වායි. අද අපි හුරු වී සිටින්නේද ඒ ක්‍රමයටයි. කෙසේවෙතත් පුරාණයේ සිටි යුදෙව්වන් මෙන් අද සිටින යුදෙව්වන්ද සබත් දවස ආරම්භ කරන්නේ හිරු බැස යෑමෙන් පසුවයි.
“සබත් දවසක ගමනක දුරකින්” අදහස් කළේ කුමක්ද?
යේසුස් සමඟ ඔලීව කන්දේ සිටි ගෝලයන් යේසුස් ස්වර්ගයට යනවා දැකීමෙන් පසු නැවතත් යෙරුසලම බලා පිටත් වුණා. යෙරුසලම පිහිටා තිබුණේ ඔලීව කන්දේ සිට ‘සබත් දවසක ගමනක දුරකිනුයි.’ (ක්‍රියා 1:12) සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට කිලෝමීටර 30ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කළ හැකි වුණත් ඔලීව කන්දේ සිට යෙරුසලමට එතරම් දුරක් තිබුණේ නැහැ. එසේනම් ගෝලයන්ට ‘සබත් දවසක ගමනක දුරක්’ යන්න සිදු වුණා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
සබත් දවසේදී ඊශ්‍රායෙල්වරුන් කිසිම වැඩක් නොකර විවේකයෙන් සිටිය යුතු වුණා. ඒ නිසා නිවසේ ගින්නක් දැල්වීම පවා ඔවුන්ට තහනම් වූ දෙයක්. (නික්මයාම 20:10; 35:2, 3) යෙහෝවා දෙවි ඔවුන්ට මෙවැනි ආඥාවක් දුන්නා. “සියලුදෙනාම තම තමන්ගේ ස්ථානවලම රැඳී සිටින්න. කිසිම කෙනෙක් පිටතට නොයා යුතුයි.” (නික්මයාම 16:29, NW) එම නීතිය නිසා ඊශ්‍රායෙල්වරුන්ට සාමාන්‍ය වැඩකටයුතුවලින් විවේක ගෙන නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල නිරත වීමට අවස්ථාව ලැබුණා.
නීතියට දැඩි සේ ඇලී සිටි යුදෙව් ගුරුවරුන් යෙහෝවා දෙවි පනවා තිබූ නීතියට තවත් නීති ඇතුළත් කළා. උදාහරණයකට කෙනෙකුට නමස්කාර කිරීම සඳහා ගමන් කළ හැකි නිශ්චිත දුරක් ඔවුන් නියම කළා. ඒ ගැන එක් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වුණා. “සබත් දවස පැවැත්වීම සම්බන්ධයෙන් පනවා තිබූ දැඩි සීමා තහංචි නිසා ඊශ්‍රායෙල්වරුන්ට සබත් දවසේදී නියම කර තිබූ දුරට වඩා ගමන් කිරීමට අවසර තිබුණේ නැහැ. එම නියම කර තිබූ දුර ප්‍රමාණය හඳුන්වන්නේ සබත් දවසක ගමනක දුර කියායි.” එය මීටර 890 සිට 1,110 අතර වූ දුර ප්‍රමාණයක් වුණා.—Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature.
[11වන පිටුවේ පින්තූරය]
ඔලීව කන්දේ සිට යෙරුසලම පෙනෙන අයුරු