Skip to content

පටුනට යන්න

සුවිශේෂ පොත් විශ්වාස කළ හැකිද?

සුවිශේෂ පොත් විශ්වාස කළ හැකිද?

සුවිශේෂ පොත් විශ්වාස කළ හැකිද?

“සුවිශේෂ පොත් සැලකිය යුත්තේ පුරාණයේ සිටි ක්‍රිස්තියානීන් ලියූ ගෙතූ කතා ලෙසයි.”—අලුත් ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරන විශ්‍රාම ලත්, මහාචාර්ය බර්ටන් එල්. මැක්.

සුවිශේෂ පොත්වල ඇති විශ්වාසවන්තභාවය ගැන සැක කරන්නේ ඉහත අදහස් දැක්වූ මහාචාර්යවරයා පමණක් නෙවෙයි. සමහර බයිබල් විශාරදයන්ද යේසුස් ගැන සඳහන් වී තිබෙන මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන සුවිශේෂ පොත්වල විශ්වාසවන්තභාවය ගැන සැක කරනවා. ඊට හේතුව කුමක්ද? එවැනි මත සුවිශේෂ පොත් ගැන ඔබ තුළ ඇති විශ්වාසය බිඳ දැමීමට හේතු විය යුතුද? අපි දැන් මේ පිළිබඳව තොරතුරු කිහිපයක් සලකා බලමු.

විශ්වාසවන්තභාවය ගැන සැක මතු වෙයි

ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේ සිට 17වන සියවස දක්වා කාලය තුළ සුවිශේෂ පොත්වල විශ්වාසවන්තභාවය ගැන ප්‍රශ්න මතු වුණේ නැහැ. නමුත් 19වන සියවසේ සිට ඒ තත්වය වෙනස් වුණා. සමහර උගතුන් කියා සිටියේ සුවිශේෂ පොත් දෙවිගේ මඟ පෙන්වීමෙන් තොරව මිනිසුන් ලියූ පොත් බවයි. එමෙන්ම සුවිශේෂ පොත් ලියූ අයට යේසුස් පිළිබඳව නිවැරදි තොරතුරු නොතිබූ බවත් ඔවුන්ට ඉතිහාසය ගැන නිවැරදි වාර්තා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොතිබූ බවත් එවැනි උගතුන් පවසනවා. එමෙන්ම මතෙව්, මාක් සහ ලූක් යන පොත් තුනෙහි වාර්තා කර තිබෙන තොරතුරු හා ඒවා වාර්තා කර තිබෙන ආකාරයේ ඇති යම් සමානකම් නිසා මාක්ගේ වාර්තා උපයෝගි කරගෙන මතෙව් හා ලූක් ඔවුන්ගේ පොත් ලියන්න ඇති කියා එවන් අය පවසනවා. සමහර විවේචකයන් සුවිශේෂ පොත්වල සඳහන් යේසුස්ගේ බලවත් ක්‍රියා හා ඔහුගේ නැවත නැඟිටීම පවා විශ්වාස කරන්නේ නැහැ. තවත් සමහරු පවසන්නේ යේසුස් කියා පුද්ගලයෙක් ඉතිහාසයේ සිටියේ නැති බවයි.

මතෙව් සහ ලූක් තොරතුරු වාර්තා කිරීමට මාක්ගේ සුවිශේෂය යොදාගත් නිසා මාක් ඔහුගේ පොත පළමුවෙන්ම ලියා අවසන් කළ බව විවේචකයන් තවදුරටත් පවසනවා. මාක්ගේ ලියවිල්ලට අමතරව මතෙව් සහ ලූක් වෙනත් යම් ලියවිල්ලකින්ද තොරතුරු ලබාගත් බවත් ඔවුන් විශ්වාස කරනවා. මෙවැනි මතයක් ප්‍රචලිතව තිබෙන නිසා “සුවිශේෂ වාර්තා ලියූ අය ලේඛකයන් නොව නමුත් පිටපත්කරුවන් බවට පත් වෙනවා” කියා බයිබල් විශාරදයෙක් වන ඒ. එෆ්. ජේ. ක්ලයින් පැවසුවා. මේ නිසා මේ සුවිශේෂ ලියූ ලේඛකයන් ගැන මිනිසුන්ගේ මනසේ ඇඳෙන්නේ වැරදි චිත්‍රයක්. මෙය බයිබලය දෙවිගෙන් ලද පොතක් යන විශ්වාසය පලුදු කිරීමට හේතු වී තිබෙනවා.—2 තිමෝති 3:16.

ලේඛකයන්ද? පිටපත්කරුවන්ද?

මතෙව්, මාක් සහ ලූක් යන පොත්වල යම් සමානකම් තිබෙන නිසාම ඔවුන් එකිනෙකාගෙන් තොරතුරු බලාගෙන පිටපත් කළා කියා පවසන්න බැහැ. ඊට හේතුව යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙවැනි පොරොන්දුවක් දී තිබීමයි. “මා ඔබට පැවසූ සියල්ල ඔබට” දෙවිගේ බලයේ උපකාරයෙන් “සිහි කරවන්නේය.” (යොහන් 14:26) මේ නිසා සුවිශේෂ පොත් ලියූ අයට එක හා සමාන දේවල් මතක් වීම ගැනත් ඔවුන් ඒවා වාර්තා කිරීම ගැනත් අපි පුදුම විය යුතු නැහැ. සමහර බයිබල් ලේඛකයන් වෙනත් බයිබල් ලේඛකයන්ගේ පොත් කියවන්නත් ඒවාට යොමු දක්වන්නත් ඇති. නමුත් ඔවුන් එසේ කළේ ඒ තොරතුරු පර්යේෂණය කිරීමට මිස ඒ තොරතුරු එලෙසම තමන්ගේ පොතට ඇතුළත් කිරීමට නොවෙයි. (2 පේතෘස් 3:15) මීට අමතරව එක් බයිබල් ශබ්දකෝෂයක මෙවැනි අදහසක්ද පළ වුණා. “යේසුස් සම්බන්ධයෙන් කටින් කට ආ තොරතුරු රැගෙන සුවිශේෂ ලේඛකයන් ඒවා වාර්තා කළා නම් යේසුස්ගේ අනර්ඝ ඉගැන්වීම් සියල්ලම එක හා සමාන ආකාරයකින් වාර්තා විය යුතුයි.”—The Anchor Bible Dictionary.

ලූක් ඔහුගේ සුවිශේෂය ලියන විට ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් තොරතුරු ලබාගත් බවත් ‘සියල්ල මුල පටන් නිවැරදිව සොයා බැලූ’ බවත් සඳහන් කරනවා. (ලූක් 1:1-4) මෙයින් පැහැදිලි වන්නේ ලූක්ගේ සුවිශේෂය වෙනත් පොතකින් පිටපත් කළ එකක්වත් ගෙතූ කතාවක්වත් නොවන බවයි. ලූක්ගේ සුවිශේෂය ගැඹුරින් අධ්‍යයනය කළ එක් පුරාවිද්‍යාඥයෙක් වන විලියම් රම්සි මෙවැනි අදහසක් පළ කළා. “ලූක් විශිෂ්ට ගණයේ ඉතිහාසඥයෙක්. ඔහු වාර්තා කර තිබෙන තොරතුරු විශ්වාසවන්ත වන අතර ඔහු ඉතිහාසය ගැන වාර්තා කර ඇති තොරතුරුද ඉතා නිවැරදියි. මේ ලේඛයාව ශ්‍රේෂ්ඨ ගණයේ ඉතිහාසඥයන් අතරට දැමිය හැකියි.”

සුවිශේෂ පොත් අතරින් මුලින්ම ලියැවුණේ මතෙව් පොත බව අතීතයේ සිටි සභා පියවරුන් ලෙස හඳුන්වන ක්‍රිස්තියානි ලේඛකයන් හා තුන්වන සියවසේ ජීවත් වූ ඔරිගන්ද පිළිගත්තා. ඒ ගැන ඔරිගන් මෙසේ පැවසුවා. “මතෙව් පොත ලියනු ලැබුවේ බදු අය කරන්නෙකුව සිට පසුව යේසුස්ගේ ගෝලයෙකු බවට පත්වූ මතෙව් විසින්මයි. ඔහු මෙය ලියනු ලැබුවේ හෙබ්‍රෙව් බසින් වන අතර ඔහු එය ලිව්වේ යුදෙව්වන් සඳහායි.” මතෙව් යේසුස් කළ දේවල් ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඒ නිසා යේසුස් කළ දේවල් සියැසින් නොදුටු මාක් වැනි කෙනෙකු ලියූ සුවිශේෂයකින් තොරතුරු ලබාගන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. එසේනම් මතෙව් හා ලූක්, මාක්ගේ සුවිශේෂයෙන් හා වෙනත් ලියවිල්ලකින් තොරතුරු ලබාගත්තා කියා පැවසීමට තිබෙන පදනම කුමක්ද?

මුලින්ම ලියැවුණේ මාක්ගේ සුවිශේෂයද?

මාක් පොත මතෙව් හා ලූක් පොත්වලට පෙර ලියැවුණු බවට ඇති මතය තහවුරු කිරීමට “කිසිම පදනමක් නැති” බව ඉහත සඳහන් බයිබල් ශබ්දකෝෂයේ පෙන්නුම් කරනවා. නමුත් බොහෝ බයිබල් විශාරදයන් පවසන්නේ මාක්ගේ සුවිශේෂය මුලින්ම ලියැවුණු බවයි. ඔවුන් එසේ පැවසීමට හේතුව මතෙව් හා ලූක්ගේ සුවිශේෂවලට වඩා මාක්ගේ සුවිශේෂයේ තොරතුරු කෙටියෙන් සඳහන් වී තිබීමයි. උදාහරණයකට 19වන සියවසේ විසූ බයිබල් විශාරදයෙක් වන යොහානස් කූන් තරයේම කියා සිටියේ මාක්ගේ සුවිශේෂය මුලින්ම ලියැවුණු බවයි. කූන් තවදුරටත් පැවසුවේ “එසේ නැත්නම් අපිට සිතන්න වෙන්නේ මාක්, මතෙව්ගේ හා ලූක්ගේ ලියවිලි කුඩා කෑලිවලට ඉරා ඒවා ලොකු භාජනයකට දමා කලවම් කර ඉන්පසු එයින් කෑලි ගෙන තමාගේ සුවිශේෂය ලියන්න ඇති” කියායි.

සුවිශේෂ පොත් අතුරින් කුඩාම පොත වන්නේ මාක්ගේ සුවිශේෂයයි. ඒ නිසා අනික් ලේඛයන් සඳහන් කර නැති තොරතුරු ස්වල්පයක් පමණක් මාක් වාර්තා කිරීම ගැන අපි පුදුම විය යුතු නැහැ. නමුත් මේ හේතුව නිසා මාක් පොත මුලින්ම ලියැවුණා කියා පවසන්න බැහැ. ඇත්තෙන්ම කියනවා නම් මතෙව් හා ලූක් යන පොත්වල දකින්න නොලැබෙන වගන්ති 180කට වඩා වැඩි ප්‍රමාණයක් මාක් පොතේ සඳහන් වෙනවා. ඊට අමතරව මාක් පොතේ සඳහන් ඇතැම් තොරතුරු අනික් සුවිශේෂ පොත්වල දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව බලද්දී මාක් පොත අනික් සුවිශේෂ හා සම කළ නොහැකියි.— 13වන පිටුවේ ඇති කොටුව බලන්න.

කිසිවෙක් නොදන්නා ලියවිල්ල

මතෙව් හා ලූක් තම සුවිශේෂ වාර්තා පිළියෙල කිරීමට තොරතුරු ලබාගත්තා යැයි සිතන ලියවිල්ලක් තිබූ බව සමහරුන් විශ්වාස කරනවා. අපට එම ලියවිල්ල ගැන පැවසිය හැක්කේ කුමක්ද? ආගම් පිළිබඳ මහාචාර්යවරයෙක් වන ජේම්ස් එම්. රොබින්සන් පැවසුවේ “මෙම ලියවිල්ල අපි සතුව ඇති වැදගත්ම ක්‍රිස්තියානි ලියවිල්ල” කියායි. ඔහු එසේ පැවසුවත් එවැනි ලියවිල්ලක් අද සොයාගැනීමට නැහැ. ඇත්තෙන්ම එවැනි ලියවිල්ලක් ඉතිහාසයේ තිබුණු බව ඔප්පු කිරීමටවත් කිසිම සාක්ෂියක් නැහැ. විශාරදයන් පවසන ආකාරයට මෙම ලියවිල්ලෙහි පිටපත් බොහොමයක් සාදා තිබුණු අතර එම පිටපත් බෙදාහැරද තිබෙනවා. එසේනම් අද වන විට මෙම පිටපත්වලින් කොටසක්වත් සොයාගැනීමට නැත්තේ ඇයි? මීට අමතරව අතීතයේ සිටි සභා පියවරුන් කිසිමදාක මෙම ලියවිල්ලෙන් තොරතුර උපුටා දක්වා නැහැ.

මතෙව් හා ලූක් තොරතුරු ගත්තායැයි සැලකෙන ලියවිල්ලක් ඇත්තටම තිබුණාද කියා ඔප්පු කිරීමට සාක්ෂි නැහැ. එසේනම් එම ලියවිල්ල පදනමක් ලෙස ගෙන මාක් පොත මුලින්ම ලියැවුණා කියා පවසන්නේ කෙසේද? මෙවැනි කාරණා සම්බන්ධයෙන් සොයා බලන විට බයිබලයේ ඇති මේ උපදෙස සිතට ගැනීම ඥානවන්තයි. “අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් බුද්ධිමත් අය තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි.”—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය.

සුවිශේෂ වාර්තා විශ්වසනීයයි

විවේචකයන් සුවිශේෂ පොත් ගැන ඉදිරිපත් කර ඇති අදහස් නිසා අද බොහෝදෙනා සුවිශේෂ වාර්තා අධ්‍යයනය කිරීමට උනන්දු වෙන්නේ නැහැ. යේසුස්ගේ දේශනා සේවය, මරණය හා නැවත නැඟිටීම එවකට සිටි ක්‍රිස්තියානීන් විශ්වාස කළ බව එම සුවිශේෂවල පැහැදිලිව වාර්තා කර තිබෙනවා. මේ සියල්ල ඇසින් දුටු සාක්ෂිකරුවන් සිය ගණනක් සිටින බවත් බයිබලයේම සඳහන් වෙනවා. යේසුස්ගේ දේශනා සේවය හා නැවත නැඟිටීම ගෙතූ කතාවක් නම් එදා සිටි ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ජීවිත පරදුවට තබා යේසුස්ගේ අනුගාමිකයන් වීමට කැමති වෙයිද?—1 කොරින්ති 15:3-8, 17, 19; 2 තිමෝති 2:2.

මාක්ගේ සුවිශේෂය මුලින්ම ලියූ බව හා මතෙව් හා ලූක් තොරතුරු ගත්තායැයි සැලකෙන ලියවිල්ල ගැන ඇති මතභේදයන් සම්බන්ධයෙන් ආගමික විශ්වාසයන් ගැන අධ්‍යයනය කරන මහාචාර්ය ජෝර්ජ් ඩබ්ලිව්. බයූකානන් මෙසේ පැවසුවා. “මෙවැනි දේවලට අවධානය යොමු කිරීමෙන් සිදු වන්නේ බයිබලය අධ්‍යයනය කිරීමට තිබෙන උනන්දුව අඩු වෙන එකයි.” එම අදහස බයිබල් ලේඛකයෙකු වූ පාවුල් ඔහුගේ කාලයේ සිටි තිමෝතිට දුන් මේ උපදෙසට එකඟයි. ‘නිෂ්ඵල වූ අසත්‍ය කතාවලටවත්, පෙළපත් ගැන සොයා බැලීම්වලටවත් අවධානය යොමු කිරීමෙන් පර්යේෂණ කිරීම සඳහා ප්‍රශ්න මතු වෙනවා මිස, ඇදහිල්ලට සම්බන්ධ දෙවිගෙන් වූ කිසිවක් ලැබෙන්නේ නැහැ.’—1 තිමෝති 1:4.

ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා සුවිශේෂවල ඇතුළත් වී තිබෙන නිසා ඒවා විශ්වසනීයයි. එයින් යේසුස්ගේ ජීවිතය ගැන ඉතා වැදගත් දේවල් ඉගෙනගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තිමෝති මෙන් අපිත් පාවුල්ගේ මේ උපදෙස අදාළ කරගැනීම ඉතා වැදගත්. “ඔබ විසින් ඉගෙනගත්තාවූද, විශ්වාස කිරීමට ඔබව පෙලඹෙව්වාවූද දේවල්වල පවතින්න.” ඇත්තෙන්ම සුවිශේෂ පොත් හතර ඇතුළුව “මුළු ශුද්ධ ලියවිල්ලම” දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියැවුණු බව විශ්වාස කිරීමට ඇති තරම් සාක්ෂි තිබෙනවා.”—2 තිමෝති 3:14-17.

[13වන පිටුවේ කොටුව]

 මාක් පමණක් සඳහන් කළ තොරතුරු

යේසුස් ඔවුන්ගේ සිත්වල දැඩිකම ගැන බොහෝ සෙයින් දුක් වී සියල්ලන් දෙස උදහසින් බැලුවා (මාක් 3:5)

යාකොබ්ගේ සහ යොහන්ගේ වාසගම වූයේ බොවනර්ගේස් (මාක් 3:17)

ලේ ගැලීමේ රෝගයෙන් පෙළුණු කාන්තාව සුවය ලැබීමට තමා සතු සියල්ල වියදම් කර තිබුණා (මාක් 5:26)

හෙරෝදියස් යොහන් බව්තීස්ත කෙරෙහි වෛර බැඳගත්තද හෙරොද් යොහන්ට භයව ඔහුව ආරක්ෂා කළා (මාක් 6:19, 20)

යේසුස් තම ගෝලයන්ට මද විවේකයක් ගන්න කියා පැවසුවා (මාක් 6:31)

පරිසිවරුන් වැලමිට දක්වා අත සේදුවා (මාක් 7:2-4)

යේසුස් දරුවන්ව තුරුළු කරගත්තා (මාක් 10:16)

යේසුස්ට තරුණ පාලකයා කෙරෙහි ප්‍රේමයක් ඇති වුණා (මාක් 10:21)

පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘ පෞද්ගලිකව යේසුස් සමඟ කතා කළා (මාක් 13:3)

තරුණයෙක් තම හණ වස්ත්‍රය අත්හැර, නග්නව පලා ගියා (මාක් 14:51, 52)

කිසිම සුවිශේෂයක සඳහන් නොවන යේසුස්ගේ උපමාවක් සහ ප්‍රාතිහාර්යයන් දෙකක් මාක් පොතේ සඳහන් වෙනවා.—මාක් 4:26-29; 7:32-37; 8:22-26.

වෙනත් සුවිශේෂවල සඳහන් නොවන තොරතුරු මාක් පොතේ සඳහන් වෙනවා. අපි එම වටිනා තොරතුරු කියවා ගැඹුරින් සිතා බැලීමෙන් ඒවා ගැන ඇති අගය තව තවත් වැඩි වන බව ස්ථිරයි.