Skip to content

පටුනට යන්න

හොඳ පියෙක් විය හැක්කේ කෙසේද?

හොඳ පියෙක් විය හැක්කේ කෙසේද?

හොඳ පියෙක් විය හැක්කේ කෙසේද?

“පියවරුනි, ඔබේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න.”—කොලොස්සි 3:21.

දරුවන් කල නොකිරෙන ලෙස කටයුතු කිරීමට පියෙකුට හැක්කේ කෙසේද? පියෙක් ලෙස තමන්ට පැවරී තිබෙන කාර්යය ගැන ගැඹුරින් සිතා බැලීම ඉතා වැදගත්. මානසික සෞඛ්‍ය ගැන අදහස් දක්වන එක් සඟරාවක මෙවැනි දෙයක් සඳහන් වුණා. “දරුවෙකුගේ මානසික හා බුද්ධිමය වර්ධනයට පියෙක් විශේෂ වශයෙන් දායක වෙනවා.”

පියෙකුගේ කාර්යභාරය කුමක්ද? බොහෝ අය සිතන්නේ දරුවන්ට දඬුවම් කිරීමේ වගකීම පැවරී ඇත්තේ පියවරුන්ට කියායි. ඒ නිසා බොහෝ මව්වරුන් ‘තාත්තා ආපුදෙන්කො මං කියන්නං’ කියා පවසනවා ඔබ අසා ඇති. දරුවන් හොඳ වැඩිහිටියන් ලෙස වැඩීමට නම් ඔවුන්ට සුදුසු හික්මවීම් ලබා දිය යුතුයි. හොඳ පියෙක් වීමට තවත් දේවල් ඇතුළත් වෙනවා.

කනගාටුවට කරුණක් වන්නේ සෑම පියෙකුටම ඔවුන්ගේ කුඩා අවදියේදී හොඳ පියෙකුගේ ආදර්ශය නොලැබීමයි. සමහර අය හැඳී වැඩී තිබෙන්නේ පියෙකුගේ රැකවරණය නොමැතිව වන අතර තවත් අය දැඩි නීති රීති පනවන පියවරුන් යටතේ හැඳී වැඩී තිබෙනවා. එවැනි පියවරුන් යටතේ හැඳී වැඩුණු දරුවන් තමන්ගේ දරුවන්ට සලකන්නෙත් ඒ ආකාරයටමයි. නමුත් එවැනි පියවරුන්ට පවා යහපත් පියෙක් විය හැක්කේ කෙසේද?

හොඳ පියෙක් වීමට වැදගත් උපදෙස් ඇතුළත් පොතක් තිබෙනවා. එය නම් ශුද්ධ බයිබලයයි. එහි පවුල් ජීවිතයට අදාළ කරගත හැකි ඉතා ප්‍රඥාවන්ත උපදෙස් අඩංගු වෙනවා. එයට හේතුව එම උපදෙස් ලබා දී තිබෙන්නේ පවුල් ඒකකයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියි. (එෆීස 3:14, 15) ඔබ පියෙක් නම් බයිබලයේ පියවරුන්ට සපයා තිබෙන උපදෙස් ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. *

හොඳ පියෙක් වීමට දරුවන්ගේ මානසික හා අනෙකුත් අවශ්‍යතා සැපයීමට අමතරව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටද උපකාර කළ යුතුයි. සාමාන්‍යයෙන් පියෙක් සමඟ කිට්ටු බැඳීමක් තිබෙන දරුවෙකුට යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීම පහසුයි. අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව බයිබලයෙහි හඳුන්වා තිබෙන්නේ අපේ පියා ලෙසයි. (යෙසායා 64:8) දරුවන්ට පියෙකුගෙන් අවශ්‍ය වන දේවල් හයක් අපි මේ ලිපියෙන් සලකා බලමු. එමෙන්ම එම අවශ්‍යතාවයන් පිරිමැසීමට පියෙකුට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්තිත් සලකා බලමු.

1 පිය සෙනෙහස

යෙහෝවා දෙවි පියවරුන්ට කදිම ආදර්ශයක් සපයනවා. දෙවිට ඔහුගේ කුලුඳුල් පුත්‍රයා වන යේසුස් ගැන හැඟෙන ආකාරය බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. ‘පියාණන් පුත්‍රයාට ප්‍රේම කරනවා.’ (යොහන් 3:35; කොලොස්සි 1:15) යෙහෝවා දෙවි අවස්ථා කිහිපයකදීම තම පුත්‍රයා කෙරෙහි තිබෙන ප්‍රේමය හා අනුමැතිය ප්‍රකාශ කළා. උදාහරණයකට යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබය. මම ඔබව අනුමත කළෙමි” කියා පැවසුවා. (ලූක් 3:22) පියා තමන්ට දක්වන ආදරය ගැන යේසුස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. පියවරුන්ට යෙහෝවා දෙවිව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

ඔබේ දරුවන්ට ආදරේ බව පැවසීමට මැළි වන්න එපා. දරුවන් පස්දෙනෙකුගේ පියෙක් වන කෙල්වන් මෙසේ පවසනවා. “මම හැකි සෑම අවස්ථාවකදීම දරුවන්ට ආදරේ බව ප්‍රකාශ කරනවාට අමතරව ඒ බව ක්‍රියාවෙන් පෙන්වීමටද උත්සාහ කළා. ඒ නිසා මම දරුවන්ව නෑවීම සහ ඔවුන්ගේ නැප්කින් මාරු කිරීම වැනි දේවලුත් කළා.” එමෙන්ම දරුවන්ට ඔබේ අනුමැතිය අවශ්‍ය බවත් මතක තබාගන්න. සෑම අවස්ථාවකදීම දරුවන්ගේ වැරදි සෙවීම වෙනුවට ඔවුන්ව අගය කිරීමට උත්සාහ කරන්න. යෞවන දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන ඩෝනිසෙටි මෙවැනි දෙයක් පැවසුවා. “පියෙක් නිතරම තම දරුවන්ව අගය කළ හැකි පැති ගැන සොයා බලන්න ඕනේ.” දරුවන්ට ඔබේ අනුමැතිය තිබෙනවා කියා දැනෙන විට තමන් වටිනා අය බවට වූ හැඟීම ඔවුන් තුළ ඇති වෙනවා. එය දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාරවත් වෙනවා.

2 කදිම ආදර්ශය

“පියාණන් යමක් කරනවා” දුටු යේසුස්ද ඒ දේම කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 5:19) ඒ අනුව යේසුස් කළේ පියාණන් “කරනවා” දුටු දේවල් පමණක් බව සැලකිල්ලට ගන්න. දරුවන් සම්බන්ධයෙන්ද මෙය සැබෑවක්. උදාහරණයකට පියෙක් බිරිඳට ගෞරවයෙන් සලකනවා දකින පුතෙක් කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න පෙලඹෙනවා. එමෙන්ම ගැහැනු දරුවන් පිරිමි අය සම්බන්ධයෙන් දරන ආකල්පයටත් පියාගේ ආදර්ශය බලපානවා.

ඔබගේ දරුවන් සමාව ඉල්ලීමට අදිමදි කරනවාද? මෙයටත් ඔබගේ ආදර්ශය ඉතා වැදගත්. කලින් අදහස් දැක්වූ කෙල්වන් ඔහුගේ අද්දැකීම මෙසේ විස්තර කරනවා. එක් අවස්ථාවකදී ඔහු සතුව තිබූ වටිනා කැමරාවක් පුතුන් දෙදෙනා අතින් කැඩුණු විට ඔහුට කේන්ති ගියා. ඒ නිසා ඔහු කේන්තියෙන් මේසයට ගැසූ විට එය කැඩුණා. ටික වෙලාවකට පසු තමන් හැසුරුණු ආකාරය ගැන ඔහුට ලැජ්ජ හිතුණු නිසා ඔහු පවුලේ සියලුදෙනාගෙන්ම සමාව ඉල්ලුවා. එය ඔහුගේ දරුවන් කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළා. ඒ නිසා දැන් ඔහුගේ දරුවන්ද තමන් කරන වැරදි ගැන සමාව ඉල්ලීමට පසුබට වෙන්නේ නැහැ.

3 ප්‍රීතිමත් වාතාවරණය

යෙහෝවා දෙවි “සන්තෝෂවත් දෙවි” කෙනෙක් නිසා යේසුස් ඔහු සමඟ සිටීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා. (1 තිමෝති 1:11) ඔවුන් දෙදෙනා අතර තිබුණු සම්බන්ධය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘එකල මම ප්‍රධාන සේවකයා ලෙස දෙවි සමඟ සිටියෙමි. මට ඔහු විශේෂ ආදරයක් දිනපතා පෙන්නුවේය.’ (හිතෝපදේශ 8:30NW) ඔවුන් දෙදෙනා අතර මොන තරම් කිට්ටු බැඳීමක් තිබෙන්න ඇද්ද!

ඔබේ දරුවන්ටත් ප්‍රීතිමත් වාතාවරණයක් අවශ්‍යයි. දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කාලය යෙදවීමෙන් දරුවන් හා දෙමව්පියන් අතර තිබෙන බැඳීම ශක්තිමත් වෙනවා. යෞවන පුතෙකුගේ පියෙක් වන ෆේලික්ස් මෙසේ පවසනවා. “දරුවන් එක්ක ටිකක් විනෝද වීමෙන් එකිනෙකා අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි එකට සෙල්ලම් කරන්න, මිතුරන්ව මුණගැහෙන්න යන්න වගේම ලස්සන තැන් බලන්නත් කාලය යොදවනවා. මේ නිසා අපේ පවුලේ බැඳීම තවත් ශක්තිමත් වෙලා තියෙනවා.”

4 දෙවි ගැන ඉගැන්වීම

යේසුස්ට ඉගැන්වූයේ ඔහුගේ පියා වන යෙහෝවා දෙවියි. ඒ නිසයි යේසුස් මෙසේ පැවසුවේ. “මම ඔහුගෙන් ඇසූ දේවල්ම ලෝකයේදී කතා කරන්නෙමි.” (යොහන් 8:26) කුඩා කාලයේ සිටම දරුවන්ට හරි වැරැද්ද කියා දී දෙවි ගැන ඉගැන්වීමේ වගකීම දෙවි පවරා තිබෙන්නේ පියවරුන්ටයි. (2 තිමෝති 3:14, 15) කලින් අදහස් දැක්වූ ෆේලික්ස්, ඔහුගේ පුතාට කුඩා අවදියේ සිටම බයිබල් කතන්දර කියා දුන්නා. ඒ වගේම මගේ බයිබල් කතන්දර පොත නමැති ප්‍රකාශනයේ ඇති ලස්සන පින්තූරත් කතන්දරත් ඔහු ඒ සඳහා යොදාගත්තා. * දරුවා ටිකෙන් ටික වැඩෙද්දී ඔහුගේ වයසට ගැළපෙන වෙනත් බයිබලය මත පදනම් ප්‍රකාශන යොදාගනිමින් ඔහුට වටිනා දේවල් කියා දුන්නා.

ඉහත අදහස් දැක්වූ ඩෝනිසෙටි තවදුරටත් මෙසේ පැවසුවා. “පවුලේ බයිබල් පාඩම සිත්ගන්නා ආකාරයෙන් කරන එක ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම දෙමව්පියන් නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල උද්‍යෝගයෙන් හවුල් වීම වැදගත්. ඊට හේතුව දරුවන්ට කරන්න කියා පවසන දේවල් දෙමව්පියන් ක්‍රියාත්මක නොකරන විට ඒවා ඉක්මනින්ම දරුවන්ගේ අවධානයට ලක්වීමයි.” පුතුන් තිදෙනෙකුගේ පියෙකු වන කාලෝස් මෙසේ පවසනවා. “අපි හැම සතියකම පවුලේ කාරණා ගැන කතා කරන්න දවසක් වෙන් කළා. ඒ දවසේදී කතා කරන්නේ මොනවද කියලා තීරණය කරන්න හැමෝටම අවස්ථාව ලැබුණා.” කලින් අදහස් දැක්වූ කෙල්වන් නිතරම උත්සාහ කළේ ඔවුන් කොහේ ගියත් මොනවා කළත් ඒ සෑම අවස්ථාවකදීම දරුවන්ට දෙවි ගැන උගන්වන්නයි. එයින් අපට සිහි ගැන්වෙන්නේ බයිබලයේ සඳහන් මෙම උපදෙසයි. “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූ පුතුන්ගේ සිත්වලට කාවද්දන්න. ඔබ නිවසේ සිටින විටත්, ගමන් බිමන් යන විටත්, විවේක සුවෙන් සිටින විටත්, අවදි වන විටත් ඒ දේවල් ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:6, 7NW.

5 හික්මවීම

දරුවන් වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් බවට පත්වීමට නම් ඔවුන්ව කුඩා කාලයේ සිටම හික්මවීම අවශ්‍යයි. හික්මවීම කියන්නේ තදින් සිටීම, භය ගැන්වීම, ලැජ්ජාවට පත් වන දේවල් කීම කියා සමහර දෙමව්පියන් සිතන්න පුළුවන්. නමුත් බයිබලයේ සඳහන් හික්මවීම එවැනි ආකාරයේ එකක් නෙවෙයි. එහි සඳහන් වන ආකාරයට දෙමාපියන් යෙහෝවා දෙවිව ආදර්ශයට ගෙන දරුවන්ව ප්‍රේමයෙන් හික්මවිය යුතුයි. (හෙබ්‍රෙව් 12:4-11) එහි මෙසේද සඳහන් වෙනවා. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.”—එෆීස 6:4.

ඇතැම් අවස්ථාවලදී දරුවන්ට දඬුවම් කළ යුතු වුණත් එසේ කිරීමට හේතුව ඔවුන්ට පහදා දිය යුතුයි. සමහරවිට දෙමව්පියන් දරුවන්ට දඬුවම් කරන ආකාරය නිසා දෙමව්පියන්ට මාව එපා වෙලා කියලා දරුවන්ට හිතෙන්න පුළුවන්. එවැනි සිතුවිල්ලක් දරුවන් තුළ ඇති නොකිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවන්ට තුවාල වන ආකාරයට දඬුවම් කිරීම බයිබලයේ අනුමත කර නැහැ. (හිතෝපදේශ 16:32) ඉහත අදහස් දැක්වූ කෙල්වන් මෙසේ පැවසුවා. “මගේ දරුවන්ට දඬුවම් කරන හැම අවස්ථාවකදීම මම එහෙම කරන්නේ ඔවුන්ට ආදරේ නිසා බව පවසනවා.”

6 රැකවරණය

දරුවන්ව අනතුරුදායක දේවලින් ආරක්ෂා කරගත යුතුයි. ඊට හේතුව අද සමාජයේ සිටින “දුෂ්ට මිනිස්සු” අහිංසක දරුවන්ව අපචාර සඳහා යොදාගැනීමට මාන බලන නිසයි. (2 තිමෝති 3:1-5, 13) මෙවැනි තත්වයක ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “බුද්ධිමතා අවදානම දුර තියා හඳුනාගෙන ඉන් අයින් වෙයි. නමුත් අද්දැකීම් අඩු අය කිසි ගණනක් නැතිව ඒ දෙසට ගොස් අහිතකර ප්‍රතිඵල ලබති.” (හිතෝපදේශ 22:3NW) දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා ඔබ සෑමවිටම සෝදිසියෙන් සිටීම වැදගත්. දරුවන්ව ආරක්ෂා කරගැනීමට ඔබට හැකි උපරිමය කළ යුතුයි. උදාහරණයකට ඔබේ දරුවාට අන්තර්ජාලය භාවිත කිරීමට ඉඩ දෙනවා නම් එය ආරක්ෂිතව පරිහරණය කරන්නේ කෙසේද කියා දරුවා දැන සිටිය යුතුයි. එමෙන්ම ඔබේ නිවසේ තිබෙන පරිගණකය සියලුදෙනාටම පෙනෙන ස්ථානයක තැබීමත් ඥානවන්තයි.

අපචාරවලින් පිරී පවතින මේ ලෝකයේ ජීවත් වන විට අනතුරුවලින් ආරක්ෂා විය හැකි ආකාරය ගැන දරුවාට කියා දිය යුතුයි. ඔබ දරුවන් ළඟ නැති අවස්ථාවකදී දරුවාව යම් කෙනෙක් අපචාරයට ලක් කිරීමට උත්සාහ කළොත් එවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද කියා ඔබේ දරුවා දන්නවාද? * දරුවාගේ ලිංගික අවයව ඇල්ලීමට කිසිවෙකුටවත් ඉඩ නොදිය යුතු බව දරුවාට කියා දිය යුතුයි. කෙල්වන් මෙසේද පැවසුවා. “ලිංගික කාරණා ගැනත් දරුවන්ව ගිලගැනීමට මාන බලන කාමාතුරයන් ගැනත් දරුවන්ට පහදා දීම පියෙක් හැටියට මගේ වගකීමක් බව මම තේරුම්ගත්තා. ඒ නිසා ඒ ගැන දරුවන්ට කියා දීමේ වගකීම ගුරුවරුන්ටවත් වෙනත් අයටවත් මම පැවරුවේ නැහැ.” දැන් ඔහුගේ දරුවන් වැඩිහිටියන් වී සිටින අතර සන්තෝෂවත් පවුල් ජීවිත ගත කරමින් සිටිනවා.

දෙවිගේ උපකාරය පතන්න

පියෙකුට දරුවන් වෙනුවෙන් කළ හැකි වටිනාම දෙය වන්නේ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීමයි. ඒ සඳහා පියෙකුගේ ආදර්ශය ඉතා වැදගත් වෙනවා. ඩෝනිසෙටි මෙසේ පැවසුවා. “දෙවි සමඟ ඇති කරගෙන තිබෙන බැඳීම පියවරුන් බොහෝ සෙයින් අගය කරන බව ඔවුන්ගේ ජීවිතයෙන් පිළිබිඹු විය යුතුයි. විශේෂයෙන්ම යම් පීඩා ප්‍රශ්න හමුවේ පවා තමන්ට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙන බව පියවරුන් පෙන්විය යුතුයි. පවුලක් ලෙස යාච්ඤා කරන විට දෙවි තමන් වෙනුවෙන් කර ඇති සියලුම යහපත් දේවල් වෙනුවෙන් ස්තුති කිරීමෙන් දෙවිව තමන්ගේ මිතුරෙක් කරගැනීමේ වැදගත්කම දරුවන්ට ඉගෙනගැනීමට හැකි වෙනවා.”

එසේනම් හොඳ පියෙක් විය හැක්කේ දරුවන්ව හොඳින් ඇති දැඩි කරගැනීම සම්බන්ධයෙන් කදිම උපදෙස් දී තිබෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීමෙනුයි. ඔබ දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව දරුවන්ව පුහුණු කරන විට “ඔහු වැඩුණු කලද එයින් අහක්ව යන්නේ නැත” කියා බයිබලයෙහි සඳහන් වදන් ඔබේ දරුවා සම්බන්ධයෙන්ද සත්‍යයක් වන ආකාරය ඔබට දැකගත හැකි වෙයි.—හිතෝපදේශ 22:6NW.

[පාදසටහන්වල]

^ 6 ඡේ. මෙම ලිපියේ සඳහන් උපදෙස් මූලිකවම පියවරුන්ට ප්‍රයෝජනවත් වුවත් මව්වරුන්ටත් අදාළ කරගත හැකි ප්‍රතිපත්ති රැසක් මෙහි ඇතුළත් වෙනවා.

^ 18 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 25 ඡේ. ළමා අපචාරවලින් ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීම සඳහා 2007 ඔක්තෝබර් පිබිදෙව්! කලාපයේ 3-11 පිටු බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[19වන පිටුවේ පින්තූරය]

පියෙක් තම දරුවන්ට හොඳ ආදර්ශයක් විය යුතුයි

[20වන පිටුවේ පින්තූරය]

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට පියෙක් දරුවන්ට උපකාර කළ යුතුයි

[21වන පිටුවේ පින්තූරය]

දරුවන්ව ප්‍රේමයෙන් හික්මවිය යුතුයි