Skip to content

පටුනට යන්න

අපාය පිළිබඳ සත්‍යය දැනගැනීම ඔබට බලපාන්නේ කෙසේද?

අපාය පිළිබඳ සත්‍යය දැනගැනීම ඔබට බලපාන්නේ කෙසේද?

අපාය පිළිබඳ සත්‍යය දැනගැනීම ඔබට බලපාන්නේ කෙසේද?

අපාය නමැති ඉගැන්වීම නිසා මිනිසුන්ගේ සිත්වල දෙවි ගැන වැරදි පින්තූරයක් ඇඳී තිබෙනවා. යෙහෝවා දෙවි දුෂ්ටයන්ව විනාශ කරන බව බයිබලයේ සඳහන් වී තිබුණත් ඔහු එය කරන්නේ ඉතා යුක්තිසහගත ලෙසයි.—2 තෙසලෝනික 1:6-9.

යෙහෝවා දෙවි කෲර කෙනෙක් නොවෙයි. දුෂ්ටයෙක් පවා විනාශ වෙනවාට දෙවි අකමැති නැහැ. (එසකියෙල් 18:23) එසේනම් එවැනි දෙවි කෙනෙක් වැරදි කරන අයව අපායට දමා සදාකාලයටම වධ වේදනා පමුණුවයිද?

ප්‍රේමය යෙහෝවා දෙවි සතු කැපීපෙනෙන ගුණාංගයක්. (1 යොහන් 4:8) එමෙන්ම බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.” (ගීතාවලිය 145:9, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි අපට ප්‍රේම කරනවා හා සමානව අපත් ඔහුට ප්‍රේම කරනවාට දෙවි කැමතියි.—මතෙව් 22:35-38.

දෙවිට ඇති ප්‍රේමයද නැතිනම් අපායට ඇති බියද?

යෙහෝවා දෙවිව හඳුනාගෙන ඔහුට ප්‍රේම කරන අය දෙවිට මහත් ගරුබියක් දක්වනවා. බයිබලයේද ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය. ඔහුගේ අණ පනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.” (ගීතාවලිය 111:10NW) දේවගරුබිය කියන්නේ දෙවි කෙරෙහි ඇති වන මහත් ගෞරවයක්. අපටත් දෙවි කෙරෙහි එවන් ගරුබියක් තිබෙනවා නම් අපි වැරදි දේවල් කිරීමෙන් වැළකී සිටිනවා.

අවුරුදු 32ක් වයසැති කැත්ලීන්ගේ අද්දැකීම සලකා බලන්න. ඇය කලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි කෙනෙක්. විනෝදය, අනාචාරය හා ප්‍රචණ්ඩත්වය වැනි දේවල් ඇගේ ජීවිතයේම කොටසක් වී තිබුණා. ඒ නිසා ඇයට තමන් ගැනම හැඟුණු ආකාරය ඇය මෙසේ පැවසුවා. “අවුරුද්දක් වයසැති මගේ දුව දිහා බලලා මම හිතනවා ‘මේ දරුවට මම කරන අසාධාරණයට මට යන්න වෙන්නේ අපායට තමයි’ කියලා.” ඇය මත්ද්‍රව්‍යවලින් මිදෙන්න කොතරම් උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මට හොඳ කෙනෙක් වෙන්න වුවමනාව තිබුණා. ඒත් මගේ ජීවිතයෙත් මේ ලෝකයෙත් සිදු වන දේවල් නිසා හොඳ කෙනෙක් වෙලා ඉන්න එකේ කිසිම ඵලක් නැහැ කියලා මට හිතුණා.”

මේ අතරවාරයේදී කැත්ලීන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණු අතර ඇය ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ඉන්පසුව සිදු වූයේ කුමක්ද? “බයිබලයේ තිබුණු තොරතුරුවලින් අපායක් නැහැ කියන එක මට තහවුරු වුණා. මට අපායක දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා මම දැනගත්තාම ලොකු සහනයක් දැනුණා.” එමෙන්ම දුෂ්ටකමට අවසානයක් ගෙනෙමින් පාරාදීස පොළොවක සදහටම ජීවත් වීම ගැන දෙවි දී තිබෙන පොරොන්දුව ගැනත් ඇය ඉගෙනගත්තා. (ගීතාවලිය 37:10, 11, 29; ලූක් 23:43) ඒ ගැන ඇය මෙසේ පවසනවා. “දැන් මගේ ජීවිතයට බලාපොරොත්තුවක් තියෙනවා. මම බලාගෙන ඉන්නේ පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්නයි.”

අපායක් නැති බව දැනගැනීමෙන් කැත්ලීන් තව තවත් වැරදි දේවල් කරන්න පෙලඹුණාද? සිදු වූ දේ ගැන ඇයම මෙසේ පවසනවා. “මත්ද්‍රව්‍ය ගන්න ඕනෙමයි කියලා හිතෙද්දී මම යාච්ඤා කරලා දෙවිගෙන් උපකාර ඉල්ලුවා. ඒ වගේ නරක පුරුදු ගැන දෙවිට කොහොම හැඟෙයිද කියලත් මම කල්පනා කළා. දෙවිට දුකක් දෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඇත්තෙන්ම දෙවි මට උපකාර කළා.” (2 කොරින්ති 7:1) දෙවිව අසතුටට පත් කරන්න තිබුණු අකමැත්ත නිසා කැත්ලීන් නරක පුරුදුවලින් ගොඩ ආවා.

අපායක වධ වේදනා විඳින්න තිබෙන බිය නිසා මිනිසුන් හරි දේ කරයි කියා සිතන්න බැහැ. ඒ වෙනුවට දෙවිට ප්‍රේම කරමින් ඔහු කෙරෙහි ගරුබියක් ඇති කරගන්නවා නම් දෙවි ඉදිරියේ හරි දේ කිරීමට හැකි වන අතර ප්‍රතිඵලයක් ලෙස මහත් සන්තෝෂයක්ද අත් වෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්” වන බවයි.—ගීතාවලිය 128:1NW.

[9වන පිටුවේ කොටුව/පින්තූර]

මිනී වළෙන් නිදහස ලබන්නේ කවුද?

බයිබලයෙහි හේදීසය යන වචනය යොදාගෙන තිබෙන්නේ මිය ගොස් සිටියත් නැවත ජීවිතය ලැබීමට නියමිත අයව විස්තර කිරීමටයි. නමුත් ගෙහෙන්නාව යන වචනය යොදාගෙන තිබෙන්නේ ජීවත්වීමට කිසිදාක අවස්ථාවක් නොලැබෙන සේ සදහටම විනාශ වී යන අයව විස්තර කිරීමටයි.

යේසුස් මිය ගිය පසු ඔහුට “මිනී වළෙහි නැවතී සිටින්න ඉඩහරිනු නොලැබූ බව” යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස් පැවසුවා. (ක්‍රියා 2:27, 31, 32) යෙහෝවා දෙවි යේසුස්ව මිනී වළෙන් එනම් මරණයෙන් නිදහස් කළා. ඒ හා සමානව දෙවි අනාගතයේදීත් මිය ගොස් සිටින තවත් බොහෝදෙනෙකුව මරණයෙන් නිදහස් කරනවා.

ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය.” (එළිදරව් 20:13, 14) මිනී වළ එහි සිටි මළවුන්ව භාර දීමෙන් අදහස් වෙන්නේ සුදුසු අයට දෙවි නැවතත් පොළොව මත ජීවත් වීමේ අවස්ථාව උදා කර දෙන බවයි. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) ප්‍රේමණීය දෙවි යෙහෝවා මෙලෙස මිය ගිය අයට නැවතත් පොළොවේ ජීවත්වීමට අවස්ථාව සලසා දීම මොන තරම් හද දනවන දෙයක්ද! එසේ ජීවිතයට පැමිණෙන අය අතර අපි හුඟක් ආදරය කළ අයද සිටිය හැකියි.