Skip to content

පටුනට යන්න

අද දින දෙවි ‘ආශ්චර්යවත් ලෙස සුව කිරීම්’ කරනවාද?

අද දින දෙවි ‘ආශ්චර්යවත් ලෙස සුව කිරීම්’ කරනවාද?

අද දින දෙවි ‘ආශ්චර්යවත් ලෙස සුව කිරීම්’ කරනවාද?

ඇතැම් රටවල සිටින මිනිසුන් “බරපතල” රෝගවලින් සුව වීම සඳහා සිද්ධස්ථානවලට ඇදී යනවා. තවත් අය කියා සිටින්නේ තමන් යම් බලවේගයකින් ලෙඩුන් සුව කරනවා කියායි. එමෙන්ම විශාල ආගමික මෙහෙයන් අතරවාරයේදී රෝද පුටුවලින් හා කිහිලිකරුවලින් පැමිණි රෝගීන් සුවය ලබන බව සමහරු කියා සිටිනවා.

ආගමෙන් ආගමට ලෙඩුන් සුව කරන ආකාරය වෙනස්. ඒ නිසා ඔවුන් අනික් ආගම්වලින් කරන සුව කිරීම් වැරදියි කියා චෝදනා කරනවා. එසේනම් මෙවැනි පරස්පර විරෝධී අදහස් දරන ආගම් හරහා දෙවි අද දින ලෙඩුන්ව සුව කරයි කියා සිතිය හැකිද? කොහෙත්ම බැහැ. ඊට හේතුව “දෙවි, අවුල්සහගත දෙවි කෙනෙකු නොව, සමාදානයේ දෙවි කෙනෙක්” කියා බයිබලයෙහි සඳහන් වීමයි. (1 කොරින්ති 14:33) සමහරුන් කියා සිටින්නේ තමන් ලෙඩුන්ව සුව කරන්නේ යේසුස්ගේ බලයෙන් කියායි. නමුත් පුරාණයේදී යේසුස් රෝගීන්ව සුව කළ ආකාරයත් අද දින සමහර ආගම්වලින් රෝගීන්ව සුව කරන ආකාරයත් අතර කොතරම් වෙනසක් තිබෙනවාද කියා අපි දැන් සලකා බලමු.

යේසුස් කළ සුව කිරීම්

යේසුස් සුව කළේ තෝරාගත් රෝගීන් පිරිසක්ව පමණක් නොවෙයි. ඒ වෙනුවට ඔහු තමන් වෙත පැමිණි සියලුදෙනාවම සුව කළා. එමෙන්ම යේසුස් රෝගීන්ව සම්පූර්ණයෙන්ම සුව කළ අතර බොහෝ අවස්ථාවලදී ඔහු වෙතට පැමිණි රෝගීන් ක්ෂණිකවම සුවය ලැබුවා. ඒ ගැන බයිබලයෙහි සඳහන් වෙන්නේ මෙසේයි. “ඔහු කෙරෙන් බලය පිට වී ඒ සියලුදෙනා සුව වනු දුටු මුළු සමූහයාද ඔහුව ස්පර්ශ කරන්න සෙවූහ.”—ලූක් 6:19.

අද සිටින සුව කරන්නන්ට රෝගීන්ව සුව කළ නොහැකි වූ විට එයට හේතුව රෝගීන්ගේ ඇදහිල්ල අඩුකම කියා ඔවුන් පවසනවා. නමුත් යේසුස් එක් අවස්ථාවකදී අන්ධ මිනිසෙකුව සුව කළ සිද්ධිය සලකා බලන්න. ඔහුව සුව කළ පසු යේසුස් ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔබ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල තබන්නෙහිද?” එවිට ඒ මිනිසා “මහත්මයාණෙනි, ඔහු කවුද? ඔහු කෙරෙහි මා ඇදහිල්ල තබන පිණිස මට කියන්න” කියා පැවසුවා. යේසුස් ඔහුට පිළිතුරු දුන්නේ මෙසේයි. “ඔබ සමඟ කතා කරන්නෙත් එම තැනැත්තාය.” ඉන් පැහැදිලි වන්නේ යේසුස් කෙරෙහි ඇදහිල්ල නොතිබූ අයවත් ඔහු සුව කළ බවයි.—යොහන් 9:1-7, 35-38.

සුවය ලැබීමට නම් රෝගීන්ට අනිවාර්යයෙන්ම ඇදහිල්ල තිබිය යුතුයි කියා යේසුස් බලාපොරොත්තු වූයේ නැහැ. එසේනම් ඇතැම් අවස්ථාවලදී ඔහු සුව කළ අයට “ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය” කියා යේසුස් පැවසුවේ ඇයි? (ලූක් 8:48; 17:19; 18:42) ඕනෑම රෝගියෙක් යේසුස්ගෙන් සුවය ලැබීමට නම් යේසුස්ට එසේ කිරීමට බලය තිබෙන බව ඔවුන් විශ්වාස කළ යුතු වුණා. ඒ නිසයි ඔබේ ඇදහිල්ල ඔබව සුව කළා කියා යේසුස් රෝගීන්ට පැවසුවේ. නමුත් ඇත්තෙන්ම රෝගීන් සුවය ලැබුවේ දෙවිගේ බලයෙන් මිස ඔවුන්ගේ ඇදහිල්ල නිසා නෙවෙයි. බයිබලයේ මෙසේ සඳහන් වෙන්නේ ඒ නිසයි. ‘දෙවිගේ බලයෙන් නාසරෙත්වලින් ආ යේසුස්ව අභිෂේක කළ විට, ඔහු යහපත කරමින්ද යක්ෂයා මගින් පීඩා කරනු ලැබූ සියල්ලන්ව සුව කරමින්ද ඒ දේශය පුරා ගියේය. මන්ද, දෙවි ඔහු සමඟ සිටියේය.’—ක්‍රියා 10:38.

අද දින සිදු කෙරෙන සුව කිරීම්වල මුදල් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර ඒ මගින් සුව කරන්නන් ඉතා ධනවත් වී තිබෙනවා. උදාහරණයකට ලොව පුරාම ගොස් ලෙඩුන්ව සුව කළ එක් පුද්ගලයෙක් වසරක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 89ක් උපයා තිබෙනවා. එමෙන්ම සුව වීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන රෝගීන්ගෙන් පල්ලි විශාල ආදායමක් උපයනවා. නමුත් යේසුස් ලෙඩුන්ව සුව කළ විට ඔහු කිසිවෙකුගෙන් මුදල් අය කළේ නැහැ. ඒ වෙනුවට ඔහු එක අවස්ථාවකදී ඔවුන්ට ආහාර පවා ලබා දුන්නා. (මතෙව් 15:30-38) එමෙන්ම ඔහු තම අනුගාමිකයන්ව දේශනා සේවයට පිටත් කර හරිද්දී ඔවුන්ට පැවසුවේ “ලෙඩුන් සුව කරන්න, මළවුන් නැඟිටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න, භූතයන් දුරු කරන්න. ඔබට නොමිලේ ලැබුණේය, නොමිලේ දෙන්න” කියායි. (මතෙව් 10:8) නමුත් අද සිටින සුව කරන්නන් යේසුස් මෙන් කටයුතු නොකරන්නේ ඇයි?

“සුව කරන්නේ කාගේ බලයෙන්ද?”

වෛද්‍යවරුන් හා පර්යේෂකයන් අද දින සිදු වන ආශ්චර්යවත් සුව කිරීම්වල සත්‍යයක් තිබෙනවාද කියා දැනගැනීමට පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඒවායින් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? අවුරුදු 20ක් පුරා ඒ ගැන සොයා බැලූ එංගලන්තයේ වෛද්‍යවරයෙක් මෙසේ පවසනවා. “ආශ්චර්යවත් සුව කිරීම් සැබෑවක් බව වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු වී නැහැ.” නමුත් අද බොහෝදෙනා විශ්වාස කරන්නේ තමන් ආශ්චර්යවත් ලෙස සුවය ලබා තිබෙන බවයි. එසේනම් ඔවුන් මුළා වෙලාද?

ආගමේ නාමයෙන් වංචනික ක්‍රියා කරන අය යේසුස් වෙතට ගොස් “ස්වාමිනි, ස්වාමිනි, අපි ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුද?” කියා අසන බව බයිබලයේ සඳහන් වෙනවා. එවිට යේසුස් ඔවුන්ට දෙන පිළිතුර මෙයයි. “මම, ඔබව කිසි කලක නොහැඳින්නෙමි! මා වෙතින් අහක්ව යන්න.” (මතෙව් 7:22, 23) එවැනි අයට සුව කිරීමට බලය දෙන්නේ කවුද? ඊට බයිබලයේ දෙන පිළිතුර සලකා බලන්න. “නීතිය නොතකන තැනැත්තාගේ පැමිණ සිටීම සාතන්ගේ ක්‍රියා කිරීමට අනුව, සියලු බලවත් ක්‍රියාවලින්ද, බොරු ලකුණු සහ පෙර නිමිතිවලින්ද, සියලු අධර්මිෂ්ඨ රැවටිලිකාරකම්වලින්ද යුක්තව සිදු වේ.”—2 තෙසලෝනික 2:9, 10.

සුව කිරීම්වලට යොදාගැනෙන පරිශුද්ධයැයි සැලකෙන රූප සහ පිළිම වැනි දේවල් දෙවි හෙළාදකිනවා. ඒ නිසයි “රූප වන්දනාවෙන් පලා දුවන්න” කියාත් “දේවතා රූපවලින් පරෙස්සම් වන්න” කියාත් බයිබලයෙහි සඳහන් වී තිබෙන්නේ. (1 කොරින්ති 10:14; 1 යොහන් 5:21) එවැනි සුව කිරීම් මගින් සාතන් මිනිසුන්ව ඉතා සූක්ෂ්ම ආකාරයට දෙවිගෙන් ඈත් කරනවා. “සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී” සිටිනවා කියා බයිබලයෙහි සඳහන් වෙන්නේ ඒ නිසයි.—2 කොරින්ති 11:14.

යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් රෝගීන්ව සුව කළේ ඇයි?

යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් සුව කිරීම් කළේ දෙවිගේ බලයෙන් බව බයිබලයේ සඳහන් වාර්තාවලින් පෙනී යනවා. (යොහන් 3:2; හෙබ්‍රෙව් 2:3, 4) යේසුස් “සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබුණු සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම ගියේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:23) මින් පැහැදිලි වන්නේ යේසුස් කළ සුව කිරීම් නිසා ඔහු දේශනා කළ පණිවුඩයට යහපත් බලපෑමක් ඇති වූ බවයි. රෝගීන්ව සුව කරනවාට අමතරව යේසුස් ජනසමූහයකට කෑම දීම, කුණාටු මැඩපැවැත්වීම සහ මළවුන්ට නැවත ජීවිතය ලබා දීම වැනි බලවත් ක්‍රියාද කළා. එමගින් ඔහු පෙන්නුම් කළේ ඔහුගේ රාජ්‍යය යටතේදී ධර්මිෂ්ඨ මිනිසුන්ට ලැබෙන්න නියමිත ආශීර්වාද ගැනයි. ඇත්තෙන්ම එය සුබ පණිවුඩයක් නොවේද!

කොහොමවුණත් ශුද්ධ ලියවිල්ලේ පෙන්නුම් කරන ආකාරයට යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන්ගේ මරණයෙන් පසුව එම බලවත් ක්‍රියාද නතර වුණා. ඒ නිසයි බයිබල් ලේඛකයෙකු වූ පාවුල් මෙසේ පැවසුවේ. “ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත. එහෙත් අනාවැකි කීමේ දීමනා වුවද නැති වන්නේය. අන්‍යභාෂා කතා කිරීමේ දීමනා වුවද අවසන් වන්නේය. දැනුම තිබුණත් එය නැති වන්නේය.” (1 කොරින්ති 13:8) අතීතයේදී ලෙඩුන් සුව කිරීම ඇතුළු නොයෙක් ආශ්චර්යවත් ක්‍රියා කිරීමට දෙවි බලය ලබා දුන්නේ යම් අරමුණක් ඇතුවයි. එනම් පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බව සහ දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ සැබෑ ක්‍රිස්තියානි සභාවට බව පෙන්නුම් කිරීමටයි. එම අරමුණ ඉටු වුණාට පසුව තවදුරටත් ආශ්චර්යවත් ක්‍රියා සිදු කිරීමට කිසිවෙකුට දෙවි බලය ලබා දුන්නේ නැහැ.

නමුත් යේසුස් සිදු කළ සුව කිරීම්වලින් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. ඔහු පැවසූ ආකාරයට දේවරාජ්‍යය ගැන ඉගෙනගෙන ඒ දේවල් විශ්වාස කළොත් අනාගතයේදී පාරාදීස පොළොවක ජීවත් වීමේ ආශීර්වාදය භුක්ති විඳීමට අපට අවස්ථාව ලැබෙනවා. ඒ කාලයේදී කිසිම කෙනෙක් තමා ලෙඩින් යයි පවසන්නේ නැහැ.—යෙසායා 33:24; 35:5, 6; එළිදරව් 21:4.