Skip to content

පටුනට යන්න

අනුගමනය කළ හැකි හොඳම ආදර්ශය

අනුගමනය කළ හැකි හොඳම ආදර්ශය

අනුගමනය කළ හැකි හොඳම ආදර්ශය

සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න ඔබත් කැමතිද? යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් ඔබට සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකියි. “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (1 පේතෘස් 2:21) යේසුස් ජීවත් වූ ආකාරයෙන් අපට බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ නිසා ඔහුගේ ගුණාංග ගැනත් ඔහුව අනුගමනය කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන ගැනත් අපි සලකා බලමු.

යේසුස් සමබර ජීවිතයක් ගත කළා. තමාට “හිස තැබීමට තැනක් නැහැ” කියා යේසුස් එක් අවස්ථාවකදී පැවසුවා. නමුත් ඉන් අදහස් වන්නේ ඔහු තාපස ජීවිතයක් ගත කළ බව නොවෙයි. (මතෙව් 8:20) ඔහු මංගල්‍ය උත්සවවලට පවා සහභාගී වුණා. (ලූක් 5:29) උදාහරණයකට ඔහුගේ ප්‍රථම ප්‍රාතිහාර්ය වූ වතුර වයින් කිරීම ඔහු කළේ විවාහ උත්සවයකදීයි. (යොහන් 2:1-11) කොහොමවුණත් ජීවිතයේ වඩාත් වැදගත් දේ ඔහු අවබෝධ කරගෙන සිටියා. එය ඔහු විස්තර කළේ මේ ආකාරයටයි. “මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.”—යොහන් 4:34.

දෙවි සමඟ මිත්‍රත්වයක් පවත්වාගත හැකි අයුරින් ඔබත් සමබර ජීවිතයක් ගත කරනවාද?

යේසුස් සුහදශීලී කෙනෙක්. බයිබලයෙහි යේසුස්ව විස්තර කර තිබෙන්නේ සුහදශීලී පුද්ගලයෙක් ලෙසයි. මිනිසුන් ඔහුගෙන් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඇසුවත් ඔහු ඔවුන්ට බැණවැදුණේ නැහැ. එක් අවස්ථාවකදී යේසුස් විශාල සෙනඟක් අතරින් ගමන් කරමින් සිටියදී අවුරුදු 12ක් පුරා රෝගයකින් පෙළුණු ස්ත්‍රියක් සුවය ලබාගැනීමේ අරමුණින් යේසුස්ගේ සළුව ඇල්ලුවා. එසේ කිරීම ගැන යේසුස් ඇයට බැණවැදුණේ නැහැ. ඒ වෙනුවට ඔහු “දියණියෙනි ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය” කියා කාරුණිකව ඇයට පැවසුවා. (මාක් 5:25-34) කුඩා දරුවන් පවා යේසුස්ව ඇසුරු කිරීමට කිසිම භයක් නැතුව පැමිණියේ ඔහු සුහදශීලී කෙනෙක් වූ නිසයි. (මාක් 10:13-16) එමෙන්ම යේසුස්ගේ ගෝලයන් පවා ඔහුව කිට්ටුවෙන් ආශ්‍රය කළෙත් ඒ නිසයි.—මාක් 6:30-32.

ඔබත් අන් අය සමඟ සුහදව කටයුතු කරනවාද?

යේසුස් දයානුකම්පිත කෙනෙක්. සෑමවිටම යේසුස් අන් අයගේ හැඟීම් තේරුම්ගත්තා. ඒ නිසා අන් අයගේ දුක තේරුම්ගෙන ඔවුන්ට උපකාර කරන්න ඔහුට හැකි වුණා. යේසුස්ගේ කිට්ටු මිත්‍රයෙක් වූ ලාසරුස්ගේ මරණය නිසා ඔහුගේ සහෝදරිය වූ මරියා හඬනවා යේසුස් දුටුවා. ඒ අවස්ථාවේදී යේසුස්ද “මහත් සේ සුසුම්ලා කැලඹී” “කඳුළු සැලුවේය” කියා බයිබලයෙහි සඳහන් වෙනවා. තමන්ගේ ශෝකය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න යේසුස් පසුබට වුණේ නැහැ. ලාසරුස් ඇතුළු ඔහුගේ පවුලේ අයට යේසුස් කොතරම් ආදරය කළාද කියා එතැන සිටි අය තේරුම්ගත්තා. ලාසරුස්ට නැවත ජීවිතය ලබා දීමෙන් යේසුස් කොතරම් දයානුකම්පිත කෙනෙක්ද කියාත් පැහැදිලි වෙනවා.—යොහන් 11:33-44.

තවත් අවස්ථාවක ලාදුරු රෝගයෙන් පෙළුණු මිනිසෙක් යේසුස්ට මෙසේ කන්නලව් කළා. “ස්වාමිනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.” එවිට යේසුස් “අත දිගු කොට ඔහුව ස්පර්ශ කර, ‘මා කැමතියි. පවිත්‍ර වෙන්න’” කියා පැවසුවා. (මතෙව් 8:2, 3) ඒ අවස්ථාවේදී යේසුස් කටයුතු කළේ ඉතා දයානුකම්පිත ලෙසයි. ඔහු මිනිසුන්ව සුව කළේ අනාවැකි ඉටු කිරීම සඳහාම නොවෙයි. ඔහුට අවශ්‍ය වුණේ මිනිසුන්ගේ දුක නැති කර දමන්නයි. ඔහු නිතරම කටයුතු කළේ “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න” කියා ඔහුම දුන් ප්‍රතිපත්තියට එකඟවයි.—ලූක් 6:31.

ඔබත් දයානුකම්පිත කෙනෙක් බව ඔබ කටයුතු කරන ආකාරයෙන් පෙනෙනවාද?

යේසුස් අන් අයව තේරුම්ගත්තා. යේසුස් කිසිම වරදක් නොකළ කෙනෙක් වුණත් අන් අයත් එලෙසම ක්‍රියා කළ යුතුයි කියා ඔහු සිතුවේ නැහැ. ඔහු නිතරම අන් අයගේ තත්වයන් හොඳින් තේරුම්ගත්තා. එක් අවස්ථාවකදී පුද්ගලයෙක් ඔහුට කෑමකට ආරාධනා කළා. එහිදී “පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධ වූ” ස්ත්‍රියක් ඇගේ කඳුළින් යේසුස්ගේ පාද තෙමද්දී යේසුස් එයට ඉඩ දුන්නා. නමුත් යේසුස්ට ආරාධනා කළ තැනැත්තා ඇයව හෙළාදුටුවා. කොහොමවුණත් එම තැනැත්තියගේ සැබෑ පසුතැවිල්ල දුටු යේසුස් ඇයව හෙළාදැක්කේ නැහැ. ඒ වෙනුවට “ඔබේ ඇදහිල්ල ඔබව ගලවාගත්තේය. සමාදානයෙන් යන්න” කියා ඇයට පැවසුවා. ප්‍රතිඵලයක් ලෙස ඇය ගත කරමින් සිටි පව්කාර ජීවිතය අතහරින්න ඇයට අවස්ථාව ලැබුණා.—ලූක් 7:37-50.

ඔබ නිතරම පෙලඹෙන්නේ අන් අයව හෙළාදකින්නද? නැත්නම් අගය කරන්නද?

යේසුස් සියලුදෙනාටම එක හා සමානව සැලකූ අතර ඔවුන්ට ගෞරව කළා. යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් යේසුස්ගේ නෑදෑයෙක් විය හැකියි. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ ගතිගුණත් එකිනෙකට සමාන වෙන්න ඇති. මේ හේතු නිසා යේසුස් යොහන්ට හුඟක් ආදරය කළා. * ඒ වුණත් යේසුස් ඔහුට කිසිම ආකාරයකින් විශේෂ සැලකිල්ලක් දැක්වූයේ නැහැ. (යොහන් 13:23) එක අවස්ථාවක යොහන් සහ ඔහුගේ සහෝදරයා වූ යාකොබ් යේසුස්ගෙන් ස්වර්ගයේ උසස් ස්ථානයක් ලබා දෙන්න කියා ඉල්ලා සිටියා. නමුත් යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “මාගේ දකුණු පැත්තේ හෝ මාගේ වම් පැත්තේ හෝ ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ.”—මාක් 10:35-40.

යේසුස් හැමවිටම අන් අයට ගෞරව කළා. ඔහුගේ කාලයේ සිටි මිනිසුන් කාන්තාවන්ව පහත් කොට සැලකුවත් යේසුස් එසේ කළේ නැහැ. උදාහරණයකට ඔහු තමන් පොරොන්දු වූ ගැලවුම්කරු බව මුලින්ම ප්‍රකාශ කළේ සමරිතානු ස්ත්‍රියකටයි. යුදෙව්වන් සමරිතානුවන්ව පහත් කොට සැලකූ නිසා එය විශේෂ දෙයක් වුණා. (යොහන් 4:7-26) එමෙන්ම යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු පසුව ඔහුව දැකගැනීමේ අවස්ථාව මුලින්ම ලබා දුන්නෙත් ස්ත්‍රීන්ටයි.—මතෙව් 28:9, 10.

ඔබත් සියලුදෙනාටම එක හා සමානව සලකනවාද?

යේසුස් වගකීමෙන් කටයුතු කළා. යේසුස්ව රැකබලා ගත් පියා මිය යන්න ඇත්තේ යේසුස්ගේ යෞවන කාලයේදී විය හැකියි. ඒ නිසා පවුලේ වැඩිමලා ලෙස මවවත් සහෝදර සහෝදරියන්වත් රැකබලා ගැනීම සඳහා ඔහු වඩු කර්මාන්තයේ නියැලෙන්න ඇති. (මාක් 6:3) එමෙන්ම යේසුස් මිය යන මොහොතේදී පවා තම මව ගැන සිතුවා. ඒ නිසයි ඇයව බලාගැනීමේ වගකීම ඔහු යොහන්ට පැවරුවේ.—යොහන් 19:26, 27.

පවුලේ වගකීම් ඉටු කිරීමේදී ඔබටත් යේසුස්ව ආදර්ශයට ගත හැකිද?

යේසුස් සැබෑ මිතුරෙක්. ඔහු සැබෑ මිතුරෙක් ලෙස ක්‍රියා කළේ කෙසේද? තම මිතුරන් අතින් එකම වරද නැවත නැවත සිදු වුණත් යේසුස් ඔවුන් සමඟ තිබුණු මිත්‍රත්වය නැති කර දැමුවේ නැහැ. ඒ වෙනුවට යේසුස් නිතරම ඔවුන්ගේ යහපත් ගුණාංග ගැන සිතුවා. එසේ කිරීමෙන් තමා සැබෑ මිතුරෙක් බව යේසුස් ඔප්පු කළා. (මාක් 9:33-35; ලූක් 22:24-27) යේසුස් කිසිවිටක තමන්ගේ මතය පිළිගන්න කියා ගෝලයන්ට බල නොකළ අතර ඔවුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ දුන්නා.—මතෙව් 16:13-15.

මේ සියල්ලටම වඩා යේසුස් ඔහුගේ මිතුරන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. (යොහන් 13:1) ඒ ගැන ඔහුම පැවසුවේ “යමෙකු තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත” කියායි. (යොහන් 15:13) තමාගේ ජීවිතය හැරුණුකොට මිතුරන් වෙනුවෙන් දිය හැකි වෙනත් වටිනා දෙයක් කිසිවෙකුටවත් නැහැ.

යේසුස් මෙන් ඔබත් සැබෑ මිතුරෙක්ද?

යේසුස් නිර්භීත පුද්ගලයෙක්. බොහෝ චිත්‍ර ශිල්පීන් යේසුස්ව ඉතා දුර්වල පෙනුමක් ඇති කෙනෙකු ලෙස චිත්‍රයට නඟා තිබුණත් බයිබලයේ ඔහුව විස්තර කර තිබෙන්නේ ශක්තිසම්පන්න කෙනෙක් ලෙසයි. ඔහු අවස්ථා දෙකකදීම දේවමාලිගාවේ සිටි වෙළෙඳුන්ව එළවා දැමුවා. (මාක් 11:15-17; යොහන් 2:14-17) එමෙන්ම යේසුස්ව අත්අඩංගුවට ගැනීම සඳහා පිරිසක් පැමිණි විට යේසුස් ඉතා නිර්භීතව ඔවුන් ඉදිරියට පැමිණ ‘ඒ මමයි. ඔබ සොයන්නේ මාව නම්, මොවුන්ට [ගෝලයන්ට] යන්න හරින්න’ කියා පැවසුවා. (යොහන් 18:4-9) යේසුස්ව සෙනඟ ඉදිරියට ගෙන එමින් “මෙන්න! ඒ මිනිසා!” කියා පැවසීමට පිලාත් පෙලඹුණේ අසාධාරණ ලෙස දඬුවම් වින්දත් යේසුස් නිර්භීතව සිටි නිසයි.—යොහන් 19:4, 5.

ඔබත් නිර්භීතව හරි දේ කරනවාද?

අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ යේසුස් අපට අනුකරණය කිරීම සඳහා කදිම ආදර්ශයක් තබා ඇති බවයි. අපි ඒ ආදර්ශය අනුගමනය කරනවා නම් සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට අපට හැකි වෙනවා. ඒ නිසයි යේසුස්ගේ අඩි පාර එනම් ඔහු තබා ඇති ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරන්න කියා බයිබලයේ අපව උනන්දු කර තිබෙන්නේ. ඔබත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරනවාද?

අපට ඇති ප්‍රයෝජන

අනුගමනය කිරීම සඳහා කදිම ආදර්ශයක් සපයනවාට අමතරව තමාගෙන් ලැබෙන වෙනත් ප්‍රයෝජන ගැනත් යේසුස් මෙසේ විස්තර කළා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” (යොහන් 14:6) යෙහෝවා දෙවි ගැන සත්‍යය කියා දීම තුළින් දෙවිට ළං වීමට යේසුස් මාර්ගය පෙන්වා දුන්නා. ඊට අමතරව ධර්මිෂ්ඨ මිනිසුන්ට සදාකාල ජීවනය ලබා දීම වෙනුවෙන්ද ඔහු කටයුතු කළා.—යොහන් 3:16.

යේසුස් මේ පොළොවට පැමිණි හේතුව ගැන ඔහුම මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය.” (මතෙව් 20:28) යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළ නිසා ධර්මිෂ්ඨ මිනිසුන්ට සදාකාල ජීවනය ලබාගැනීමට ප්‍රස්තාව විවෘත වී තිබෙනවා. එය ලබාගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? යේසුස්ම පැවසූ මේ දෙයින් ඊට පිළිතුර දැනගත හැකියි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

ඒ අනුව සදාකාල ජීවනය ලබාගැනීමට නම් යේසුස් ගැන ඉගෙනගෙන ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින් ඔහුගේ ජීවිත පූජාවේ ඇති වැදගත්කම පිළිගත යුතුයි. ඒ සඳහා බයිබලයේ ඇති තොරතුරු ඉගෙනගෙන ඒ දේවල් ජීවිතයට අදාළ කරගැනීමට කාලය යොදවන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. *

අපි කුමනාකාරයේ පුද්ගලයන් විය යුතුද කියා යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැකියි. අපිට පාපයෙන් හා මරණයෙන් නිදහස ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (රෝම 6:23) එසේ නොවන්නට අපි කොතරම් අසරණ තත්වයක සිටීවිද! මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වන යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් අපව වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ නොදෙමු!

[පාදසටහන්වල]

^ 12 ඡේ. යොහන්ගේ මව සලෝමි යේසුස්ගේ මව වූ මරියාගේ සහෝදරිය විය හැකියි. මතෙව් 27:55, 56; මාක් 15:40 සහ යොහන් 19:25 යන බයිබල් පද බලන්න.

^ 26 ඡේ. යේසුස්ගේ ජීවිතය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත කියවන්න.

[7වන පිටුවේ කොටුව/පින්තූර]

▪ යේසුස් සියල්ලන්ට එක හා සමානව සැලකූ අතර ඔවුන්ට ගෞරව කළා

▪ යේසුස් සැබෑ මිතුරෙක්

▪ යේසුස් නිර්භීතයි

ඔබත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරනවාද?

[5වන පිටුවේ පින්තූර]

යේසුස් සමබර ජීවිතයක් ගත කළා

යේසුස් වෙත පැමිණෙන්න කිසි කෙනෙක් භය වුණේ නැහැ

යේසුස් දයානුකම්පිතයි