Skip to content

පටුනට යන්න

අපේ ප්‍රශංසාව ලබන්න වටින දෙවි

අපේ ප්‍රශංසාව ලබන්න වටින දෙවි

දෙවිට ළං වෙන්න

අපේ ප්‍රශංසාව ලබන්න වටින දෙවි

එළිදරව් 4:11

‘ජීවිතයේ අරමුණ කුමක්ද’ කියා ඔබ කල්පනා කර තිබෙනවාද? පරිණාමවාදය විශ්වාස කරන අයට නම් තවමත් එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබී නැහැ. නමුත් ජීවිතයේ උල්පත යෙහෝවා දෙවි බව පිළිගන්නා අයට ඊට පිළිතුර ලැබී තිබෙනවා. (ගීතාවලිය 36:9) දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ අරමුණක් ඇතුව බව ඔවුන් දන්නවා. එම අරමුණ ගැන බයිබලයේ අවසන් පොත වන එළිදරව් 4:11හි සඳහන් වෙනවා. දෙවි අපව නිර්මාණය කළේ කුමන අරමුණක් ඇතුවද කියා අපි මේ ලිපියෙන් සලකා බලමු.

දේවදූතයන් දෙවිට ගැයූ ගීතිකාවක් ගැන එම බයිබල් පදයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් [ප්‍රශංසාවත්] ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.” මේ මුළු විශ්වයේම වඩාත් ශ්‍රේෂ්ඨ, ගෞරවාන්විත මෙන්ම බලවත්ම තැනැත්තා වන්නේ යෙහෝවා දෙවියි. ඔහු ‘විශ්වයේ ඇති සියල්ල නිර්මාණය’ කළ නිසා සියලුදෙනාගේම නමස්කාරය “ලබන්න” වටින්නේ ඔහු පමණයි.

නමුත් විශ්වයේ තිබෙන සියල්ල නිර්මාණය කළේ යෙහෝවා දෙවි බව අද සිටින බොහෝදෙනා පිළිගන්නේ නැහැ. ඒ වුණත් දෙවිව පිළිගන්නා අය ඔහුගේ නිර්මාණ තුළින් දෙවිගේ “අදෘශ්‍යමාන ගුණාංග” දකිනවා. (රෝම 1:20) ඔවුන් දෙවිව අගය කරමින් ඔහුට ප්‍රශංසාවත් ගෞරවයත් ලබා දෙනවා. එමෙන්ම යෙහෝවා දෙවි සියල්ලේ නිර්මාතෘ බවත් ඔහු සියල්ලන්ගේ ගෞරවය ලැබීමට වටින බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.—ගීතාවලිය 19:1, 2; 139:14.

යෙහෝවා දෙවි අපගේ බලයත් ලබන්න වටිනා බව එළිදරව් 4:11හි සඳහන් වෙනවා. නමුත් සියලු බලය හිමි යෙහෝවා දෙවිට බලය ලබා දීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. (යෙසායා 40:25, 26) එසේනම් දෙවිට අපේ බලය ලබා දීම යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපිව දෙවිගේ සමානත්වයෙන් නිර්මාණය කර තිබෙන නිසා බලය ඇතුළු ඔහුගේ ගතිලක්ෂණ විදහා පෙන්වීමේ හැකියාව යම් ප්‍රමාණයකට දෙවි අපට ලබා දී තිබෙනවා. (උත්පත්ති 1:27; යෙසායා 40:26) යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කර තිබෙන දේවල් අපි අගය කරනවා නම් අප සතු එම බලය හා ශක්තිය යොදාගෙන ඔහුට යා යුතු ප්‍රශංසාවත් ගෞරවයත් ලබා දීමට අපි නිතැතින්ම පෙලඹෙනවා. එමෙන්ම අපේ ශක්තිය යොදාගෙන අපේම ආශාවන් සන්සිඳුවා ගන්නවා වෙනුවට දෙවිට සේවය කිරීමටද පෙලඹෙනවා.—මාක් 12:30.

එසේනම් අපේ ජීවිතයේ අරමුණ කුමක්ද? අපි කලින් සලකා බැලූ ලෙස එළිදරව් 4:11හි අවසන් කොටසේ සඳහන් වුණේ “ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය” කියායි. ඉන් පැහැදිලි වන්නේ අපි යෙහෝවා දෙවි නිසා ජීවත් වන බවයි. ඒ නිසා සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට නම් අපි මුලින්ම දෙවිගේ අරමුණ ගැන ඉගෙනගෙන ඒ අනුව ජීවත් විය යුතුයි. අපට අපේ ජීවිතයේ අරමුණ ගැන දැනගැනීමට හැකි වන්නේ එලෙස කටයුතු කිරීමෙන් පමණයි.—ගීතාවලිය 40:8.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA, ESA, and A. Nota (STScI)