Skip to content

පටුනට යන්න

කලු පටියට සමු දී!

කලු පටියට සමු දී!

ඝානාවෙන් ලිපියක්

කලු පටියට සමු දී!

එයාගේ මූණේ කිසිම හිනාවක් තිබුණේ නැහැ. බැලූ බැල්මට එයා ටිකක් දරුණුයි වගේ. මම යද්දී එයා සුදු පාට ඇඳුමක් ඇඳගෙන කලු පටියකුත් ඉණේ බැඳන් සටන් කරන්න ලෑස්ති වෙලයි හිටියේ. ඒත් මම බලාපොරොත්තු වුණේ ඒ වගේ කෙනෙක්ව නම් නෙවෙයි.

එකපාරටම එයා හිටපු ඉරියව්ව මාරු කරලා කෑගහලා ලීයකට හයියෙන් ගැහුවා. එතකොට ඒ ලීය දෙකට මැදින් කැඩිලා ගියා. එයා ආයෙත් සැරයක් උඩ පැනලා කැරකිලා එයාගේ සටන් ඉරියව්ව මාරු කළා. ඒ වෙලාවේ නම් මට භයත් හිතුණා. ඇත්තටම බයිබයලය ඉගෙනගන්න ආසයි කියපු කෙනා මෙයාද කියලා මම කල්පනා කළා.

මම එයා ළඟට ගිහිල්ලා අතට අත දීලා මෙහෙම ඇහුවා. “ඔයා කෝජෝ නේද? ඔයා නේද බයිබලය ගැන ඉගෙනගන්න කැමතියි කියලා කිව්වේ?” එතකොට එයත් මගේ අත තදින් අල්ලගෙන හිනාවෙලා “ඔව් මම තමයි කෝජෝ. මම හරිම ආසයි බයිබලය ගැන ඉගෙනගන්න. අපි කවදා ඉඳලද ඒක පටන්ගන්නේ” කියලා ඇහුවා.

අපි එදාම පාඩම පටන්ගන්න හිතපු නිසා එයාගේ ගෙදර ඉස්තෝප්පුවට ගිහිල්ලා ඉඳගත්තා. එතන හරිම නිස්කලංකයි. ඒ නිසා කිසිම කරදරයක් නැතුව බයිබල් පාඩම කරන්න පුළුවන්. කෝජෝගේ වඳුරු පැටියත් එතන හිටියා. ඒ වඳුරු පැටියගේ රතු පාටට හුරු කොණ්ඩෙයි කම්මුල් දෙපැත්තෙන් වැවිලා තිබුණු සුදු රැවුලයි නිසා ඌට තිබුණේ විකට පෙනුමක්. ඒ වගේම ඌ හරිම දඟයි. මේසේ උඩ තිබුණු අපේ පෑන් බිම දැම්මා. අපේ කමිස සාක්කුවට අත දාලා බලනවා එයාට කන්න මුකුත් තියෙනවාද කියලා. ඌ හරිම නිදහසේ තමයි එතන හිටියේ. සාමාන්‍යයෙන් දෙමව්පියන්ට දරුවන්ගේ දඟකාර වැඩ හුරුයි වගේ කෝජෝටත් ඒ වඳුරු පැටියගේ දඟ වැඩ හොඳට හුරුයි. ඒ නිසා එයා වඳුරු පැටියා දිහා බලන්නේ නැතුව පාඩමට හොඳින් අවධානය දුන්නා. එයා ප්‍රශ්න අහපු විදිහෙන් මට තේරුණා එයා හොඳට හිතන ඒ වගේම දේවල් හොඳින් අවබෝධ කරගන්න කෙනෙක් කියලා. සමහරවිට එයා කරාටි කරන නිසා හැම දෙයක් ගැනම සෝදිසියෙන් ඉන්න ඉගෙනගන්න ඇති. එයා ඕනෑම කාරණයක් පිළිගන්නේ බයිබලයෙන් ඒක ඔප්පු කරලා පෙන්නුවොත් විතරයි.

අපි බයිබල් පාඩම දිගටම කරගෙන ගියා. මට තේරුණා කෝජෝ සටන් කලාවට ලොකු ආශාවක් දක්වනවා කියලා. දවසක් එයා කිව්වා “මම මේ ලෝකෙන් වැඩියෙන්ම ආස කරන්නේ සටන් කලාවට” කියලා. එයා සටන් කලාවට ඇලුම් කළා විතරක් නෙවෙයි, ඒ කලාව උපරිමයෙන් ප්‍රගුණ කරගෙනත් තිබුණා. ඒ නිසා වයස අවුරුදු 26දී කරාටි සටන් කලාවේ දක්ෂයන්ට පමණක් පිරිනැමෙන කලු පටියත් එයා හිමි කරගෙන තිබුණා. සාමාන්‍යයෙන් එය ලැබෙන්නේ අතළොස්සකට පමණයි.

කෝජෝ සටන් කලාවෙන් සමුගනියිද නැද්ද කියලා මට හරියටම කියන්න බැහැ. ඒත් අනික් අයට, අතින් පයින් පහර දීම බයිබලයට පටහැනි බව කෝජෝ තේරුම් අරන් ඇති කියලා මම හිතනවා. මම දන්නවා දැඩි හිත් තියෙන අයවත් වෙනස් කරන්න බයිබලයට පුළුවන් කියලා. ඒ නිසා කෝජෝටත් පුළුවන් වෙයි දෙවිගේ උපකාරයෙන් වෙනස් වෙන්න. එතකල් මට ඉවසීමෙන් ඉන්න වෙනවා.

දවසක් බයිබල් පාඩම අතරතුරේදී අපි කියවපු බයිබල් පදයක් කෝජෝගේ හිතට තදින්ම කාවැදුණා. ඒ පදයේ සඳහන් වුණේ මෙයයි. “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.” (ගීතාවලිය 11:5, නව ලොව පරිවර්තනය) ඒක කියෙව්වට පස්සේ “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට” කියලා කෝජෝ හෙමින් එයාටම කියාගත්තා. ඊටපස්සේ එයා මං දිහා බලලා කිව්වා “මම තීරණයක් ගත්තා” කියලා. එයා තීරණය කළේ සටන් කලාවෙන් සමුගන්නයි. ඒ තීරණය එයා වෙනස් කළේ නැහැ.

දැන් කෝජෝයි මායි එකතු වෙලා බයිබලය ගැන ඉගෙනගන්න කැමති අයට ඒ ගැන කියලා දෙනවා. අපි දැන් ලෑස්ති වෙන්නෙත් ඒ වගේ කෙනෙකුව හමු වෙන්න යන්නයි. එයාගේ නම ලූක්.

ලූක්ගේ ගෙදරට යන්න තිබුණේ සෙනඟ පිරුණු පාරකින්. පාර දෙපැත්තෙම වෙළෙන්දෝ හිටියා. මම දැක්කා කූඩවල මිරිස්, තක්කාලි, බණ්ඩක්කා වගේ එළවුළු විකුණන්න තියෙනවා. ඒ වගේම සබන්, කුඩ, රේඩියෝ යන්ත්‍ර, හවරි, කුළු බඩු, පාවිච්චි කළ සපත්තු හා ඇඳුම් වගේ දේවලුත් විකුණන්න තිබුණා. ඇලුමිනියම් භාජන ඔළුවේ තියාගෙන සෙනඟ මැද්දේ ගමන් කරමින් රස නහර පිනවන විවිධ සුප් වර්ග හා රසවත්ව පිළියෙල කළ මාළු, කකුළුවෝ හා ගොළුබෙල්ලන්ව අළෙවි කළ කාන්තාවන්ද සිටියා. සෙනඟ මැද්දේ බල්ලන්, එළුවන් හා කුකුළන් වගේ සතුන්වත් මම දැක්කා. වාහනවල ශබ්දය, වෙළෙන්දන්ගේ හඬ හා අවටින් ඇසුණු වෙනත් ශබ්ද නිසා එතන පුදුම ඝෝෂාවක් තිබුණා.

අන්තිමට අපි පරණ ගොඩනැඟිල්ලක් ළඟට ආවා. අපි දැක්කා ලූක් අපි එනකල් මඟ බලන් ඉන්නවා. ඒ තරුණයා අපිව දැක්කම එයාගේ අත වනලා අපිට කතා කළා. එයා හිටපු තැනට ඇතුල් වෙනවත් එක්කම අපි දැක්කා වේලපු කොළ, පොතු, මුල් බෑග්වලයි පෙට්ටිවලයි පුරවලා තියෙනවා. ඒවා අයිති ලූක්ගේ නැන්දාට. ලූක්ගේ නැන්දා ඒ ශාක කොටස්වලින් විවිධ රෝගවලට අවශ්‍ය බෙහෙත් හදනවා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන එකක්. එතන අපිළිවෙළට තිබුණත් ලූක් එතන අතුගාලා අපිට ඉඳගන්න පුටු තුනකුත් තියලා තිබුණා. ඒ නිසා අපිට පුළුවන් වුණා ඒ වෙලාවේම ලූක් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න.

ලූක්ට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්නේ කෝජෝ. පොළොවේ මේ තරම් දුක් වේදනා පවතින්නේ ඇයි කියලා එයා ලූක්ට පැහැදිලි කරලා දෙන විදිහ මම අහගෙන හිටියා. අනික් අයට පහර දීපු අත්වලින් කෝජෝ දැන් බයිබලය පෙරළන්න ලූක්ට උදව් කරනවා. නරක ගතිගුණ වෙනුවට ප්‍රේමය, දයානුකම්පාව වැනි ගුණාංග ඇති කරගන්න මිනිසුන්ව පෙලඹවීමට බයිබලයට මොන තරම් බලයක් තිබෙනවාද! කෝජෝට යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට උදව් කිරීමෙන් මම පුදුමාකාර සතුටක් ලබනවා.

ලූක්ව මුණගැහිලා එන ගමන් අඹ ගහක් යට ඉඳගෙන හිටිය පිරිමි කෙනෙක් එක්ක අපි ටිකක් කතා කළා. කෝජෝ එයාට බයිබල් පදයකුත් පෙන්නුවා. එතකොට එයා දැනගත්තා අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. ඒ නිසා එයාට හොඳටම කේන්ති ගියා. එයා කෑගහලා අපිට කිව්වා “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පේන්න බැහැ” කියලා. කෝජෝ ඒ වෙලාවේ ටිකක් කලබල වුණත් එයා ඉක්මනටම සන්සුන් වුණා. ඊටපස්සේ අපි දෙන්නා එතනින් පිට වුණා.

මඟ දිගේ යන ගමන් කෝජෝ මට මෙහෙම දෙයක් කිව්වා. “අර කෙනා අපිට කෑගැහුවම මම ටිකක් කලබල වුණා. ඉස්සර වගේ නම් මම එයාට මොනවා කරලා ඇද්ද?” එතකොට මම ටිකක් හිනාවෙලා කිව්වා “මට හිතාගන්න පුළුවන්” කියලා. ඒක ඇහුණම එයාටත් හිනා ගියා.