Skip to content

පටුනට යන්න

ග්‍රීක ලෝකයේ ක්‍රිස්තියානීන්

ග්‍රීක ලෝකයේ ක්‍රිස්තියානීන්

ග්‍රීක ලෝකයේ ක්‍රිස්තියානීන්

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ට බොහෝ අවස්ථාවලදී ශුභාරංචිය දේශනා කරන්න සිදු වුණේ ග්‍රීක භාෂාව කතා කළ අයටයි. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වා දීමට එම ක්‍රිස්තියානීන් භාවිත කළ ශුද්ධ ලියවිලිද ලියැවී තිබුණේ ග්‍රීක භාෂාවෙනුයි. බයිබල් ලේඛකයන් අලුත් ගිවිසුමට අයත් පොත් ලියනු ලැබුවෙත් ග්‍රීක භාෂාවෙන්. ඒ නිසා ග්‍රීක සංස්කෘතියට හුරු වී සිටි අයට ඒවා පහසුවෙන් කියවා තේරුම්ගත හැකි වුණා. ඒ වුණත් යේසුස්වත් ඔහුගේ මුල් අනුගාමිකයන්වත් ග්‍රීක ජාතිකයන් නොවෙයි. ඔවුන් යුදෙව්වන්.—රෝම 3:1, 2.

ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තියට ග්‍රීක භාෂාවෙන් වූ මෙහෙවර කුමක්ද? ග්‍රීක භාෂාව කතා කළ අයට පවා තේරුම්ගත හැකි අයුරින් අලුත් ගිවිසුමේ ලේඛකයන් ඔවුන්ගේ පොත් ලියුවෙත් ශුභාරංචිය ප්‍රකාශ කළෙත් කෙසේද? මේ ගැන අපි සොයා බැලිය යුත්තේ ඇයි?

ග්‍රීක සංස්කෘතියේ ව්‍යාප්තිය

ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් රජ පර්සියානු අධිරාජ්‍යය පරාජය කළා. එතැනින් නතර නොවූ ඇලෙක්සැන්ඩර් රජගේ එකම අධිෂ්ඨානය වුණේ මුළු පොළොව පුරාම ඔහුගේ අණසක පැතිර වීමයි. මෙසේ ඔහු ප්‍රදේශ ගණනාවක් අත් පත් කරගනිමින් යද්දී ග්‍රීක භාෂාව හා ග්‍රීක සංස්කෘතිය එම ප්‍රදේශවලට හඳුන්වා දුන්නා.

පසු කාලයේදී රෝමවරුන් ග්‍රීසිය වටලා එහි පාලන බලය සියතට ගත්තත් ග්‍රීක සංස්කෘතියේ ව්‍යාප්තිය ඒ වන විටත් අවට ජාතීන්ට ප්‍රබල ලෙස බලපා තිබුණා. ක්‍රිස්තු පූර්ව පළමුවන හා දෙවන සියවසේ සිටි රෝම රදලයන් ග්‍රීක කලාවට, ගෘහ නිර්මාණ ශිල්පයට, සාහිත්‍යයට හා දර්ශනවාදයට මොන තරම් ඇල්මක් දැක්වූවාද කියනවා නම් හොරෙස් නම් කවියා මෙසේ කීමට පෙලඹුණා. “අපි ග්‍රීකයන්ව වැටලුවත් ග්‍රීක සංස්කෘතිය අපිව වටලා තිබෙනවා.”

රෝම පාලනය යටතේ තිබූ සුළු ආසියාවේ, සිරියාවේ හා ඊජිප්තුවේ ඇතැම් නගරවල ග්‍රීක සංස්කෘතිය ඉහළින් වැජඹුණා. දේශපාලනය, නීතිය හා විලාසිතා තුළත් ග්‍රීක ආභාෂය පැතිරී තිබුණා. මෙයින් පෙනී යන්නේ ග්‍රීක සංස්කෘතිය මිනිස් ජීවිතවලට විශාල බලපෑමක් කර තිබූ බවයි. බොහෝ ග්‍රීක නගරවල ග්‍රීක නාට්‍යයන් රඟ දැක්වූ රංග ශාලා හා පුරුෂයන්ට වෙන් වූ කාය වර්ධන ස්ථාන තිබුණා.

ග්‍රීක සංස්කෘතියේ ව්‍යාප්තිය යුදෙව්වන්ටත් බලපෑවා. මුලදී ග්‍රීක සංස්කෘතියේ මිථ්‍යා ආගමික විශ්වාසයන් ප්‍රතික්ෂේප කිරීමට භක්තිවන්ත යුදෙව්වන්ට හැකි වුණා. ඒ වුණත් කාලයත් සමඟම යුදෙව්වන්ගේ ජීවිතයේ බොහෝ පැති ග්‍රීක සංස්කෘතියේ බලපෑමට නතු වුණා කියා එක් ඉතිහාසඥයෙක් වන එමිල් ෂුඑරර් පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ යුදෙව්වන් ජීවත් වූ ප්‍රදේශය අවට පළාත්වල ග්‍රීක සංස්කෘතිය පැතිරී තිබූ බවයි. ඒ නිසා වෙළඳ කටයුතුවලදී යුදෙව්වන්ට එවන් ප්‍රදේශවල ජීවත් වූ අය හා ගනුදෙනු කිරීමට සිදු වුණා.

සෙප්ටුඅජින්ට් පිටපතේ වැදගත්කම

කාලය ගෙවී යෑමත් සමඟ බොහෝ යුදෙව්වන් ග්‍රීක සංස්කෘතිය පැතිරී තිබූ මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවල පදිංචි වුණා. එවන් ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන් කතා කළේ ග්‍රීක භාෂාවයි. ඒ නිසා යුදෙව්වන්ට ඔවුන්ගේ මව්බස වූ හෙබ්‍රෙව් භාෂාව කෙමෙන් කෙමෙන් අමතක වී ගියා. * මේ නිසා හෙබ්‍රෙව් බසින් ලියැවී තිබූ ශුද්ධ ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් මතු වුණා. එම අවශ්‍යතාව ඉටු කිරීමට ක්‍රිස්තු පූර්ව 280දී පමණ යුදෙව් විශාරදයන් පිරිසක් පියවර ගත්තා. ප්‍රතිඵලයක් ලෙස හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය වූ අතර ඒවා සෙප්ටුඅජින්ට් පිටපත් ලෙස හඳුන්වනු ලැබුවා. මෙම පරිවර්තන කටයුතු සිදු වුණේ ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකිය හැකි ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේදීයි.

ග්‍රීක භාෂාවෙන් කරන ලද සෙප්ටුඅජින්ට් පිටපත්වලින් ඉතා වැදගත් සේවාවක් ඉටු වුණා. එය නොතිබුණා නම් ඊශ්‍රායෙල් ජාතිය සමඟ දෙවි කටයුතු කළ ආකාරය දැනගැනීමට බොහෝදෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එමෙන්ම ශුභාරංචිය පොළොව පුරා දේශනා කිරීමටද එම පිටපත් බොහෝ සෙයින් උපකාරවත් වුණා. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් තොරතුරු බටහිර රටවල ජීවත් වන අයට දැනගැනීමට ලැබුණෙත් සෙප්ටුඅජින්ට් පිටපත් නිසයි. එවකට ග්‍රීක භාෂාව ලොව පුරාම පැතිරී තිබූ නිසා යෙහෝවා දෙවි ගැන සත්‍යය ලොවට හෙළි කිරීමට යොදාගත හැකි උචිතම භාෂාව වූයේ ග්‍රීක භාෂාවයි.

යුදෙව් ආගමට හැරුණු අය සහ දේවගරුබිය ඇති අය

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී යුදෙව්වන් ඔවුන්ගේ බොහෝ ලියකියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ අතර තවත් ඒවා ග්‍රීක භාෂාවෙන්ම ලියනු ලැබුවා. මේ නිසා ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය ගැනත් ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගැනත් කියවා දැනගැනීමට වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට හැකි වුණා. ප්‍රතිඵලයක් ලෙස යුදෙව් ආගමික වත්පිළිවෙත් පිළිපදින්නත් යුදෙව්වන්ගේ නිතීවලට යටත් වෙන්නත් ඔවුන් පෙලඹුණු බව සමහර ඉතිහාසඥයන් පවසනවා.—එම පොත The History of the Jewish People in the Age of Jesus Christ.

තවත් අය චර්මච්ඡේදනය වැනි නීති පවා පිළිපදිමින් යුදෙව් ආගමට හැරුණා. එමෙන්ම යුදෙව් ආගමට නොහැරුණත් එහි ඇතැම් නීතිවලට පමණක් කීකරු වූ පිරිසක්ද එවකට සිටියා. එවැනි අයව ග්‍රීක පොත් පත්වල හඳුන්වා තිබෙන්නේ “දෙවිට ගරුබිය දක්වන්නන්” ලෙසයි. කොර්නේලියස් ඊට කදිම උදාහරණයක්. බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ ‘දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටි භක්තිවන්ත මිනිසෙකු’ ලෙසයි. එවැනි තවත් බොහෝදෙනෙකුව යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල්ට සුළු ආසියාවේදී හා ග්‍රීසියේදී මුණගැසී තිබෙනවා. පාවුල් පිසිදියේ පිහිටි අන්තියෝකියේ තිබූ යුදෙව් ආගම උගන්වන ශාලාවකට ගොස් එහි සිටි අයව ‘පුරුෂයෙනි, ඊශ්‍රායෙල්වරුනි, දෙවි කෙරෙහි ගරුබිය ඇති අන් සියල්ලෙනි’ කියා ආමන්ත්‍රණය කළේ ඒ නිසයි.—ක්‍රියා 10:2; 13:16, 26; 17:4; 18:4.

යුදා දේශයෙන් එහා ජීවත් වූ ග්‍රීක ආභාෂයක් තිබූ යුදෙව්වන්ටත් යේසුස්ගේ අනුගාමිකයන් ශුභාරංචිය දේශනා කළා. එවැනි ප්‍රදේශවල ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත වීමට කදිම පසුබිමක් සැකසී තිබුණා. වැඩි කල් නොගොස් දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ටත් ගැලවීම සඳහා ප්‍රස්තාව සලසා තිබෙන බව යේසුස්ගේ අනුගාමිකයන් වටහාගත්තා. ඉන් පෙනී ගියේ දෙවිට වැදගත් වෙන්නේ පුද්ගලයෙක් ‘යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද’ යන්න නොවන බවයි.—ගලාති 3:28.

ග්‍රීකයන්ට ශුභාරංචිය

විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ක්‍රිස්තියානි ආගමට පැමිණීම ගැන යුදෙව් ක්‍රිස්තියානීන් සතුටු වුණේ නැහැ. ඒ වුණත් දෙවි වෙනත් ජාතීන්ටත් ක්‍රිස්තියානීන් වීමට අවස්ථාව සලසා දී තිබෙන බව යෙරුසලමේ සිටි වගකීම් දැරූ ක්‍රිස්තියානීන් වටහාගෙන තිබුණා. ඒ නිසයි වෙනත් ජාතීන් ක්‍රිස්තියානීන් බවට පත් වූ විට රුධිරය භාවිත කිරීම, අනාචාරයේ නියැලීම හා රූපවලට නමස්කාර කිරීම වැනි දේවලින් වැළකී සිටින්න කියා වගකීම් දැරූ ක්‍රිස්තියානීන් ඔවුන්ට උපදෙස් දුන්නේ. (ක්‍රියා 15:29) ග්‍රීක සංස්කෘතිය යටතේ හැදී වැඩුණු අයට එම උපදෙස් ඉතා වැදගත් වුණා. ඊට හේතුව ග්‍රීක හා රෝම සමාජයේ “නින්දිත ලිංගික තෘෂ්ණා” හා සමලිංගික සේවනය ඉතා සුලබව පැතිරී තිබීමයි. නමුත් ක්‍රිස්තියානීන් එවැනි දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු වුණා.—රෝම 1:26, 27; 1 කොරින්ති 6:9, 10.

ග්‍රීක සංස්කෘතිය ඉහළින් වැජඹුණු ලොවක පවා සාර්ථකව ශුභාරංචිය පතළ කළ ක්‍රිස්තියානියෙකු ලෙස පාවුල්ව අවිවාදයෙන්ම හැඳින්විය හැකියි. අදටත් ග්‍රීසියේ ඇතන්ස් නගරය නැරඹීමට යන අයට පාවුල් එම ස්ථානයේදී ඉදිරිපත් කළ එක් ජනප්‍රිය දේශනයක් ලෝකඩ පුවරුවක් මත කොටා ඇති අයුරු දැකගැනීමට ලැබෙනවා. එම දේශනය ශුද්ධ බයිබලයේ ක්‍රියා පොතේ 17වන පරිච්ඡේදයේ වාර්තා වී තිබෙනවා. පාවුල් එම දේශනය ආරම්භ කළේ “ඇතන්ස්හි පුරුෂයෙනි” කියා සෙනඟව ආමන්ත්‍රණය කිරීමෙනුයි. මෙය ඉතා සුදුසු දෙයක් වුණා. ඊට හේතුව සාමාන්‍යයෙන් ග්‍රීක ජාතිකයන් ප්‍රසිද්ධියේ යම් දේශනයක් දීමට පෙර සෙනඟව එසේ ආමන්ත්‍රණය කිරීමට හුරු වී සිටීමයි. ඒ නිසා සෙනඟ ඇතුළු එහි සිටි එපිකියුරියානු හා ස්ටොයික දාර්ශනිකයන්ද ඔහුට සවන් දෙන්න පෙලඹුණා. පාවුල් ඔවුන්ගේ වැරදි පෙන්වා දෙනවා වෙනුවට ඔවුන් ගරුබුහුමන් කළ “නාඳුනන දෙවි” ගැන සඳහන් කරමින් ඔවුන්ගේ භක්තිය අගය කළා. ඒ නිසා යෙහෝවා දෙවි ගැන ඒ සෙනඟට කියා දෙන්න පාවුල්ට අවස්ථාව ලැබුණා.—ක්‍රියා 17:16-23.

පාවුල් නිතරම ඔහුගේ සාකච්ඡාවන් ඉදිරියට ගෙන ගියේ අන් අයට පිළිගත හැකි විෂයන් යොදාගෙනයි. ඒ නිසා පාවුල් පැවසූ දේවල් ස්ටොයික දාර්ශනිකයන්ටත් පිළිගත හැකි වුණා. ජීවිතය ලැබී තිබෙන්නේ දෙවිගෙන් බවත්, මුළු මිනිස් වර්ගයාම එකම ජාතියකට අයිති බවත්, දෙවිට ළං වෙන්න මිනිසුන්ට හැකි බවත් මිනිස් වර්ගයා පවතින්නේ දෙවි නිසා බවත් ස්ටොයික දාර්ශනිකයන් විශ්වාස කළා. ස්ටොයික කවියන් වූ අරාටස් හා ක්ලෙන්තස් වැනි අයත් ජීවිතය රඳා පවතින්නේ දෙවි මතයි කියා සඳහන් කර තිබෙන බව පාවුල් ඔවුන්ට මතක් කළා. එමෙන්ම එපිකියුරියානු දාර්ශනිකයන්ද දෙවි ජීවමානව සිටින බවත් දෙවිට කිසිම කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය නැති බව හා මිනිසුන් ගොඩනඟා ඇති දේවස්ථානවල විසීමට දෙවිට අවශ්‍ය නැති බවත් විශ්වාස කළා. ඒ නිසා ඔවුන්ටත් පාවුල් පැවසූ දේවල් පිළිගත හැකි වුණා.

එම දේශනයේදී පාවුල් භාවිත කළ “ලෝකය,” “පැවත එන්නන්” සහ “දෙවි” වැනි යෙදුම් ඔහුට සවන් දෙමින් සිටි ග්‍රීක දාර්ශනිකයන්ද නිතර දෙවේලේ භාවිත කළා. (ක්‍රියා 17:24-29) සවන්දෙන්නන්ව දිනාගැනීම සඳහා පාවුල් සත්‍යය වසං කළේ නැහැ. ඒ නිසයි දේශනය අවසානයේදී නැවත නැඟිටීම සහ විනිශ්චය ගැනත් පාවුල් සඳහන් කළේ. නමුත් ග්‍රීකයන් එය විශ්වාස කළේ නැහැ. කොහොමවුණත් පාවුල් ඔහුගේ දේශනයට ඇතුළත් කළ තොරතුරු සහ එය ඉදිරිපත් කළ ආකාරය නිසා දාර්ශනිකයන් පවා ඔහුට සවන් දුන්නා.

පාවුල් ලිපි බොහොමයක් ලිව්වේ ග්‍රීක නගරවල හෝ රෝම ප්‍රදේශවල පිහිටි ක්‍රිස්තියානි සභාවලටයි. එවැනි ප්‍රදේශ ග්‍රීක සංස්කෘතියේ බලපෑමට ලක් වී තිබුණා. එමනිසා ග්‍රීක සංස්කෘතිය යටතේ හැදී වැඩුණු අයට තේරුම්ගත හැකි දේවල් පාවුල් ඔහුගේ ලිපිවලට ඇතුළත් කළා. ඒ අතරට මලල ක්‍රීඩා, ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ත්‍යාග, දරුවෙකුව පාසැලට ගෙනයන උපදේශකයා ඇතුළු තවත් බොහෝ දේවල් ඇතුළත් වුණා. (1 කොරින්ති 9:24-27; ගලාති 3:24, 25) ග්‍රීකයන්ට හුරු දේවල් ඔහු ලිපිවලට ඇතුළත් කළත් ඔවුන්ගේ පිරිහුණු ගතිපැවතුම් හා ආගමික විශ්වාසයන් පාවුල් හෙළාදුටුවා.

සියල්ලන්ට සියල්ල වීම

වෙනත් ජාතීන්ට අයත් අයට ශුභාරංචිය දේශනා කිරීම සඳහා තමා සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල විය යුතුයි කියා පාවුල් තේරුම්ගත්තා. ඒ නිසයි “යුදෙව්වරුන්ව දිනාගන්නා පිණිස, මම යුදෙව්වරුන්ට යුදෙව්වෙකු මෙන් වුණෙමි” කියා ඔහු පැවසුවේ. එමෙන්ම ග්‍රීක ජාතිකයන්ට දෙවි ගැන කියා දීම සඳහා ඔහු ග්‍රීක ජාතිකයෙක් මෙන් වුණා. පාවුල්ට එය කළ හැකි වුණේ ඔහු යුදෙව්වෙක් ලෙස ග්‍රීක සංස්කෘතියේ බලපෑමට ලක් වූ ප්‍රදේශයක හැදී වැඩුණු නිසයි. අද සිටින ක්‍රිස්තියානීන්ටත් ඒ හා සමාන කාර්යයක් කිරීමට තිබෙනවා.—1 කොරින්ති 9:20-23.

අද දින මිලියන ගණන් මිනිසුන් තම ගම රට අතහැර වෙනත් රටවල පදිංචි වෙනවා. එවැනි අයට ඔවුන්ගේම භාෂාවෙන් දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමත් යේසුස්ගේ අනුගාමිකයන් වීමට උදව් කිරීමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පහසු කාර්යයක් වී නැහැ. (මතෙව් 24:14; 28:19) කොහොමවුණත් ඔවුන්ගේම මව් භාෂාවෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම වඩාත් සාර්ථක බව සාක්ෂිකරුවන් අද්දැක තිබෙනවා.

මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි යන මේ සඟරාව මාසිකව භාෂා 169කින් ප්‍රකාශයට පත් කරන්නේ ඒ හේතුව නිසයි. මෙම සඟරාවත් සමඟ සමගාමීව බෙදාහැරෙන පිබිදෙව්! සඟරාවත් මාසිකව භාෂා 81කින් ප්‍රකාශයට පත් කරනු ලබනවා. ඊට අමතරව වෙනත් රටවලින් පැමිණ සිටින අයට ඔවුන්ගේම භාෂාවෙන් ශුභාරංචිය දැනුම් දීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් භාෂා ඉගෙනගැනීමටත් මහත් වෑයමක් දරනවා. එවන් භාෂා අතරට අරාබි, චීන සහ රුසියානු භාෂා වැනි ඉගෙනගැනීමට තරමක් අපහසු භාෂාද ඇතුළත්. ඔවුන් එතරම් කැපවීමකින් ක්‍රියා කරන්නේ ඇයි? එයට හේතුව පුරාණයේ සිටි පාවුල් මෙන් ‘කෙසේ හෝ ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වීමට’ ඔවුන් උත්සාහ කරන නිසයි.—1 කොරින්ති 9:22.

[පාදසටහන]

^ 10 ඡේ. යෙරුසලමේ සිටි බොහෝ යුදෙව්වන් කතා කළේ ග්‍රීක භාෂාවයි. ‘නිදහස ලැබූවන්ගේ සිනගෝගයට’ අයත් අය ඇතුළු ‘සිරේනියන්වරු, ඇලෙක්සැන්ඩ්‍රියන්වරු, සිලීසියාවෙන් සහ ආසියාවෙන්’ පැමිණි අය බොහෝදුරට කතා කරන්න ඇත්තේද ග්‍රීක භාෂාවයි.—ක්‍රියා 6:1, 9.

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රෝමය

ග්‍රීසිය

ඇතන්ස්

ආසියාව

අන්තියෝකිය (පිසිදිය)

සිලීසියාව

සිරියාව

යුදය

යෙරුසලම

ඊජිප්තුව

ඇලෙක්සැන්ඩ්‍රියාව

සිරේනිය

මධ්‍යධරණී මුහුද

[19වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී යෙහෝවා දෙවි ගැන දැනගැනීමට “සෙප්ටුඅජින්ට්” පිටපත් උපකාරවත් වුණා

[හිමිකම් විස්තර]

Israel Antiquities Authority

[20වන පිටුවේ පින්තූරය]

පාවුල්ගේ ප්‍රසිද්ධ දේශනය දැක්වෙන ඇතන්ස්හි ඇති පුවරුව