Skip to content

පටුනට යන්න

පිරිසිදුකම කොතරම් වැදගත්ද?

පිරිසිදුකම කොතරම් වැදගත්ද?

පිරිසිදුකම කොතරම් වැදගත්ද?

අතීතයේ සිට භයානක වසංගත මිනිස් සමාජයට මහත් තර්ජනයක් වී තිබෙනවා. මෙවැනි දේවල් සිදු වන්නේ දෙවි කෝප වී නරක අයට දඬුවම් කරන නිසා කියා සමහරුන් සිතනවා. නමුත් සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ අප අවට ජීවත් වන කුඩා සතුන් එවැනි වසංගතවලට හේතු වී තිබෙන බවයි.

මීයන්, කැරපොත්තන් හා මදුරුවන් වැනි සතුන් ඒ අතර සිටිනවා. එමෙන්ම මිනිසුන් පිරිසිදුකම ගැන සැලකිලිමත් නොවීමත් එවැනි වසංගත බෝ වීමට හේතු වී තිබෙන බව එම සමීක්ෂණවලින් තවදුරටත් හෙළි වී තිබෙනවා. අපිරිසිදුකම නිසා පුද්ගලයෙකුට මරණය පවා අත් විය හැකියි.

මිනිසුන් පිරිසිදුකම ගැන දරන ආකල්පය එකිනෙකා හැදී වැඩෙන පරිසරය හා ගතිපැවතුම් අනුව වෙනස් වෙනවා. ප්‍රමාණවත් ජලය හෝ නිසි කානු පද්ධති නොමැති ප්‍රදේශයක ජීවත් වන අයට පිරිසිදුව සිටීම අභියෝගයක් විය හැකියි. නමුත් අතීතයේ කාන්තාරය හරහා ගමන් කළ ඊශ්‍රායෙල්වරුන් ගැන මදකට කල්පනා කර බලන්න. සාමාන්‍යයෙන් කාන්තාරයක් හරහා ගමන් කළ ඔවුන්ට පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම එතරම් පහසු වුණේ නැහැ. ඒ වුණත් පිරිසිදුව සිටීම සම්බන්ධයෙන් දෙවි ඔවුන්ට උපදෙස් දුන්නා.

දෙවි පිරිසිදුකම එතරම් වැදගත් කොට සලකන්නේ ඇයි? පිරිසිදුකම ගැන අපි දැරිය යුතු නිසි ආකල්පය කුමක්ද? පිරිසිදුව සිටීම සඳහා ඔබටත් පවුලේ අයටත් කළ හැකි දේවල් මොනවාද?

අප්‍රිකාවේ කැමරූන්වල ජීවත් වන පුංචි ජෝන් * පාසැල් ගිහින් ගෙදර ආවේ හරිම බඩගින්නෙන්. ගෙට ඇතුල් වෙන්න කලින් එයා එන කල් බලාගෙන හිටිය බල්ලාව සුරතල් කරන්නත් එයා අමතක කළේ නැහැ. බඩගින්න වැඩිකමට එයාගේ පොත් බෑගය කෑම මේසෙන් තියලා අත් දෙකවත් සෝදන්නේ නැතුව ජෝන් කෑමට වාඩි වුණා.

ජෝන්ගේ අම්මා කෑම එකත් අරගෙන එයා ළඟට ආවම පොත් බෑගය මේසේ උඩ තියෙනවා දැක්කා. එතකොට අම්මා “ජෝන්!” කියලා එයා දිහා බැලුවා. ජෝන්ට මතක් වුණා බෑග් එක කෑම මේසෙන් තියන එක වැරදියි කියලා. ඒ නිසා එයා ඉක්මනට බෑග් එක එතනින් ගෙනියලා අත් දෙකත් සෝදගෙන ඇවිත් අම්මගෙන් සමාව ඉල්ලුවා.

සෞඛ්‍යසම්පන්න දිවියකට අවශ්‍ය පිරිසිදු වටපිටාවක් ඇති කිරීම සඳහා මවකට පවුලේ සැමගේ සහය අවශ්‍යයි. කොහොමවුණත් ජෝන්ගේ උදාහරණයෙන් පැහැදිලි වෙන්නේ පිරිසිදුව සිටීම සඳහා මවක් දරුවන්ව පුහුණු කිරීමත් ඒ දේවල් නිතර නිතර මතක් කිරීමත් අවශ්‍ය බවයි.

කෑමට විෂබීජ ඇතුල් විය හැකි ක්‍රම බොහොමයක් තිබෙන බව ජෝන්ගේ මව දැන සිටියා. ඒ නිසා කෑම පිසීමට පෙර ඇය අත් දෙක හොඳින් සෝදාගන්නවා. එමෙන්ම කෑම පිසීමෙන් පසුව ඒවා වසා තැබීමටත් ඇය අමතක කරන්නේ නැහැ. ඇය නිවස පිරිසිදුව තබාගෙන සිටින නිසා මීයන්, කැරපොත්තන්, මැස්සන් වැනි සතුන් ඇගේ නිවසේ ගැවසෙන්නෙත් නැහැ.

ජෝන්ගේ මව පිරිසිදුව සිටීමට එතරම් උත්සාහයක් දරන්නේ දෙවිව සතුටු කිරීමට ඇයට අවශ්‍ය නිසයි. ඇය පැවසුවේ “දෙවි ශුද්ධව සිටින නිසා, ඔහුගේ සේවකයන්ද ශුද්ධව සිටිය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා” කියායි. (1 පේතෘස් 1:16) එමෙන්ම ඇය මෙසේද පැවසුවා. “ශුද්ධව ඉන්න පිරිසිදුකම අවශ්‍ය නිසා මම මගේ නිවස පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ පවුලේ අයගේ සහයෝගය නිසයි.”

සහයෝගය අවශ්‍යයි

ජෝන්ගේ මව පවසන ආකාරයට පවුලේ සනීපාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම පවුලේ සියලුදෙනාගේම වගකීමක්. සමහර පවුල් සාමාජිකයන් පවුලට බලපාන කාරණා ගැනත් ඒවාට ඇති පිළියම් ගැනත් පවුලක් ලෙස එකතු වී සාකච්ඡා කරනවා. පවුලේ එකමුතුකමට එය බලපාන අතර පවුලේ ශුභසිද්ධිය උදෙසා තමන් කළ යුතු දේ ගැනත් යම් සිහිගැන්වීමක් ලැබෙනවා. උදාහරණයකට එවැනි සාකච්ඡාවකදී වැසිකිළි යෑමෙන් පසුව, මුදල් ඇල්ලීමෙන් පසුව හා ආහාර ගැනීමට පෙර අත සේදිය යුත්තේ ඇයි කියා පවුලේ වැඩිහිටි දරුවන්ට පහදා දෙන්න මවකට අවස්ථාව ලැබෙනවා. එවිට කළ යුතු නිවැරදි දේ බාල සහෝදර සහෝදරියන්ට පහදා දීමට වැඩිහිටි දරුවන්ට හැකි වෙනවා.

නිවස පිරිසිදුව තබාගැනීම සඳහා පවුලේ අයට විවිධ වැඩ පැවරිය හැකියි. සතියක් පාසා නිවස පිරිසිදු කර වසරකට වතාවක් හෝ දෙවතාවක් මුළු නිවසම සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම මීට ඇතුළත්. නිවස මෙන්ම එහි වටපිටාවත් පිරිසිදුව තිබිය යුතුයි. පරිසර හිතකාමියෙක් වන ස්ටුවට් එල්. උඩාල් එක්සත් ජනපදය ගැන මෙසේ පැවසුවා. “අපේ රටේ තියෙන සුන්දරත්වය දවසින් දවස නැති වෙලා යනවා. ඒ වගේම නිදහසේ ඉන්න පුළුවන් තැන් නැති තරම්. ශබ්ද දූෂණය ඇතුළු පරිසරයට සිදු වන වෙනත් හානි නිසා මුළු පරිසරයම විනාශ වෙනවා.”

ඔබ අවට පරිසරය ගැන ඔබටත් හැඟෙන්නේ එසේද? මධ්‍යම අප්‍රිකාවේ අදටත් සිදු වන සුවිශේෂී දෙයක් ගැන සලකා බලන්න. කානු ශුද්ධ කිරීමේ, ගස්වල අතු කැපීමේ හෝ කැළි කසළ ඉවත් කිරීමේ අවශ්‍යතාවක් මතු වූ විට එක් නිලධාරියෙක් ප්‍රදේශය පුරා ගමන් කරමින් මහජනයාට ඒ ගැන දැනුම් දෙනවා.

කැළි කසළ ඉවත් කිරීම අද ලෝක ව්‍යාප්ත ගැටලුවක් වී තිබෙන අතර එම ප්‍රශ්නය හමුවේ පාලකයන්ද ඉතා අසරණයි. ප්‍රතිඵලයක් ලෙස පාරවල්වල පවා කැළි කසළ එකතු වෙනවා. සමහරවිට එම කුණු ඉවත් කරන්න කියා රජයේ නිලධාරීන් එම ප්‍රදේශයේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. එවැනි අවස්ථාවලදී ප්‍රතිපත්තිගරුක ක්‍රිස්තියානීන් ලෙස කටයුතු කරන අය එවැනි කටයුත්තකට මුලින්ම ඉදිරිපත් වෙනවා. එයට හේතුව ඔවුන් සීසර්ගේ නීතියට එනම් රජයේ නියෝගවලට කීකරු වීමයි. (රෝම 13:3, 5-7) ඒ නිසා අවට පරිසරය පිරිසිදු කිරීමට බලධාරීන් මතක් කරන තුරු ඔවුන් සිටින්නේ නැහැ. වගකීමෙන් කටයුතු කරන පුරවැසියෙක් වීමට නම් පිරිසිදුකම අත්‍යවශ්‍ය බව ඔවුන් තේරුම්ගෙන සිටිනවා. කෙනෙක් පිරිසිදුකම ගැන ඉගෙනගන්නේ නිවසෙනුයි. නිවසත් ඒ අවටත් පිරිසිදු නම් නිරෝගීව සිටීමට එය ඉවහල් වෙනවා. එමෙන්ම එමගින් අවට පරිසරයටත් සුන්දරත්වයක් ලැබෙනවා.

පිරිසිදුකම දෙවිව ගෞරවයට පත් කරයි

පිරිසිදුව ඇඳ පැළඳගෙන ගෞරවනීයව හැසිරීම දෙවි තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් ගෞරවනීය ලෙස හැසිරෙන විට එය අන් අයගේ අවධානයට ලක් වීම සාමාන්‍ය දෙයක්. උදාහරණයකට ප්‍රංශයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යෞවන යෞවනියන් 15දෙනෙකු ඔවුන්ගේ සමුළුවකට සහභාගි වීමෙන් පසු අවන්හලකට ඇතුල් වුණා. එම යෞවන කණ්ඩායම කෑගසමින් අගෞරවනීය ලෙස හැසිරෙයි කියා එහි සිටි වැඩිහිටි යුවළක් සිතුවා. නමුත් සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. විනීතව ඇඳ පැළඳ සිටි එම යෞවන පිරිස එකිනෙකාට කතා කළේ ඉතා ගෞරවනීයවයි. ඒ නිසා ඔවුන් අවන්හලෙන් පිටව යද්දී වැඩිහිටි යුවළ ඔවුන්ව අගය කරමින් මේ ආකාරයට කටයුතු කරන යෞවනයන් අද සමාජයේ දකින්න නැති තරම් කියා පැවසුවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල සහ ඔවුන්ගේ පොත් පත් මුද්‍රණය කරන ස්ථාන නැරඹීමට එන අය එම ස්ථානවල ඇති පිරිසිදුකම දැකීමෙන් පුදුම වෙනවා. එහි සේවය කරන පූර්ණකාලීන ස්වේච්ඡා සේවකයන් පිරිසිදු ඇඳුම් ඇඳීමත් නෑමත් අත්‍යවශ්‍යයි. ශාරීරිකව පිරිසිදු නොවී සුවඳ විලවුන් ගැල්වීමෙන් පලක් නැහැ. මෙම සේවකයන් දේශනා සේවයේ හවුල් වෙද්දී ඔවුන්ගේ පිරිසිදුකම දකින මිනිසුන් ඔවුන් ඉදිරිපත් කරන පණිවුඩයට සවන් දීමට පෙලඹෙනවා.

“දෙවිව අනුකරණය කරන්නන් වන්න”

බයිබලයෙහි ක්‍රිස්තියානීන්ව දිරිගන්වා තිබෙන්නේ “දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියායි. (එෆීස 5:1) පුරාණයේ විසූ අනාගතවක්තෘවරයෙක් වූ යෙසායා දුටු දර්ශනයක දේවදූතයන් යෙහෝවා දෙවිට “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියා පැවසූ බව ඔහු වාර්තා කළා. (යෙසායා 6:3) යෙහෝවා දෙවි කොතරම් පවිත්‍ර මෙන්ම නිර්මල කෙනෙක්ද කියා ඉන් පැහැදිලි වෙනවා. ඒ නිසයි “මා ශුද්ධව සිටින නිසා, ඔබද ශුද්ධව සිටිය යුතුයි” කියා දෙවි ඔහුගේ සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.—1 පේතෘස් 1:16.

“මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී” සිටින්න කියා බයිබලයෙහි ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබෙනවා. (1 තිමෝති 2:9) දෙවිගේ කැමැත්තට එකඟව කටයුතු කරන ශුද්ධ අයගේ ක්‍රියාවන් සමාන කර තිබෙන්නේ “දීප්තිමත් වූද පිරිසිදු වූද අනර්ඝ හණ වස්ත්‍රවලටයි.” (එළිදරව් 19:8) නමුත් අපවිත්‍රකම හා පැල්ලම් වැනි දේවල් බයිබලයෙහි භාවිත කර තිබෙන්නේ කෙනෙකුගේ වැරදි සංකේතවත් කිරීමටයි.—හිතෝපදේශ 15:26; යෙසායා 1:16; යාකොබ් 1:27.

අද බොහෝදෙනෙකුට ශාරීරිකව පිරිසිදුව සිටීමටත් සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් දෙවිට පිළිගත හැකි ආකාරයකින් නමස්කාර කිරීමටත් විශාල සටනක් කරන්න සිදු වෙනවා. එයට විසඳුමක් ලැබෙන්නේ යෙහෝවා දෙවි ‘සියල්ල අලුතින් සාදන’ කාලයේදීයි. (එළිදරව් 21:5) එදාට සියලුම ආකාරයේ අපවිත්‍රකම් සදහටම තුරන් වෙනවා.

[පාදසටහන]

^ 6 ඡේ. නම වෙනස් කර ඇත.

[10වන පිටුවේ කොටුව]

පිරිසිදුකම දෙවි බලාපොරොත්තු වෙනවා

ඊශ්‍රායෙල්වරුන් කාන්තාරයේ ගමන්ගත් කාලයේදී මලපහ ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙවිගෙන් ඔවුන්ට උපදෙස් ලැබුණා. (ද්විතීය කතාව 23:12-14) ඊශ්‍රායෙල් කඳවුර ඉතා විශාල වූ නිසා එම උපදෙස් ක්‍රියාත්මක කිරීම පහසු දෙයක් නොවන්න ඇති. නමුත් මෙසේ කිරීමෙන් ටයිෆොයිඩ් උණ සහ කොලරාව වැනි බෝ වන රෝගවලින් ආරක්ෂා වීමට ඔවුන්ට හැකි වුණා.

එමෙන්ම මළ සිරුරුවල ස්පර්ශ වුණු සමහර දේවල් විනාශ කළ යුතු වූ අතර සමහර දේවල් භාවිතයට ගත හැකි වුණත් ඒවා හොඳින් සේදිය යුතු බවට උපදෙස් ලැබුණා. මෙසේ කිරීමට හේතුව ඊශ්‍රායෙල්වරුන් දැන නොසිටියත් යම් රෝගවලින් ආරක්ෂා වීමට එය උපකාරවත් වුණා.—ලෙවී කතාව 11:32-38.

දෙවිගේ මණ්ඩපයට ඇතුල් වීමට පෙර පූජකයන් ඔවුන්ගේ අත් පා හොඳින් සෝදාගත යුතු වුණා. ඒ සඳහා අවශ්‍ය ජලය රැස් කිරීමට තඹවලින් තැනූ භාජනයක් ඒ අසල තිබූ අතර එම භාජනයට ජලය පිරවීම පහසු කාර්යයක් නොවන්න ඇති. නමුත් එයින් සෝදාගෙන පවිත්‍ර වීම පූජකයන්ට අනිවාර්ය දෙයක් වුණා.—නික්මයාම 30:17-21.

[11වන පිටුවේ කොටුව]

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස්

ජලය ජීවිතයට නැතුවම බැහැ. නමුත් අපවිත්‍ර ජලයෙන් ලෙඩ රෝග මෙන්ම මරණය පවා අත් විය හැකියි. ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ආරක්ෂිත ක්‍රම කිහිපයක් ගැන කැමරූන්වල සිටින එක් ප්‍රධාන වෛද්‍යවරයෙක් වන ජේ. ඒ. ලෝබේ මෙසේ පැවසුවා.

“උණු කර නිවාගත් ජලය පානය කරන්න. ක්ලෝරීන් වැනි ද්‍රව්‍ය ජලයට එක් කර පිරිසිදු කරගැනීම ගැටලුවක් නොවුණත් එය නිසි ආකාරයෙන් නොකළහොත් ඉන් නරක ප්‍රතිඵල අත් විය හැකියි. කෑමට පෙර හා වැසිකිළි යෑමෙන් පසුව නිතරම දෑත් සබන් ගා සෝදන්න. සබන් කැටයක් මිල දී ගැනීමට විශාල මුදලක් අවශ්‍ය නැති නිසා ඕනෑම කෙනෙකුට එය ලබාගත හැකියි. නිතරම ඔබේ ඇඳුම් සෝදන්න. ඔබට සමේ රෝගයක් තිබෙනවා නම් ඇඳුම් උණු වතුරෙන් සෝදන්න.”

“නිවස හා වටපිටාව පිරිසිදුව තබාගැනීමට පවුලේ සියලුදෙනාගේම සහයෝගය අවශ්‍යයි. අපිරිසිදු වැසිකිළි හා ගබඩා කාමරවල මැස්සන් හා කැරපොත්තන් වැනි සතුන් ඉක්මනින් බෝ වෙනවා.” එම වෛද්‍යවරයා දරුවන් සඳහාද මෙවැනි උපදෙසක් දුන්නා. “අහළ පහළ තියෙන ඇළවල්වලින් නාන්න එපා. ඒවාවල භයානක ලෙඩ රෝග පතුරුවන ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. හැමදාම නිදාගන්න කලින් දත් මැදලා ඇඟ සෝදාගන්න. නිදියද්දී මදුරු දැලක් දාගන්න.” මේ උපදෙස්වලින් ලබා දෙන පාඩම නම් නිරෝගී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීමට හොඳින් සැලසුම් කර ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකි බවයි.

[10වන පිටුවේ පින්තූරය]

ඇඳුම් සේදීමෙන් සමේ ආසාදන ඇතුළු වෙනත් රෝගවලින් ආරක්ෂා විය හැකියි

[10වන පිටුවේ පින්තූරය]

අවට පිරිසිදුව තබාගැනීම සඳහා ක්‍රිස්තියානීන් මුල් තැන ගෙන ක්‍රියා කරනවා

[10වන පිටුවේ පින්තූරය]

පිරිසිදුකම වෙනුවෙන් මවකට විශාල වැඩ කොටසක් කළ හැකියි