Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැරණි ගිවිසුම පිළිගන්නවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැරණි ගිවිසුම පිළිගන්නවාද?

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැරණි ගිවිසුම පිළිගන්නවාද?

ශුද්ධ බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. එමෙන්ම පැරණි ගිවිසුම හා අලුත් ගිවිසුම ශුද්ධ බයිබලයට ඇතුළත් විය යුතු බවත් ඔවුන් පිළිගන්නවා. පැරණි ගිවිසුමට අයත් පොත් මූලිකවම ලියැවුණේ හෙබ්‍රෙව් භාෂාවෙන් වන අතර අලුත් ගිවිසුමට අයත් පොත් ලියැවුණේ ග්‍රීක භාෂාවෙනුයි.

ක්‍රිස්තියානියැයි කියාගන්නා බොහෝදෙනා පැරණි ගිවිසුම ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් සිතන්නේ පැරණි ගිවිසුමේ විස්තර කර තිබෙන දෙවි කුරිරු ක්‍රියාවලට හා යුද්ධවලට අනුබල දුන් කෙනෙක් කියායි. ඒ දෙවි අලුත් ගිවිසුමේ විස්තර කර තිබෙන ප්‍රේමණීය දෙවිට කොහෙත්ම සමාන කරන්න බැහැ කියා එවැනි අය සිතනවා. එමෙන්ම පැරණි ගිවිසුම මූලිකවම ලියැවුණේ යුදෙව්වන්ට නිසා ක්‍රිස්තියානීන්ට එයින් ප්‍රයෝජනයක් නැහැ කියාත් ඔවුන් සිතනවා. කෙසේවෙතත් දෙවිගේ වචනයට කිසි දෙයක් එකතු කරන්නවත්, එයින් කිසි දෙයක් අඩු කරන්නවත් එපා කියා දෙවිම පවසා තිබෙනවා. (ද්විතීය කතාව 12:32) ඒ අණට එකඟව ශුද්ධ බයිබලයෙන් හතරෙන් තුනක් ආවරණය කරන පැරණි ගිවිසුම අපට වැදගත් නැහැ කියා සිතිය හැකිද?

ක්‍රිස්තු වර්ෂ 50දී පමණ යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් තෙසලෝනිකයේ සිටි අයව හමුවීමට ගියා. ඒ අවස්ථාවේදී ඔහු ‘ක්‍රිස්තුස් වධ විඳින්නත් මළවුන්ගෙන් නැඟිටින්නත් අවශ්‍යව තිබූ බව ශුද්ධ ලියවිල්ලෙන්’ ඔවුන්ට තර්කානුකූලව පහදා දුන්නා. (ක්‍රියා 17:1-3) මේ සාකච්ඡාවෙන් පසුව සමහර අය ක්‍රිස්තියානීන් බවට පත් වුණා. පසු කාලයේදී ක්‍රිස්තියානීන් බවට පත් වූ ඔවුන්ට පාවුල් ලිපියක් මාර්ගයෙන් මෙසේ දැන්වූවා. “ඔබට දෙවිගේ වචනය අපෙන් අසන්න ලැබුණු විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙසය.” (1 තෙසලෝනික 2:13) පාවුල් තෙසලෝනිකයට ගිය වකවානුවේදී අලුත් ගිවිසුමට අයත් පොත් 27න් ලියැවී තිබෙන්න ඇත්තේ මතෙව්ගේ පොත පමණයි. එසේනම් තෙසලෝනිකයේ සිටි අයට තොරතුරු පැහැදිලි කිරීමට පාවුල් යොදාගත් ‘ශුද්ධ ලියවිල්ල’ පැරණි ගිවිසුම බව පැහැදිලියි.

අලුත් ගිවිසුමට අයත් පොත් ලියූ බයිබල් ලේඛකයන් අවස්ථා 320කදී පමණ කෙළින්ම පැරණි ගිවිසුමට යොමු දක්වා තිබෙන අතර තවත් අවස්ථා සිය ගණනකදී වක්‍රාකාරවත් ඊට යොමු දක්වා තිබෙනවා. ඔවුන් එසේ කළේ “විඳදරාගැනීම මාර්ගයෙන්ද ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතුව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇති” බව විශ්වාස කළ නිසයි. (රෝම 15:4) එම බයිබල් පදයේ පෙන්නුම් කරන ආකාරයට මුළු බයිබලයම පිළිගන්නා අයට එමගින් ඉමහත් ප්‍රයෝජන ලැබෙනවා.

අලුත් ගිවිසුමට පදනම සපයන්නේ පැරණි ගිවිසුමයි. අලුත් ගිවිසුම තුළින් දෙවිගේ අරමුණු පිළිබඳ තවත් තොරතුරු හෙළි කර තිබෙනවා. අලුත් ගිවිසුම නිසා පැරණි ගිවිසුමේ වටිනාකම කිසි දිනක අඩු වෙන්නේ නැහැ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආගම් පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්ය හර්බර්ට් ෆාමර් පැරණි ගිවිසුම ගැන මෙවැනි අදහසක් පළ කළා. “මෝසෙස් මාර්ගයෙන් දෙවි ලබා දුන් නීතිය යටතේ ජීවත් වූ ඊශ්‍රායෙල් සෙනඟ ගැන පැරණි ගිවිසුමෙන් තොරතුරු ලබාගන්නේ නැතිනම් සුවිශේෂ පොත් තේරුම්ගන්න බැහැ.”

“ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 4:18, නව ලොව පරිවර්තනය) ඒ හා සමානව ශුද්ධ බයිබලයට අලුත් ගිවිසුම ඇතුළත් කිරීමෙන් දෙවි තමාගේ අරමුණු ඉටු කරන ආකාරය ගැන තවත් තොරතුරු ක්‍රමානුකූලව හෙළි කළා. අලුත් ගිවිසුම ශුද්ධ බයිබලයට ඇතුළත් කිරීමෙන් දෙවි පැරණි ගිවිසුමේ වටිනාකම බාල කළේ නැහැ. අලුත් ගිවිසුම හා පැරණි ගිවිසුම යන කොටස් දෙක ‘සදාකාලයටම පවතින යෙහෝවා දෙවිගේ වචනයට’ ඇතුළත් වෙනවා.—1 පේතෘස් 1:24, 25.